slc
logo
Home   |    News
මැයි 4, 2021
බංග්ලාදේශයට ‘පාරාවළල්ලක්’ වුණු ප්‍රවීන්ගේ ‘සරළ’ පන්දුව ගැන දිමුත් කියපු කතාව

sinhala editor

By Chamila Karawita

බංග්ලාදේශයට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 209 කින් ජය ගත්තේය. ඒ සමඟම දෙරට අතර ටෙස්ට් තරගාවලියද 1-0 ක් වශයෙන් ශ්‍රී ලංකාවට ජය හිමිවිය. මෙම තරගාවලි ජයග්‍රහණය එක් අතකින් ශ්‍රී ලංකාවට සුවිශේෂී ජයග්‍රහණයකි. ඒ මන්ද යත් 2018 වසරේ සිට මේ දක්වා වූ වසර 3 ක කාලය ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායම සිය මව්බිම තුළදී ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් ලබාගැනීමට අපොහොසත්වීම හේතුවෙනි. අවසන් වරට ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවේදීම ටෙස්ට් තරගාවලියක් ජයගෙන ඇත්තේ 2018 වසරේදීය. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව  ලද 2-0 ක ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය. ලෝක ටෙස්ට් ශූරතාවලිය ආරම්භ කරමින් නවසීලන්තයට එරෙහිව ලද ජයග්‍රහණයෙන් පසු එම ලෝක ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව ලද දෙවැනි තරග ජයග්‍රහණය ලෙසද බංග්ලාදේශයට එරෙහිව ලද ටෙස්ට් ජයග්‍රහණය සනිටුහන් විය.

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යව තිබූ මෙම ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය තනිව ලද ජයග්‍රහණයක් නොවේ. ඒ සඳහා කණ්ඩායමේ බහුතරයකගේ දක්ෂතා ඉවහල් විය. දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඕෂද ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම, රමේෂ් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, සුරංග ලක්මාල් ජයග්‍රහණය සඳහා වැඩි සේවයක් ලබා දුන් අයවලුන් බවට පත්වූහ. එහෙත් ඒ අතරින් ප්‍රවීන් ජයවික්‍රම කැපී පෙනුණි. ඒ තම මංගල ටෙස්ට් තරගයේදීම වාර්තාගත පන්දු යැවීමක නිරතවීම හේතුවෙනි.

“මං හිතන්නේ ප්‍රවින් කරන දේවල් ගොඩක් සිම්පල්. එයා ගොඩක් වෙලාවට කළේ හරි තැන් වල බෝලෙ පතිතර කරන එක තමයි. රංගන හේරත්ගෙනුත් අපි දකින්නේ ඒ දේමයි. හැම තිස්සේම බැට්ස්මන්ලව හොඳ ඒරියාස් වල ප්ලේ කරනවා. බෝලෙට තමයි ගොඩක් චාන්ස් එක දෙන්නේ එතනින් දෙයක් කරන්න. මේ ලෙවල් එකේ ගහද්දී ගොඩක් ඒ සඳහා අනුගතවෙන්න ඕන. ඒක තමයි එයා මෙච්චර සක්සස් වෙන්න එයාගේ තියෙන සීක්‍රට් එක” යැයි ජයග්‍රහණය වෙනුවෙන් වැඩිම දායකත්වයක් දැක්වූ කෝඩුකාර ප්‍රවීන් ජයවික්‍රම පිළිබඳව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න අදහස් දක්වා සිටියේය.

පළමු ඉනිමේදී ලකුණු 92 කට කඩුලු 6 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 86 කට කඩුලු 5 ක් වශයෙන් සමස්ථ තරගයේදී ලකුණු 178 කට කඩුලු 11 ක් දවා ගැනීමට ප්‍රවීන් සමත්වූවේය. එය ශ්‍රී ලාංකික පන්දු යවන්නකු මංගල ටෙස්ට් තරගයේදී දක්වන ලද විශිෂ්ඨතම පන්දු යැවීමේ වාර්තාව බවට පත්විය. එපමණක් නොව එය ලොව මංගල ටෙස්ට් තරගයකට සහභාගිවුණු පන්දු යවන්නකුගේ දස වන හොඳම පන්දු යැවීම මෙන්ම වමත් දඟ පන්දු යවන්නකු දක්වන ලද හොඳම දක්ෂතාව ලෙසින්ද ප්‍රවීන්ගේ හපන්කම ක්‍රිකට් ඉතිහාසයට එක්වේ.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමකට හෝ ක්‍රීඩා කොට නැති, පළමු පෙළ තරග 10 කට පමණක් ක්‍රීඩා කර ඇති ජයවික්‍රම ශ්‍රී ලංකාවේ ටෙස්ට් අනාගතයට හොඳ ආයෝජනයක් වනු ඇති බවද කරුණාරත්න මෙහිදී අවධාරණය කර සිටියේය. “සමහර අය මේ වගේ ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරද්දී ටිකක් කලබලයට පත් වෙනවා. ගොඩක් දේවල් කරන්න හදනවා. අපි හැමෝම එයාට ගොඩක් වෙලාවට කිව්වේ පළමු පෙළ තරගයක ක්‍රීඩා කරනකොට ප්‍රෙෂර් එක හැන්ඩ්ල් කරගන්න විදියටම මේ තරගයේදී කරන්න කියලා. ප්‍රවීන් ඒක ගොඩක් හොඳට අවශෝෂනය කරගත්තා. යාගේ ජොබ් එක 100% ක්ම කළා. එයා පළමු පෙළ තරග 10 කට වඩා ගහලා තියෙනවා වගේ තමයි බෝල් කළේ. මං හිතන්නේ එයා අපේ ටෙස්ට් ක්‍රිකට් අනාගතයට හොඳ සලකුණක්” යි යනුවෙනි.

දෙවැනි ටෙස්ට් තරගය අතරතුර බංග්ලාදේශ පිලේ දැවී ගිය කඩුලු 20 න් 17 ක්ම දවා ගනු ලැබුවේ ප්‍රවීන් සහ රමේෂ් මෙන්ඩිස් විසිනි. ප්‍රවීන් කඩුලු 11 ක් බිඳ හෙළද්දී රමේෂ් ඉතිරි කඩුලු 6 දවා ගත්තේය.  

“ඇත්තටම කියන්න ඕන ප්‍රවීන්ගෙයි රමේෂ්ගෙයි දක්ෂතා ගැන හුඟක් සතුටුයි.මොකද අත්දැකීම් තියෙන කවුරුත් නැති වෙලාවේ ඒ දෙන්නා ඇවිල්ලා අත්දැකීම් තියෙන පන්දු යවන්නන් වගේ කණ්ඩායමට එයාලගෙන් වෙන්න ඕන දේ කරලා දුන්නා. ඒ ගැන මම ගොඩාක් සතුටු වෙනවා. රමේෂුත් ගොඩක් ලොකු හෙල්ප් එකක් දුන්නා. විශේෂයෙන්ම ප්‍රෙෂර් එක දීලා ප්‍රවීන්ට විකට් ටික ලබාගන්න” යි පවසන ශ්‍රී ලංකා නායකයා රමේෂ් තව දුරටත් ඔහුගේ දක්ෂතා වර්ධනය කරගත යුතු බවද පැවැසීය.

“රමේෂ් තව ටිකක් දක්ෂතා වර්ධනය කරගන්න ඕන. විශේෂයෙන්ම පන්දුව යවන ලයින් ඇන්ඩ් ලෙන්ත් එක ගැන. ඒ වගේම ප්‍රතිවාදීන්ට පීඩනය යොමු කරන්නේ කොහොමද කියන එක ගැන එයා තව ඉගෙන ගන්න ඕන. රමේෂුත් තාම සෙල්ලම් කළේ දෙවැනි ටෙස්ට් තරගය. මං හිතනවා තරග 15 ක් 20 ක් යනකොට එයා ඒ දේවල් ඔක්කොම හරියට අල්ල ගනිවී කියලා” යි දිමුත් පවසයි.  

පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 244 ක්, දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 118 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 66 ක් වශයෙන් සමස්ථ තරගාවලියේදී ලකුණු 428 ක් රැස් කිරීමට දිමුත් කරුණාරත්න සමත්විය. එම දක්ෂතාවය දිමුත්ට තරගාවලියේ වීරයා සම්මානය ගෙනා දුන්නේය.

“පන්දුවට පහර දීමේදී පොඩි වෙනස්කම් කීපයක් කළා. ඒත් ටෙකිනික් එක පැත්තෙන් මුකුත් කළේ නෑ. පන්දුවට පහර දීමේදී වන ප්‍රවේශය ගැන තමයි ගොඩක් අවධානය යොමු කළේ. මං හිතන්නේ මං වෙස්ට් ඉන්ඩීස් වල ක්‍රීඩා කරපු විලාශය පොඩ්ඩක් විතර වෙනස් කළා”.

“වෙස්ට් ඉන්ඩීස් වලදී මම දැවී ගියේ ඉක්මනින් ලකුණු ගන්න ගිහිල්ලා. ඒ නිසා මේ තරගාවලියෙදි මම ගොඩක් වෙලාවට උත්සාහ කළේ පළවැනි පන්දුවාර 10-15 පුලුවන් තරම් පන්දුව නිදැල්ලේ යවලා පුලුවන් තරම් හොඳට ක්‍රීඩා කරන්න. ඒ වගේ දේවල් තමයි වෙනස්කම් කළේ. ඒ දේවල් මම හිතනවා ගොඩාක් සක්සස් වුණා කියලා” යැයි පිතිකරණයෙන් දක්ෂතා දැක්වීම පිළිබඳවම දිමුත් අදහස් දක්වා සිටියේය.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest