slc
logo
Home   |    News
දෙසැම්බර් 8, 2020
LPL හැඩ කරන අයිය-මලෝ ජෝඩු හතර

Sri Lanka Cricket

By Chamila Karawita

අභිනව තරගාවලියේදීම බොහෝ දෙනාගේ අවධානය දිනා තිබෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය මේ දිනවල ඉතාමත් සාර්ථකව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙමින් පවතියි. සුපිරි පන්දුවාරයක් දක්වා දිග හැරුණු සමාරම්භක තරගයේ සිටම මේ වන තෙක් පැවැති තරග සියල්ලෙහිම පැවැති තියුණු තරගකාරී බව තරගාවලියේ ආකර්ශනය දිනා ගැනීමට හේතු වුණු ප්‍රධාන කරුණකි.

මේ අතර එම තරගාවලිය සඳහා එකම පවුලේ සොහොයුරන් සිව් යුගලක් තරගාවලිය නියෝජනය කිරීමද බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබෙන කරුණක් බවට පත්ව තිබේ. ක්‍රිකට් පිටියේදී සොහොයුරන් යුගලක් එකම කණ්ඩායමකට ක්‍රීඩා කිරීම සාමාන්‍ය කරුණක්. එහෙත් මේ තරගාවලියේ ඇති විශේෂත්වයක් බවට පත්ව තිබෙන්නේ ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩකයින්ට අමතරව තරග තීරක මඩුල්ලේ සහ විනිසුරු මඩුල්ලේද එවැනි යුගලයන් ද්විත්වයක් කටයුතු කිරීමයි.

වනිඳු හසරංග ද සිල්වා සහ චතුරංග ද සිල්වා එක් සොහොයුරන් යුගලයක් වන අතර ජාතික වරම් දිනා සිටින විශ්ව ප්‍රනාන්දු සහ නුවනිඳු ප්‍රනාන්දු තරගාවලිය නියෝජනය කරනු ලබන අනෙක් සොහොයුරන් යුගලය වේ. මේ අතර කලක් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන ලද ග්‍රැහැම් ලැබ්‍රෝයි සහ වෙන්ඩල් ලැබ්‍රෝයි තරග තීරක මඩුල්ල නියෝජනය කරමින් මෙම තරගාවලියේදී දෙසොහොයුරන් ලෙසින් කටයුතු කරන අතර රෝහිත කොට්ටහච්චි සහ රවීන්ද්‍ර කොට්ටහච්චි විනිසුරු මඬුල්ල නියෝජනය කරමින් මෙම ඓතිහාසික තරගාවලියට දායකත්වය ලබා දෙති.

මෙතෙක් පැවැති තරගවලදී වැඩිම අවධානයක් දිනා සිටින ක්‍රීඩකයකු බවට පත්ව සිටින ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ වනිඳු හසරංග ද සිල්වාගේ වැඩිමහල් සොහොයුරා වන්නේ චතුරංග ද සිල්වාය.  ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබා සිටින මෙම ක්‍රීඩකයින් දෙපළම තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙසින් ජැෆ්නා ස්ටැලියන්ස් පිලට සිය දායකත්වය ලබාදීමද කැපී පෙනෙයි.

ප්‍රනාන්දු පවුල නියෝජනය කරමින් මෙම තරගාවලියට පැමිණ සිටින විශ්ව සහ නුවනිඳු අතරින් වැඩිමහල් සහෝදරයා වන්නේ විශ්ව ප්‍රනාන්දුය. මොවුන් දෙදෙනා එකිනෙකාට එදිරිව තරගාවලිය නියෝජනය කරති. එහිදී විශ්ව කැන්ඩි ටස්කර්ස් පිලද නුවනිඳු ජැෆ්නා ස්ටැලියන්ස් පිලද නියෝජනය කරති. වනිඳු සහ චතුරංග තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වද්දී  විශ්ව සහ නුවනිඳු එකිනෙකාට වෙනස් දක්ෂතා හරහා මෙම එල්.පී.එල්. තරගාවලිය නියෝජනය කිරීමට වරම් ලබා තිබේ. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය වේගපන්දු යවන්නා ලෙසින් කටයුතු කරන විශ්ව, වේග පන්දුවෙන් කණ්ඩායමට දායකත්වය ලබා දෙද්දී නිවනිඳු ඉදිරි පෙළ පිතිකරුවකු වශයෙන් තම කණ්ඩායමට එකතුව සිටියි. 

ක්‍රීඩකයින්ගෙන් පරිබාහිරව බැලීමේදී තරගාවලියට සහෝදරයින් දෙපළක් ලෙසින් ඉදිරිපත්ව සිටින අනෙක් යුගලය වන්නේ ලැබ්‍රෝයි සහෝදරයින්ය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරුන් ලෙසින් කටයුතු කරන ලැබ්‍රෝයි සහෝදරයින් අතරින් ග්‍රැහැම් වැඩිමහල් සහෝදරයා වන්නේය. සිය සහෝදරයා ගිය අඩි පාරේම යමින් තරග තීරකවරයකු බවට පත්ව සිටින වෙන්ඩල් ද වැඩිමහල් සහෝදරයා මෙන්ම වේග පන්දු යවන්නකු ලෙස ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබූවෙකි.

ග්‍රැහැම් ලැබ්‍රෝයි ටෙස්ට් සහ එක්දින තරග දෙඅංශයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට සමත්ව ඇතත් වෙන්ඩල් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග වරම් දිනා ගැනීමට සමත්ව සිටියි. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේද සහෝදරයින් යුගලයක් තරග තීරකවරුන් ලෙස කටයුතු කිරීමේ දුර්ලබ අවස්ථාවක්  නිර්මාණය කිරීමට සමත්ව සිටින ලැබ්‍රෝයි සහෝදරයින් අතරින් වැඩිමලයා වන ග්‍රැහැම් සමාරම්භක තරගයේ තරග තීරක ලෙස කටයුතු කරද්දී ඊට පසු දින පැවැති ජැෆ්නා ස්ටැලියින්ස් සහ ගෝල් ග්ලැඩියේටර් අතර තරගයේ දී ඔහුගේ සොහොයුරු වෙන්ඩල් තරග තීරකවරයා ලෙසින් කටයුතු කළේය.

මේ අතර තරගාවලියට එක්ව සිටින සිව්වැනි සහෝදරයින් යුගලය වන්නේ කොට්ටහච්චි පවුල නියෝජනය කරමින් පැමිණ සිටින රෝහිත සහ රවීන්ද්‍ර යුගලයයි.  සහෝදරයින් සිව් දෙනෙකුගෙන් සමන්විත කොට්ටහච්චි පවුලේ රෝහිත සහ රවීන්ද්‍ර හැරුණු විට අනෙක් සහෝදරයින් දෙදෙනාද මෙරට පළමු පෙළ තරග විනිශ්චයේ නියැළී සිටීම විශේෂත්වයක් වේ.

ඒ අතරින් එල්.පී.එල්. තරගාවලියට සේවය ලබා දී සිටින සහෝදරයින් යුගලය අතරින් රෝහිත වැඩිමහල් සහෝදරයා වන්නේය. පළමු පෙළ තරගාවලිය නියෝජනය කිරීමට තරම් දක්ෂ ක්‍රීඩකයකු වූ රෝහිත 2000 වසරේ සිට පළමු පන්තියේ විනිසුරුවරයෙක් ලෙස ශ්‍රී ලාංකේය ක්‍රීඩාවට දායකත්වය ලබා දෙමින් සිටියි.

ඔහුගේ සොහොයුරා වන රවීන්ද්‍රද පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කර තිබෙන අතර සිය සහෝදරයාගේ ආගමනයෙන් වසර 6 කට පසුව හෙවත් 2006 වසරේ සිට විනිසුරුකරණයේ නියැළෙමින් සිටියි. රෝහිත ඉකුත් නොවැම්බර් 28 වැනි දින පැවැති ගෝල් ග්ලැඩියේටර්ස් සහ කලම්බු කිංග්ස් අතර පැවැති තරගයේදී පිටියේ විනිසුරුවරයකු ලෙස සිය එල්පී.එල්. රාජකාරි අරඹද්දී ඔහුගේ සොහොයුරා වන රවීන්ද්‍ර මහනුවර ටස්කර්ස් සහ දඹුල්ල වයිකින්ස් අතර තරගයේ සිව්වැනි විනිසුරු ලෙස සිය දායකත්වය ලබා දෙමිනි.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest