slc
logo
Home   |    News
ජනවාරි 19, 2021
“පළමු ඉනිමේදී 220 ක් වත් තිබුණා නම්” – මිකී ආතර්

sinhala editor

Chamila Karawita reporting from Galle

එංගලන්ත පිලට 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට අවස්ථාව හිමි වුණු පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේදී ක්‍රීඩා කළ ආකාරය කිසි විටෙකින්වත් පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් කණස්සල්ල පළ කර සිටියි.

තරග 2 කින සමන්විත දෙරට අතර ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා පිල පරාජය කොට කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (18 දා) සමත්වූවේය. එංගලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එරෙහිව පිට පිටම අත්කර ගන්නා ලද පස්වැනි සහ ගාල්ලේදී පිට පිටම ලද දෙවැනි ජයග්‍රහණය ලෙසින් මෙම තරග ජයග්‍රහණය සටහන් විය.

“පළමු ඉනිමේදී පන්දුවට පහර දුන් හැටි ඉතාම දුර්වලයි. එය කිසි විටෙකත් පිළිගත හැකි පිතිකරණ දක්ෂතාවයක් නොවෙයි යැයි” තරගයෙන් අනතුරුව ආතර් සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වා සිටි ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරුවා, “මම කවදාවත් නිදහසට කරුණු හොයන කෙනෙක් නොවෙයි. නමුත් අපි පළමු ඉනිමේදී ක්‍රීඩා කළේ වොන්ඩරස් සහ සෙන්චූරියන්හි ක්‍රීඩා කළ විදියටමයි. කොටින්ම අපි අපේ තත්ත්වයන් තුළ ක්‍රීඩා කරන්න ඕන විදියට නොවෙයි ක්‍රීඩා කළේ” යැයි සඳහන් කර සිටියේය.

කාසියේ වාසිය දිනා ගැනීමත් සමඟ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළද ශ්‍රී ලංකා පළමු ඉනිම පන්දුවාර 46.1 කදී ලකුණු 135 කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත්වූහ. කෙසේ වෙතත් ලකුණු 286 ක් පසුපසින් සිට දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 359 ක් ලබා ගනිමින් එංගලන්තයට යළිත් ලකුණු 74 ක ඉලක්කයක් ලබා දීමට සමත්විය.

“පළමු දිනයේදී ක්‍රීඩා කළාට වඩා හොඳින් දෙවැනි ඉනිමේදී ක්‍රීඩා කළ යුතු විදිය ගැන අපි කතා කළා. ඇත්තටම පිතිකරුවන් ප්‍රතිචාර දැක්වූ විදිය ඉතාම හොඳයි. ඒත් එතැනදී අපි පරක්කු වැඩියි. අපිට පළමු ඉනිමේදී අඩුම තරමේ ලකුණු 220 ක් වත් ලබා ගන්න පුලුවන් වුණා නම් මීට වඩා දුරට තරගයේ රැඳී සිටීමට අවස්ථාව තිබුණා. අපිට තරගය අහිමි වුණේ එතැනින්. ඒක ඇත්තටම අපේ බලාපොරොත්තු සුන් කරවන්නක් වුණා. නමුත් එය අපි දෙවැනි ඉනිමේදී හරි ගස්ස ගත්තා” යැයි ආතර් සඳහන් කර සිටියි.

“ලොකු ලකුණු සංඛ්‍යාවක් කරා යන පිතිකරුවන් අපිට අවශ්‍යයි. විශේෂයෙන්ම පළමු ඉනිමේදී. මේ තණතීරුවල හොඳ ආරම්භයක් ගන්නවා කියන්නේ අසීරු දෙයක්. නමුත් ඔබ හොඳින් තරගයට අවතීර්ණ වුණොත්, හරියට ජෝ රූට් පළමු ඉනිමේදී එංගලන්ත පිලේ විශාල වෙනසක් කරා වගේ.

“මම හිතන්නේ ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉනිම ඉතාම විශිෂ්ඨ ඉනිමක් කියලා. ඔහු ඔහුව තරගයට අනුගත කරන ආකාරය, වේගය පවත්වා ගැනීම, පන්දුවට පහර දීමේ සැලසුම ගැන අපේ තරුණ පිතිකරුවන් නැරඹිය යුතුයි. විශේෂයෙන්ම දඟ කැවෙන තණතීරුවකදි කොහොමද ගණුදෙණු කරන්නේ කියලා. එයින් ඔවුන් ඉගෙන ගත යුතුයි. ඒ වගේම අපිට ශතක අවශ්‍යයි. ළහිරු (තිරිමාන්න) මේ තරගයේදී අපි වෙනුවෙන් එකක් ගත්තා. කුසල් පෙරේරා සහ ඇන්ජලෝ මැතිව්ස් 60 ක් ගත්තා. අපිට අවශ්‍ය ඒ අය ලොකු ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට” යැයි දෙවැනි ඉනිමේදී ලකුණු අතරට පත් ක්‍රීඩකයින් පිළිබඳව ආතර් ප්‍රශංසා මුඛයෙන් අදහස් දැක්වීය.

එංගලන්ත කණ්ඩායමට දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දීම සඳහා ළහිරු තිරිමාන්න රැස් කරන ලද ලකුණු 111 වැඩි වටිනාකමක් එක් කළේය. ඊට අමතරව කුසල් පෙරේරා ලකුණු 62 ක් සහ පන්දු 219 කට මුහුණ දී ලකුණු 71 ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවාන්විත තරග පරාජයක් සඳහා දායකත්වය ලබා දුන්හ.

“තිරිමාන්න ගැන නොයෙකත් දේවල් මම අහලා තියෙනවා. නමුත්  ඔහු සමඟ වැඩ කරන්න පටන් ගත්තු දවසේ ඉඳන් මම දැක්කේ ඔහු අසාමාන්‍ය තරමට වෙහෙස මහන්සි වී කටයුතු කරන ක්‍රීඩකයෙක් විදියට. ඔහු හොඳ තාක්ෂණයකින් යුක්ත පිතිකරුවෙක්. මම දන්නේ නැහැ ඔහුගේ යට ගියාව. මට කතා කරන්න පුලුවන් මම දැක්ක දේ විතරයි. අපි ඔහුව අතිරේක පිතිකරුවකු විදියට දකුණු අප්‍රිකාවට රැගෙන ගියා. ඔහු වේග පන්දුවලට ඉතාම හොඳින් මුහුණ දුන්නා. මම හිතන්නේ වොන්ඩරස් තරගයේදී ඔහු ඉතා හොඳින් පන්දුවට පහර දුන්නා” යැයි තිරිමාන්න පිළිබඳව ආතර් සඳහන් කළේය.

පුහුණුරුකරු එසේ පැවැසුවද වොන්ඩරස් තරගයට ක්‍රීඩා කළ තිරිමාන්න පළමු ඉනිමේදී ලකුණු 17 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 31 කට දැවී ගියේය. කෙසේ වෙතත් දෙවැනි ඉනිමේදී ශතකය ලබා ගැනීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වා සිටි ළහිරු තිරිමාන්න ද සඳහන් කර සිටියේ වොන්ඩරස් තරගයට ක්‍රීඩා කිරීමෙන් පසු පන්දුවට පහර දීම පිළිබඳව තමන් තුළ හොඳ විශ්වාසයක් ගොඩනැංවුණු බවයි.

මේ අතර දිගින් දිගටම පිතිකරුවකු ලෙස සාර්ථකත්වයකට පැමිණීමට අපොහොසත්ව සිටින කුසල් මෙන්ඩිස් පිළිබඳවද අදහස් දක්වා සිටි ප්‍රධාන පුහුණුකරුවා, “මම නැවතත් කියනවා. කුසල් කියන්නේ අපූරු ක්‍රීඩකයෙක්. ඔහු ඉදිරියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කරාවි. ඔහුට මේ වන විට ලොකු පීඩනයක් එල්ල වෙලා තියෙනවා. දේශීය තණතීරුවලට ක්‍රීඩා කරද්දී ඔහු දක්ෂතා අතර ඒවි කියලයි අපි හිතුවේ. කොහොම වුණත් ඔහු ගැන ඉදිරි දින දෙක තුන තුළදී සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා. ජාත්‍යන්තර තලයේ පිතිකරුවෙක් ලකුණු අතරට එන්න බැරි වුණාම පීඩනයකට ලක් වෙනවා. එයින් පිටතට එන ආකාරය තමයි ලකුණු අතරට එන යතුර වෙන්නේ” යි යනුවෙනි.

ශ්‍රී ලංකා කණ්ඩායමට අද (19 දා) විවේක දිනයකි. කෙසේ වෙතත් ලබන 22 වැනි සිකුරාදා එංගලන්තයට එරෙහිව ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයට පෙර ශ්‍රී ලංකා පිලට පුහුණුවීම් සඳහා හෙට සහ අනිද්දා යන දෙදින ඉතිරිව තිබේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar