slc
Home   |    News
සැප්තැම්බර් 12, 2021
දකුණු අප්‍රිකානුවෝ හඹා ගොස් ජය ගනිති

sinhala editor

By Chamila Karawita

තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැඳී සිටීමට ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය අතිශයින් තීරණාත්මක දෙවැනි විස්සයි-20 තරගයේදීද බලාපොරොත්තු සුන් කළ දකුණු අප්‍රිකානුවෝ කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කරමින් තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට අද (12 දා) සමත්වූහ. මෙය මෙම තරගාවලියේදී ලකුණු හඹා යමින් කණ්ඩායමක් ජයග්‍රහණය වාර්තා කරන ලද පළමු තරගය ලෙසින්ද සටහන් විය.

පන්දු 35 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට කුවින්ටන් ඩි කොක් සහ ඒඩ්න් මාක්‍රම් සමත්වීමත් සමඟ සුවිශේෂී වූ අවස්ථාවන් කීපයකටම හිමිකම් කීමට දකුණු අප්‍රිකාවට හැකියාව ලැබිණ. ඒ පිට පිටම ලද හයවැනි විස්සයි-20 තරග ජය, වැඩිම තරග සංඛ්‍යාවක් එක දිගට ජයග්‍රහණ වාර්තා කරන ලද දෙවැනි අවස්ථාව (6) සහ පිට පිටම වාර්තා කරන ලද තෙවැනි තරගාවලි ජයග්‍රහණ ලෙසිනි.

හඹා යෑමේදී කුවින්ටන් ඩි කොක් පන්දු 48 කදී ලකුණු 58 ක්ද ඒඩ්න් මාක්‍රම් පන්දු 19 කදී ලකුණු 21 ක්ද, සහ රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 18 ක්ද රැස් කරමින් දකුණු අප්‍රිකානු ජයග්‍රහණය මඟ පෑදූහ. මේ අතරතුරදී 9 වැනි පන්දුවාරය අවසන් වීමත් සමඟ තරගයට වර්ෂාවෙන් බාධා ඇතිව තරගය තාවකාලිකව නතර කෙරුණද දකුණු අප්‍රිකානුවෝ ඉදිරියෙන් පසුවූහ. ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රාහී ඉලක්කය බවට පත්ව තිබුණේලකුණු 40 ක් වුවත් දකුණු අප්‍රිකාව ලකුණු 65 ක් ලබා සිටියේය. දැවී ගිය රීසා හෙන්ඩ්‍රික්ස්ගේ කඩුල්ල වනිඳු හසරංග දවා ගනිද්දී මහීෂ් තීක්ෂණට කඩුල්ලක් ඒඩ්න් මාක්‍රම්ව දවා ගැනීමට තිබූ අවස්ථාව තෙවැනි විනිසුරු ක්‍රමවේදයෙන් පසු වෙනස් වීය.

පන්දු 11 ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 103 කට කරකවා අත හැරීමට ටබ්‍රේස් ශම්සි ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත්වූහ. ශ්‍රී ලංකාව දැවී ගිය මෙම ලකුණු සංඛ්‍යාව විස්සයි-20 තරග වල මව්බිමේදී වාර්තා කර ගන්නා ලද අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය.

තණතීරුවෙන් ලැබෙන සහයෝගය පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබා ගනිමින් පන්දු යැවි දකුණු අප්‍රිකානුවෝ 7 වැනි පන්දුවාරයේ සිට 13 වැනි පන්දුවාරය දක්වා වූ කාල සීමාවේදී ලකුණු 34 ක් පමණක් ලබා දෙමින් පිතිකරුවන් සිවු දෙනෙකු දවා ගත්හ. ඒ අතර ධනංජය ද සිල්වා, නායක දසුන් ශානක, කුසල් පෙරේරා සහ වනිඳු හසරංග ඇතුළත් වූහ. ප්‍රධාන පිතිකරුවන් දැවී යෑම නිසා 10 වැනි පන්දුවාරයේ පළමු පන්දුවට නායක දසුන් ශානක විසින් ශම්සිට එරෙහිව එල්ල කරන ලද හයේ පහරෙන් පසු 19 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේදී ශ්‍රී ලංකා ඉනිම අවසන් වන තුරු යවන ලද පන්දු 54 අතරතුරදී එකම හතරේ පහරක් හෝ හයේ පහරක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට අවස්ථාවක් නොලැබිණ.

ලකුණු 10 ක් තිබියදී දිනේෂ් චන්දිමාල් දැවී ගියද ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රවේගකාරී ආරම්භයක් ලබා දුන් භානුක රාජපක්ෂ සහ කුසල් පෙරේරා අධිවේගී පන්දුවාර 6 අවසන් වන විට ලකුණු 52 ක් රැස් කර ගැනීමට ඉඩ පහස විවර කර දුන්හ. අවසන් වරට ක්‍රීඩා කරන ලද ජාත්‍යන්තර ඉනිම 3 දීම ලකුණු ලබා ගැනීමට අපොහොසත් වුණු භානුක රාජපක්ෂ කාගිසෝ රාබඩාට එරෙහිව පිට පිට හතරේ පහරක් සහ හයේ පහරක් එල්ල කරමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කළ අතර ඒඩ්න් මාක්‍රම්ගේ පන්දුවක් හමුවේ ඔහු වෙතටම උඩ පන්දුවක් දී දැවී ගියේය. රාබඩාට එල්ල කරන ලද දැවැන්ත පහර 2 ට අමතරව පන්දු 13 කදී වාර්තා කරගන්නා ලද ලකුණු 20 සඳහා භානුක තවත් හතරේ පහර 2 කින්ද ඉනිම වර්ණවත් කරගෙන සිටියේය.

ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය කඩුලු 10 න් 9 ක්ම දඟ පන්දු යවන්නන් ලබා ගනිද්දී දිනේෂ් චන්දිමාල්ගේ කඩුල්ල පමණක් වේග පන්දු යවන ඇන්රිච් නෝයේ විසින් දවා ගත්තේය. ලොව අංක 1 විස්සයි-20 පන්දු යවන්නා බවට පත්ව සිටින ටබ්‍රේස් ශම්සිගේ චයිනමන් පන්දු හමුවේත්, ඒඩ්න් මාක්‍රම්ගේ පිට දඟ පන්දු යැවීම හමුවේත් ශ්‍රී ලංකා පිතිකරුවෝ අසරණ වූහ. ධනංජය ද සිල්වා සහ නායක දසුන් ශානකගේ කඩුලු දවා ගත් ශම්සි අනතුරුව චාමික කරුණාරත්නගේ කඩුල්ලද දවා ගනිමින් තම පන්දුවාර 4 අවසන් කරන ලද්දේ ලකුණු 20 ක් පමණක් ලබා දෙමිනි. ඔහුට නොදෙවෙනි පන්දු යැවීමක නිරත මාක්‍රම් ලකුණු 21 කට කඩුලු 3 ක් දවා ගිනිමින් තම දිවියේ හොඳම විස්සයි-20 පන්දු යැවීම වාර්තා කර ගත්තේය. ඊට අමතරව බියෝන් ෆෝටේන් කඩුලු 2 ක් සහ කේෂව් මහරාජ් එක් කඩුල්ලක්ද දවා ගත්හ. ඒඩ්න් මාක්‍රම් තුන් ඉරියව්වෙන්ම කැපී පෙනුණද තරගයේ වීරයා සම්මානයෙන් ටබ්‍රේස් ශම්සි පිදුම් ලැබීය. ප්‍රධාන පිතිකරුවන් සියල්ල ඉක්මනින් දැවී යද්දී එක් අනෙක් අන්තයේ තනිවුණු චරිත් අසලංක ශ්‍රී ලංකා ඉනිම ඇද ගෙන යෑමට උත්සාහ ගත්තද මාක්‍රම්ගේදඟ පන්දුව ඊට එරෙහි විය. කඩුලු අතර සම්බන්ධතා ගොඩ නඟා ගැනීමට අපොහොසත් වද්දී පීඩනය තර කළ දකුණු අප්‍රිකානුවෝ කඩුලු 6 කට ලකුණු 100 ක් ලෙසින් සටහන්ව තිබූ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 103 කදී නිමා කරන ලද්දේ 103 දී අවසන් කඩුලු 3 ම බිඳ දමමිනි.

Active filters

Recent Posts

  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
USD United States (US) dollar

Pin It on Pinterest