slc
logo
Home   |    News
මාර්තු 3, 2021
‘ක්‍රිකට් ගමට’ ව්‍යාපෘතියෙන් ජාතික කණ්ඩායමට පැමිණි අළුත්ම තරුව – ඩිල්ෂාන් මධුශංක

Sri Lanka Cricket

‘ගමට ක්‍රිකට්’ සංකල්පය යටතේ  රට පුරා වූ ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ තරුණයන් (TALENT SEARCH) සොයා ජාතික සංචිතයන්ට ඇතුළත් කිරිම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දීප ව්‍යාප්තව සිදුකරන ලද වැඩසටහනේ ප්‍රතිඵල මේවන විට අසන්නට හා දක්නට ලැබෙන්නේ ‘බැද්දට මල් පිපෙන්නාක්’ මෙනි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් නොබෝදා නිමාවට පත්වු ‘ලංකා ප්‍රිමියර් ලීග්’ තරගාවලියේ ශූරයන් වූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියෝනය කළ විජයකාන්ත් වියස්කාන්ත් එම වැඩසටහන යටතේ යාපනයෙන් හමුවු එක් තරුණයෙකි. ඊටත් වඩා දක්ෂතා ප්‍රගුණ කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් දොරටුවට තට්ටු කරන තරුණයෙකු මේ වැඩසටහන හරහාම මීට ටික දිනෙකට පෙර මුණගැසුණේ හුංගම ධීවර ගම්මානයෙනි.

දක්ෂිණ ලංකාවෙන් බිහිව ජාත්‍යන්තර ක්‍රිකට් අඹරේ කැපී පෙනුණු වේග පන්දු යවන්නන් වන ඩී.එල්.එස්. ද සිල්වා, චම්පක රාමනායක, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්ට නොදෙවැනි වන දක්ෂතා දැනටමත් පෙන්වන මේ ක්‍රීඩකයා නමින් ඩිල්ෂාන් මධුශංකය. හුංගම උපත ලද ඩිල්ෂාන් අධ්‍යාපනය ලද හුංගම මහ විදුහලේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා එතරම් පහසුකම් නොවීය. ඔහුගේ දෙමාපියන්ද ධීවර කර්මාන්තයෙන් ජීවිකාව ගෙන ගිය අතර වටිනාකමින් යුත් ක්‍රිකට් ආම්පන්න සිය පුතුට ලබාදීමට තරම් ඔවුන් වත් පොහොසත් නොවීය.

පාසලේ ක්‍රීඩා කිහිපයකටම ඩිල්ෂාන් දස්කම් දැක්වුවද වඩාත් ප්‍රිය කළේ ටෙනිස් බෝලයෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමටය. විවේක කාලය අතරතුරදී මිතුරන් සමඟින් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වුණු කුඩා ඩිල්ෂාන් හුංගම විජයබා විදුහලේ අවුරුදු 15 න් පහළ සහ 17 න් පහල කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩකයෙක් විය. වේග පන්දු යවන්නකු ලෙසින් කණ්ඩායමට දායකත්වය ලබා දුන් ඩිල්ෂාන් ක්‍රීඩා කරමින් සිටින අතරතුරදී විශේෂ පුද්ගලයකුගේ නෙත ගැටෙන්නේය. ඒ එම දිස්ත්‍රික්කයේ පුහුණුකරුවා වුණු මංජුල කරුණාරත්න මහතාගේය.

වමතින් වේග පන්දු යවන දිල්ෂාන් මධුෂංකගේ දක්ෂතා දුටු දිස්ත්‍රික් පුහුණුකරු දක්ෂතා වැඩි කිරීමට හදවතින්ම ක්‍රියා කළේය. හරි හරියට වේග පන්දු යවන මේ වමත් පන්දු යවන්නා දුටු දිනේ පටන් පුහුණුකරුගේ අරමුණ වූයේ කෙසේ හෝ ඩිල්ෂාන්ව ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වූ නිසි ක්‍රමවේදයට ඇතුළත් කර ගැනීමටය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද වයස අවුරුදු 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේදී අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමද එම තරගාවලිය සඳහා තරග කරවීමට තීරණය කරනු ලබන්නේ ඔය අතරවාරයේදීය. එවකට යොවුන් කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් කටයුතු කළ හෂාන් තිලකරත්න මහතාට යුහුසුළුව තමාගේ අවුරුදු 19න් පහළ කණ්ඩායම එම තරගාවලියට ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිවූ අතර එය ඩිල්ෂාන්ගේ දක්ෂතා ඔප්නංවා ගැනීමට ලැබුණේ විශාල අත්වැළකි. ඔහු එම තරගාවලියේදී දැල් පුහුණු පන්දු යවන්නකු ලෙස කටයුතු කළේය.

පුහුණු දැල් පන්දු යවන්නකු ලෙස කටයුතු කිරීමේදී ඩිල්ෂාන්ට මුහුණ දීමට සිදුවූ ප්‍රධානම ගැටළුව බවට පත්වූයේ ඒ සඳහා සුදුසු පාවහන් යුගලයක් නොමැති වීමයි. ධීවර රැකියාවේ නිරත තම පියාට ඒ සඳහා මුදලක් වැය කිරීමට නොහැකි වීම ඊට ප්‍රධාන බාධාව විය. වේගපන්දු පුහුණුකරු චමින්ද වාස් සහ 19න් පහළ ජාතික පුහුණුකරු හෂාන් තිලකරත්න පාවහන් යුගලක් පරිත්‍යාග කරද්දී වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ එදා මේ ළාබාල ක්‍රිඩකයාට පිත්තක් සහ පන්දුවක් පරිත්‍යාග කළේ ය.

එතැනින් ආරම්භ වූ දිල්ෂාන් මධුශංකගේ ක්‍රිකට් ජාතික මෙහෙවරේ මුල් කාර්යයන් වූයේ ශ්‍රි ලංකා 19න් පහළ කණ්ඩායමේ වේග පන්දු යවන්නා ලෙස කටයුතු කරමින් ඉන්දීය 19න් පහළ කණ්ඩායම සමඟත් පසුව මෙහි පැමිණි ඕස්ට්‍රේලියා අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟත් සාර්ථකව තරග වැදීමය. ඒ ආරම්භ කළ ගමනේ අමතක නොවන සිදුවීමක් දිල්ෂාන්ගේ මතකයේ රැදේ. එය නම් ඔහු 19න් පහළ සංචිතයට තේරී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමට සුදානම් වෙද්දී තරගය පැවැති දිනය උදයේ වනාතමුල්ල සරවනමුත්තු පිටියේ දී ඔහුගේ දෙමාපියන් විසින් හිස් පළඳනාවක් (කැප්) තම පුත්‍රයාට මුලින්ම පැළඳනවීමය.

මේ වන විට දිල්ෂාන් දිගු ගමනකට පියවර අරඹා තිබේ. පසුගිය දා දකුණු අප්‍රිකාවට ගිය ශ්‍රි ලංකා ජාතික කණ්ඩායමයටත් මෙවර බටහිර ඉන්දීය කොදෙව් දුපත් බලා ගිය ලංකා කණ්ඩායමටත් ඔහුගේ සේවය ලබා ගෙන ඇත. මොහු පිළිබඳව කටහඬ අවදි කළ 19න් පහළ ජාතික පුහුණුකරු හෂාන් තිලකරත්න පවසන්නේ ගමෙන් ක්‍රීඩකයකු නගරයට ආවිට අප ඔහු ක්‍රිඩා පිටිය තුළත් ඉන් පිටතත් හොඳින් රැක බලා ගත යුතු බවත්, ඉදිරියේදී ඩිල්ෂාන් මධුශංකව නිසි පරිදි කලමනාකරණය කර ගනිමින් රැක බලා ගතහොත් හෙට දවසේදී ශ්‍රී ලංකාවට නැතිවම බැරි ක්‍රිඩකයෙකු වනු නිසැක බවත්ය.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar