slc
logo
Home   |    News
ජූනි 14, 2021
‘හෝල් ඔෆ් ෆේම්’ ලැයිස්තුවට සංගක්කාරගේ නමත් එක්වෙයි

sinhala editor

යුගයේ බිහිවූ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙසින් නම් කරන ‘හෝල් ඔෆ් ෆේම්’ හෙවත් ක්‍රිකට් කීර්තිධරයන්ගේ ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් නායක කුමාර් සංගක්කාරගේ නම ඇතුළත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන තිබේ.

මෙම ලැයිස්තුව සඳහා හිටපු ක්‍රීඩකයින් 10 දෙනෙකු ඇතුළත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන තිබෙන අතර ඔවුන් කාණ්ඩ 4 කට බෙදා නම් කර තිබේ. මුල් අවධියේ ක්‍රිකට් යුගය, යුධ සමයේ ක්‍රිකට් යුගය, යුද්ධයෙන් පසු ක්‍රිකට් යුගය සහ එක්දින ක්‍රිකට් යුගය සහ නව්‍යකරණ ක්‍රිකට් යුගය වශයෙන් එම කාණ්ඩ නම් කර තිබේ.

එහිදී කුමාර් සංගක්කාර අයත්ව සිටින්නේ නව්‍යකරණ ක්‍රිකට් යුගයේ බිහිවූ විශිෂ්ඨයෙකු ලෙසිනි. සංගක්කාර හැරුණු විට එම කාණ්ඩයේ සිටින අනෙක් ක්‍රීඩකයා වන්නේ සිම්බාබ්වේ පිලේ හිටපු නායකයකු වන ඇන්ඩි ෆ්ලර් වේ. ඒ අනුව මෙම නාමාවලියට එක්වූ දෙවැනි ක්‍රීඩකයා වන්නේ කුමාර් සංගක්කාර වන අතර ඔහුට ප්‍රථම මුත්තයියා මුරලිදරන් 2016 වසරේදී එක්ව සිටියි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 134 කට ක්‍රීඩා කර ඇති කුමාර් සංගක්කාර ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 57.40 ක් රඳවා තබා ගනිමින් ටෙස්ට් ලකුණු 12400 ක් වාර්තා කිරීමට සමත්ව සිටියි.

කඩුලු රකින්නකු ලෙසින්ද කටයුතු කළ හේ උඩ පන්දු 182 ක් සහ ස්ටම්ප් කිරීමට 20 ක් සඳහා සිය දායකත්වය ලබා දී තිබේ. එක්දින තරග වලදී පූර්ණ කාලීන කඩුලු රකින්නකු ලෙසින් කටයුතු කළද ටෙස්ට් තරග අංශයේ මුල් භාගයේ පමණක් කඩුලු රැකීමේ කටයුත්තේ සංගක්කාර නිරත වූවේය. කඩුලු රැකීමේ කාර්යයෙන් ඉවත් වීමත් සමඟ ඔහු පිතිකරුවකු ලෙස වැඩි දක්ෂතාවයක් පෙන්නුම් කිරීම නිසා අවසන් වසර කීපයේදීම ඔහු පිතිකරුවකු ලෙසින් පමණක් කටයුතු කළේය.

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය සමඟ එක්ව 2009 වසරේදී ලෝකයට හඳුන්වා දී තිබෙන මෙම නාමාවලිය, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ශත සංවත්සරය හා බැඳී පවතින්නකි. ක්‍රිකට් ක්‍රීඩාවේ සදාතනික වීරයන්ගේ දස්කම් තක්සේරු කරමින් අන්තර්ජාතික ක්‍රිකට් සභාව වාර්ෂිකව මෙම ලැයිස්තුවට ක්‍රීඩකයින් එකතු කරනු ලැබේ.

අලුතින් නම් කරන ලද ක්‍රීඩකයින් 10 දෙනාත් සමඟ අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් මෙතෙක් කීර්තිධරයන්ගේ ලැයිස්තුව සඳහා නම් කර ඇති සම්පූර්ණ ක්‍රීඩකයින් සංඛ්‍යාව 103 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අලුතින් නම් කරන ලද ක්‍රීඩකයින් 10 දෙනා මෙසේය – ඕබ්රි ෆෝක්නර් (දකුණු අප්‍රිකාව), මොන්ටි නෝබල් (ඔස්ට්‍රේලියාව), ශ්‍රීමත් ලියරි කොන්ස්ටන්ටයින් (බ.ඉ.කොදෙව්), ස්ටැන්ලි මැකේබ් (ඔස්ට්‍රේලියාව), ටෙඩ් ටෙක්ස්ටර් (එංගලන්තය), විනෝ මන්කාඩ් (ඉන්දියාව), ඩෙන්මන්ඩ් හේන්ස් (බ.ඉ.කොදෙව්), බොබ්විලීස් (එංගලන්තය), ඇන්ඩි ෆ්ලවර් (සිම්බාබ්වේ), කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar