slc
logo
Home   |    News
මැයි 20, 2021
“ආදායම් උපයන සැලසුම් අපි සතුයි” -ක්‍රිකට් සභාපති

sinhala editor

By Chamila Karawita

ලොව ප්‍රබල පෙළේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් පවා මූල්‍යමය අතින් දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දෙමින් සිටි සමයක එල්.පී.එල්. වැනි විස්සයි-20 තරගාවලියක් ඉතාමත් සාර්ථකව රට තුළ පවත්වමින් රුපියල් මිලියන 100 කට අධික ලාභයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා දීමට කටයුතු කළ ආකාරයෙන්ම ඉදිරි වසර 2 ක කාලය ඇතුළතද මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ආදායම් තත්ත්වය පවත්වා ගැනීම සඳහා වන සැලසුම් තමන් ඇතුළු කණ්ඩායම සතු වන බව නව ක්‍රිකට් සභාපතිවරයා ලෙස පත් ශම්මි සිල්වා මහතා අවධාරණය කර සිටියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව නිලධාරීන් පත් කිරීම වෙනුවෙන් අද (20 දා) පැවැති ක්‍රිකට් නිලවරණයේදී නිතරග ජයකින් ශම්මි සිල්වා මහතා ක්‍රිකට් සභාපති අසුනට පිට පිටම දෙවැනි වතාවටත් තේරී පත්විය. නිලවරණය අවසන් වීමත් සමඟ සභාපති අසුනේ රාජකාරි ආරම්භ කළ ඒ මහතාගේ ඉදිරි වසර 2 ක කාලය පිළිබඳව වූ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවැති හමුවකදී ශම්මි සිල්වා මහතා ඉහත අදහස් පළ කර සිටියේය.

“ඇත්තටම කොවිඩ් නිසා ගොඩක් රටවලට ඔවුන්ගේ ආදායම් අහිමි වෙලා තියෙනවා. නමුත් අපි ඉතාම සාර්ථක විදියට එල්.පී.එල්. තරගාවලිය පවත්වලා රුපියල් මිලියන 100 කට වැඩි ලාභයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබා දීමට සමත් වුණා. ඒ වගේම අපි ඉදිරියේදී අනිත් රටවල් එක්ක කතා කරලා ආදායම් වැඩි කරන්න සැලසුම් සකස් කරනවා”.

“එංගලන්ත සමඟ තරගාවලිය පැවැත්වුවා වගේ අපි අනිත් රටවලටත් කතා කරනවා. මේ පාර අපිට ඉන්දියාව දීලා තිබුණේ තරග 3 යි. නමුත් අපි තවත් තරග 3 ක් ගහන්න කතා කරගත්තා. එතකොට අපිට වැඩිපුර ආදායමක් එනවා. ඒ වගේ සහෝදර රටවලට කතා කරලා ගෙන්න ගන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙම තමයි අපි ආදායම් තත්ත්වය පවත්වාගෙන යන්න සැලසුම් කරලා තියෙන්නේ” යැයි සඳහන් කර සිටින ශම්මි සිල්වා මහතා ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු විස්තර කරන ලද්දේ මේ අයුරිනි.

“අපිට ආදායමක් ලැබෙන්නේ ලංකාවේ තරගපැවැත්වෙන කොට විතරයි. උදාහරණයක් විදියට ගත්තොත් අපිට එක්දින තරග 3 ක් ගහන්න තියෙනවා නම් ඒ සඳහා විකාශන අයිතීන් වෙනුවෙන් මිලියන 10 ක් ලැබෙන්න තියෙනවා. ඒත් අපි ඔවුන් සමඟ සාකච්ඡා කරලා තවත් තරග 3 ක් වැඩි කරගත්තොත් තවත් මිලියන 10 ක් අතිරේකව ලබා ගැනීමේ හැකියාව අපිට හිමි වෙනවා. ඒ වගේ රටවල් කීපයක් මෙහෙට ගෙන්න ගෙන තරග කළොත් අපිට ලැබෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම තමයි අපි දෙවැනි වරට පවත්වන එල්.පී.එල්. තරගාවලියත් සැලසුම් කරලා තියෙන්නේ. පළවැනි සැරේ රුපියල් මිලියන 100 කට වැඩි ලාභයක් ගෙනාවා වගේ මෙවරත් වැඩි ආදායමක් ලබාගන්න හැකි වන පරිදි කටයුතු යොදනවා” යනුවෙන් ශම්මි සිල්වා මහතා අදහස් දැක්වීය.

වසර ගණනාවක් තිස්සේ ක්‍රිකට් ආයතන පරිපාලනයට පැමිණි පිරිස් සිය ගිණුම් කටයුතු නිසියාකාරව පවත්වාගෙන යෑමට අපොහොසත් වීම හේතුවෙන් ඉකුත් මාස කීපයේදී  පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සිදුවීම පිළිබඳව නොසතුට පළ කර සිටියේය. එහෙත් සිය පළමු මාධ්‍ය හමුවේදීම ඊට පිළිතුරු දුන් නව සභාපතිවරයා, කෝප් කමිටුවෙන් එල්ල වන එකම චෝදනාවකට හෝ තම පාලනය කාලය වගකිව යුතු නොවන බවද සඳහන් කර සිටියේය.

“කෝප් එකෙන් වුණත් කියන්නේ මේ ඔක්කොම වෙලා තියෙන්නේ අපේ කාලේ කියලා. අපේ කාලේ නොවෙයි මේවා වෙලා තියෙන්නේ. ඒ සියල්ල අපි හරියටම ඉදිරියෙදි හරියටම පෙන්වලා දෙන්නම්” යැයි ශම්මි සිල්වා මහතා සඳහන් කර සිටියේය.

මෙවර පත්වීමට පෙර වසර 2 දීද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සිල්වා මහතා එම කාල සීමාවේදී පිහිනුම් තටාක 2 ක්, ටර්ෆ් විකට් 200 ක් ඉදිකිර්ම සහ ක්‍රීඩාංගණ 10 ක් ඉදිකිරීම සඳහා වුණු සංවර්ධන වැඩසටහන් ආරම්භ කර තිබූ අතර ඒ සියල්ලම ඉදිරි මාස 4 ක පමණ කාලය ඇතුළත අවසන් කොට විවෘත කළ හැකි මට්ටමේ පවතින බවද නව සභාපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

ඉදිරි කාල සීමාවේදී ක්‍රිකට් ආයතන ප්‍රතිරූපය ගොඩ නැගීම වෙනුවෙන් වන සැලසුම් පිළිබඳවද මෙහිදී නව සභාපතිවරයාගෙන් මාධ්‍ය ප්‍රශ්න කර සිටියේය.

“ඇත්තටම ටීම් හොඳට කරන්නේ නැතු වුණාම පබ්ලික් ඉමේජ් අඩු වෙනවා. ටීම් එක හොඳට කරන කොට පබ්ලික් ඉමේජ් උඩ යනවා. ඇත්තටම මැදට ගිහිල්ලා ගහන්නේ අපි නොවෙයි. කණ්ඩායම සිලෙක්ට් කරන්නේත් අපි නොවෙයි. වගකීම භාර ගන්නේ නැති එක කතාවක් ගැන නොවෙයි මම මේ කියන්නේ” යැයි සඳහන් කර සිටි ඒ මහතා, තවත් වසර කීපයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව තිබියදීත් කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන දෙදෙනා කළින්ම විශ්‍රාම කණ්ඩායමේ කඩා වැටීමට හේතුවී තිබෙන බව ඒ මහතා සඳහන් කර සිටියේය.

“සංගක්කාරයි මහේලටයි ආදේශක හොයන්න ආමාරුයි. මොකද එයාලා සුපර් ස්ටාර්ස්ලා. නමුත් දැන් යන විදියත් හොඳ විදියට වෙනවා. නවකයින්ට තැන ලබා දෙන්න ඕන කියන තැන මමත් ඉන්නවා. හොඳ දෙයක් වෙයි කියලා හිතනවා” යැයි ශම්මි සිල්වා මහතා වැඩිදුරටත් කරුණු අනාවරණය කර සිටියේය.

ක්‍රීඩකයින්ගේ කොන්ත්‍රාත් අත්සන් නොකිරීම සම්බන්ධ ගැටළු මෙන්ම ක්‍රීඩා සමාජ තරගාවලියේ තරගකාරී භාවය වැඩි කිරීම පිළිබඳව ක්‍රිකට් තාක්ෂණික කමිටුව ගෙන තිබෙන පියවරයන් පිළිබඳවද නව සභාපතිවරයාගෙන් මාධ්‍ය ප්‍රශ්න කීපයක් විමසා සිටියද, තාක්ෂණික කමිටුව සමඟ මෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ තමා මේ වන තෙක් කිසිවක් සාකච්ඡා කර නොමැති බැවින් ඔවුන් සමඟ සාකච්ඡා කොට කළ හැකි හොඳම දේ කිරීමට තමන් ඇතුළු කණ්ඩායම උපරිම සහයෝගය ලබා දෙන බව ශම්මි සිල්වා මහතා සඳහන් කර සිටියේය.

Active filters

Recent Posts

  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]

Pin It on Pinterest

USD United States (US) dollar