slc
logo
Home   |    News
ඔක්තෝබර් 14, 2026
ලිමන්සාගේ තුන් ඉරියව් දස්කම් හමුවේ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ කඩුලු 8ක ජයක් ලබති

sinhala editor

පාකිස්තානයේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව අද (14) පැවැති තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම ඕවර 17.3කදී ලකුණු 58කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වූහ. එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ලිමන්සා තිලකරත්න ඕවර 4කදී ලකුණු 13කට කඩුලු 3ක් බිඳ හෙළුවාය. ඊට අමතරව දනෝද්‍යා සෙව්මිණි ලකුණු 7කට කඩුලු 2ක් දවා ගත්තාය.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ මයිමුනා නාහර් ලකුණු 23ක් රැස් කළ අතර, සදියා අක්ටර් ලකුණු 17ක් ලබා ගත්තාය. සෙසු පිතිකාරිනියන්ට ශ්‍රී ලංකා පන්දු යැවීම හමුවේ සාර්ථක වීමට නොහැකි විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ ඕවර 10.4කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 59ක ඉලක්කය සපුරා ගත්හ. විමෝක්ෂා බාලසූරිය ලකුණු 22ක් සහ නෙත්මි උපේක්ෂා නොදැවී ලකුණු 17ක් රැස් කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයට දායක වූහ. ලිමන්සා තිලකරත්න නොදැවී ලකුණු 10ක් ලබා ගත්තාය.

පන්දුවෙන් කඩුලු 3ක් දවා ගනිමින්ද, පිත්තෙන් නොදැවී ලකුණු 10ක් රැස් කරමින්ද තුන් ඉරියව්වෙන්ම කැපී පෙනුණු ලිමන්සා තිලකරත්න තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.

සත්කාරක පාකිස්තාන යොවුන් බාළිකා කණ්ඩායමට අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකිවීම ද තරගාවලියේ කැපී පෙනෙන සිදුවීමකි. ඒ අනුව, තරගාවලියේ ශූරතාව වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය ඔක්තෝබර් 16 වැනිදා අවසන් මහ තරගයේදී තරග වැදීමට නියමිතය.

ලකුණු සාරාංශය

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම: 58 (ඕවර 17.3) – මයිමුනා නාහර් 23, සදියා අක්ටර් 17, ලිමන්සා තිලකරත්න 13/3, දනෝද්‍යා සෙව්මිණි 7/2.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම: 59/2 (ඕවර 10.4) – විමෝක්ෂා බාලසූරිය 22, නෙත්මි උපේක්ෂා නොදැවී 17, ලිමන්සා තිලකරත්න නොදැවී 10.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee