slc
logo
Home   |    News
ජූලි 6, 2021
ශ්‍රී ලංකාවෙන් විශාල අභියෝගයක් බලාපොරොත්තු වනවා – සූර්යකුමාර් යාදව්

sinhala editor

ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෝ සිය නීරෝධායන කාල සීමාව අවසන් කරමින් කොළඹ එස්. එස්. සී. පිටියේ සිය පුහුණුවීම්වල නිරතව සිටිති. ගෙවී ගිය දින කීපය ඇතුළත පුහුණුවීම් වලට අමතරව කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙපිළ බෙදී වූ පුහුණු තරගයකට ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාවට එරෙහිව වන තරගාවලියට සඳහා පූර්ව අවධානය යොමු කර සිටියි.

ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුතු ඉන්දීය විස්සයි-20 සහ එක්දින කණ්ඩායමට ඇතුළත් සූර්යකුමාර් යාදව් පවසන පරිදි මෙම තරගාවලියේදී ධනාත්මක ආකල්පයන් රැසක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් තමන් ඇතුළු කණ්ඩායම තරගාවලියට සූදානම් වෙමින් සිටින බවයි.

“ඇත්ත වශයෙන්ම කියනවා නම් කණ්ඩායමේ සියළුම ක්‍රීඩකයින් මුලුමනින්ම තරගාවලිය පිළිබඳව අවධානය යොමු කරලා තියෙන්නේ” යැයි අද (06 දා) පැවැති මාධ්‍ය හමුවේදී පවසා සිටියේය.

30 වැනි විය ගෙවා දමමින් සිටින ක්‍රීඩකයක් වුවත් යාදව් තවමත් ජාත්‍යන්තර මට්ටමට නවකයෙකි. ඉනදීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන අයි.පී.එල්. තරගාවලියේදී දක්වන ලද දක්ෂතා මත මෙම වසර මුලදී ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබා සිටින යාදව් විනෝදකාමීත්වයෙන්ද යුතු ධනාත්මක කරුණු රාශියක් බලාපොරොත්තුවෙන් මෙම තරගාවලියට අවතීර්ණව සිටියි.

විරාත් කෝලිගේ නායකත්වයෙන් යුතු ඉන්දීය ටෙස්ට් කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයට සහභාගිවීම සඳහා එංගලන්තයට ගිය අතර එම තරගය අවසානයේ තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට එංගලන්තය සමඟ සහභාගිවනු ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලියට පෙර යාදෙව් එංගලන්තයට එරෙහිව මෙම වසර මුලදී පැවැති තරගාවලියේදී ජාත්‍යන්තර විස්සයි-20 තරග වරම් දිනාගැනීමට සමත්වූවේය.

“අපේ පුහුණු සැසි පැවැත්වෙන ආකාරය වගේම කණ්ඩායම බෙදී ක්‍රීඩා කරන ලද පුහුණු තරගය ක්‍රීඩා කළ ආකාරය ඉතා හොඳින් වුණා” යි පවසන යාදව්, “එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කළ තරගාවලිය වෙනස්. මේ තරගාවලිය ඊටත් වෙනස් තරග මාලාවක්. නමුත් අභියෝගය කියන දේ ඒ විදියටම තියෙනවා. වැදගත් වන්නේ මාගේ දක්ෂතා ඒ විදියටම පවත්වාගෙන යෑමයි. ඒ නිසා පීඩනය කියන දේ තියෙනවා. පීඩනයක් නොමැති නම් එතන විනෝදයක් නෑ. ඒ නිසා මා ලොකු අභියෝගයක් මේ තරගාවලියේදී බලාපොරොත්තු වෙනවා” යැයි වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

අයි.පී.එල්. තරගාවලියේදී වඩාත් ආකර්ශනීය පිතිකරුවකු බවට පත්ව සිටින සූර්යකුමාර් ඕනෑම අවස්ථාවක, හතරේ සීමාවෙන් එපිටට පන්දුව එල්ල කිරීමට සුවිශේෂී හැකියාවකින් යුක්ත පිතිකරුවෙකි. “සෑම වසරකටම මම මගේ කණ්ඩායමේ සාමාජිකයින්ගේ වෙනස් වෙනස් දේවල් ඉගෙන ගෙන තියෙනවා. ඒ අත්දැකීම් පිතිකරණ ලැයිස්තුවේ ඕනෑම තැනක ක්‍රීඩා කිරීම වෙනුවෙන් මට පැහැදිළි දායකත්වයක් ලබා දෙනවා” යි යාදව් පවසයි.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන පළමු තරගය මේ මස් 13 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර තරගාවලියට ඇතුළත් එක්දින තරග 3 ත් විස්සයි-20 තරග 3 ත් එම ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest