slc
logo
Home   |    News
මැයි 27, 2021
ගෞරවාන්විත තරගාවලි අවසානයක් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව හෙට යළිත් පිටියට

sinhala editor

බංග්ලාදේශයට එරෙහිව පැවැති පළමු තරග 2ම පරාජයට පත්වෙමින් ඉතිහාසයේ පළමු වතාවට බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි පරාජයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට, ගෞරවාන්විත තරගාවලි අවසානයක් බලාපොරොතේතුවෙන් හෙට (28 දා) යළිත් සත්කාරකයින් මුණ ගැසෙනු ඇත. දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගයට පෙරම, තරගාවලිය ජය ගැනීමට බංග්ලාදේශ පිල සමත් වුවත් හෙට තරගයේදීත් ශ්‍රී ලංකාවට කිසිදු ඉඩක් නොලැබෙනු ඇත.

ඒ මන්ද යත් ලෝක කුසලාන සුපිරි ලීගය සඳහා වන ලකුණු ලබා ගැනීම සඳහා හෙට තරගයේ ජයද ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය වැදගත් බැවිනි. ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා තරග 5 කට සහභාගිවී සිටියද එම තරග 5 ම පරාජයට පත්ව ප්‍රසාද ලකුණු පුවරුවේ පහතටම වැටී සිටියි. හෙට තරගයේදී ශ්‍රී ලංකාව ජය වාර්තා කිරීමට සමත් වුවහොත් ප්‍රසාද ලකුණු 10 ක් ලබා ගැනීමේ අවස්ථාව උදාවන නමුත්, ශ්‍රී ලංකාව කණ්ඩායම තවමත් ප්‍රසාද ලකුණු සෘණ මට්ටමේ (-2) පැවැතීම නිසාප්‍රසාද ලකුණු සංඛ්‍යාව 08 ක් බවට පත්වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේදී මුහුණ දී සිටින දැවැන්තම ගැටලුව බවට පත්ව ඇත්තේ පිතිකරුවන් ලකුණු අතරට පැමිණීමට අසමත්වීම වේ. මෙතෙක් පැවැති තරග 2 දී වනිඳු හසරංග පළමු තරගයේදී රැස් කරන ලද ලකුණු 80 හැරුණු කොට පිතිකරුවන් යැයි නම් දැරූ කිසිවකුත් අර්ධ ශතකයක් හෝ රැස් කර ගැනීමට අසමත්වීම, ශ්‍රී ලංකාවේ අසාර්ථක භාවයට හොඳම නිදසුන වේ. හසරංග යනු නම් දැරූ පිතිකරුවකු නොවන අතර ඔහු අංක 8 ස්ථානයෙන් පැමිණ එම ලකුණු සංඛ්‍යාව රැස් කර ගැනීමට සමත්වූවේය.

මෙය බංග්ලාදේශය හා සැසඳව විට හාත්පසින්ම වෙනස් කතාන්දරයකි. ඔවුන්ගේ ආරම්භක පිතිකරුවාගේ සිට පිතිකරුවන් ලෙස ක්‍රීඩා කරන්නන් බහුතරයක් ලකුණු අතරට පැමිණ සිටිති. එසේ නොවූ කල්හි පසුපෙළින් පැමිණෙන්නෝද පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්වීම කැපී පෙනෙයි.

හෙට තරගය පිළිබඳව අදහස් දැක්වීම සඳහා අද පැවැති මාධ්‍ය හමුවට සහභාගිවුණු පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් පවා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට පිතිකරණයේ බලපෑමක් සිදුව තිබෙන බවයි. “ඇත්තටම අපේ ක්‍රීඩකයින් දැල් පුහුණුවීම් වලදී දකිනකොට නම් ඔවුන් ඉතාම හොඳින් ක්‍රීඩා කරන ආකාරයක් පෙනී යනවා. ඔවුන් නිදහසේ ක්‍රීඩා කරනවා. නමුත් ඔවුන් පිට්ටනිය මැද්දට ගියහම වෙනස්ම විදියක්. ඒක තමයි පීඩනය. ගොඩක් අය ගල් ගැහෙනවා” යැයි පිතිකරණ පුහුණුකරුවා පවසයි.

“ඇත්තටම පිතිකරුවන්ගේ පළ පුරුද්ද මෙම තරගාවලියේදී දැඩි බලපෑමක් ඇති කළ බව පේන්න තියෙනවා. මේ තරගාවලිය සඳහා තෝරා ගත් තරුණ ක්‍රීඩකයින් දක්ෂයින්. නමුත් අත්දැකීම් අතින් ඔවුන් ගොඩක් අඩුයි. ඔබ මුෂ්ෆිකර් රහීම් හෝ ටමීම් ඉක්බාල් පන්දුවට පහර දෙන විදිහ දිහා බැලුවොත් මේ ගැන පැහැදිළි අදහසක් ලබා ගන්න පුලුවන්” යි ෆ්ලවර් සඳහන් කර සිටියි.

2023 වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් කණ්ඩායම සූදානම් කිරීමට බලාපොරොත්තු වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතු තේරීම් කමිටුව මෙම තරගාවලිය සඳහා තෝරාගනු ලැබුවේ තරුණ ක්‍රීඩකයින්ය. එබැවින් පෙර තරගාවලිවලට ක්‍රීඩා කරන ලද ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 6 දෙනෙකුට කණ්ඩායමේ ස්ථානය අහිමිවූ අතර, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ දිමුත් කරුණාරත්න ඒ අතර වෙති.

“ඇත්තටම ඇන්ජි (ඇන්ජලෝ මැතිව්ස්) වගේ ක්‍රීඩකයකුට කණ්ඩායමට පැමිණීමට තරම් දක්ෂතාවය තියෙනවා. ඔහු අවසන් වරට පැවැති තරගවල දක්වන ලද දක්ෂතාවලින් ඒ බව පිළිබිඹු වෙනවා. නමුත් කාලයත් සමග අලුත් තේරීම් කමිටුව හිතුවේ අලුත් ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දීමට මේක හොඳ කාලයක් බවයි” යැයි ෆ්ලවර් පවසයි.

මෙහිදී හෙට තරගය පිළිබඳවද අදහස් දක්වා සිටි සිම්බාබ්වේ ජාතික පුහුණුකරුවා, හෙට තරගය ජය ගැනීමට නම් පළමු තරග දෙකට සාපේක්ෂව පන්දුවට පහර දීමේදී පිතිකරුවන් ප්‍රවේගකාරී භාවයක් රඳවා ගත යුතු බවයි.

ජයග්‍රහණය සඳහා ලකුණු 258 ක ඉලක්කයක් හඹා ගිය පළමු තරගයේදී ශ්‍රී ලංකාව කණ්ඩායම ජයග්‍රහණයේ ආසන්නයටම පැමිණි පසු වේගයෙන් ලකුණු රැස් කිරීමේ පීඩනය පසුපෙළ පිතිකරුවන් වෙත පැවැරීම එම පරාජයට හේතු විය. එබැවින් හෙට තරගයේදී එම අඩුපාඩුව සිදුනොවන්නට ශ්‍රී ලංකා පිතිකරුවන් වගබලා ගත යුතු වනු ඇත.

“අනිවාර්යයෙන්ම දැල්වල පුහුණුවීම් වලදී අපේ පිතිකරුවන් අවධානම අරගෙන පහරවල් එල්ල කරන ආකාරයට හෙට තරගයේදී ක්‍රීඩා කරනවා නම් අපිට හෙට තරගය ගැන බලාපොරොත්තු තබා ගත හැකි වෙයි. මේ වගේ මට්ටමක ඉන්න හොඳ පන්දු යවන්නන් නියමිත ස්ථානයන්වල ඔවුන්ගේ පන්දු පතිත කරවාවි. නමුත් ඔබ ඒ සියල්ලෙන්ම ආරක්ෂාකාරී වෙමින් පාද චලනයන්ද සමග ඔබ ක්‍රියාශීලී විය යුතුයි. එහෙම නැතිනම් පන්දුව හරහට එල්ල කරන ස්වීප් පහර කරා හෝ යා යුතුයි” යැයි පවසන ෆ්ලවර් “උදාහරණයක් විදියට ඔබ මුෂ්ෆිකර් රහීම් පන්දුවට පහර දෙන හැටි බලන්න. ඔහු දැවැන්ත පහර එල්ල කරන පිතිකරුවකු නොවෙයි. නමුත් ඔහු පන්දු ඉතා දක්ෂ ලෙස හසුරුවනවා. ඔවුන්ට එරෙහිව ක්‍රීඩා කිරීමේදී අපේ ක්‍රීඩකයින්ට ගන්න තියෙන හොඳම උදාහරණය තමයි එය” යි වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

කෙසේ වෙතත් හෙට තරගය සඳහා පුහුණු තරගයේදී ලකුණු 80 ක් රැස් කරගත් නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩා කිරීමට නියමිත බවද ෆ්ලවර් මහතාගේ අදහස් දැක්වීමේදී සඳහන් කර සිටියේය. එසේ වුවහොත් එය වක්‍රාකාරයෙන් කණ්ඩායමේ නියමුවා වන කුසල් පෙරේරාට මහත් අස්වැසිල්ලකි. මන්ද යත් නායකත්වයට ඔටුන්න හිස මතට වැටුණු මොහොතේ පටන් කුසල්ගේ සුපුරුදු ප්‍රවේගකාරී පිතිකරණ රටාව සැඟව ගොස් තිබෙන බැවින්. ඔහුට පළමු තරග 2 දී රැස් කරගත හැකි වූයේ ලකුණු 44 ක් පමණි. ඒත් පන්දු 65 කට මුහුණ දීමෙනි. ඒ අතර කණ්ඩායමේ තවත් වෙනස් කම් කීපයක් සිදුවීමේ හැකියාව පවතින බවද ග්‍රාන්ට් ෆ්ලවර් සඳහන් කර සිටියේය.

Active filters

Recent Posts

  • චිලව් මේරියන්ස් – මුවර්ස් ජය ලබති
     අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවැති තරග අතුරින් චිලව් මේරියන්ස් සහ මුවර්ස් කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්හ.  චිලව් මේරියන්ස් කඩුලු හතරකින් බදුරලිය පරාජය කළ අතර […]
  • අවුරු. 23 න් පහළ කාන්තා ක්‍රිකට් දෙවැනි දිනය වැස්සට සේදෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ කාන්තා පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ අද (17 දා) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ තරග 2 ම අයහපත් කාලගුණය […]
  • ක්‍රීඩකයින් 420 ක් LPL වෙන්දේසියට සුදුසුකම් ලබති
    මෙරට පැවැත්වෙන මහා ක්‍රිකට් සැණකෙළිය හේවත් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළැඹෙන මැයි 21 වැනිදා ප.ව. 12.00 සිට කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රෙය්දී පැවැත්වෙන අතර […]
  • පුහුණු තරගවලට පෙර කුසල්ට කණ්ඩායම සමඟ එකතුවේවි – ඈෂ්ලී ද සිල්වා
    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය වෙත යෑමට වීසා ඇයැදුම් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස්ගේ වීසා බලපත්‍රය එම තානාපති කාර්යාලය […]
  • කුසල් ජනිත්ගෙන් ප්‍රහාරාත්මක ඉනිමක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (16) පැවැති ශ්‍රී ලංකා පොලීසිය සහ නුගේගොඩ අතර තරගයේදී පොලීසියේ කුසල් ජනිත් පෙරේරා පන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee