slc
Home   |    News
සැප්තැම්බර් 3, 2021
දකුණු අප්‍රිකාව පැරදවූ ශ්‍රී ලංකාව තරගාවලියේ පෙරමුණට

sinhala editor

By Chamila Karawita

අවසන් පන්දුවාර 3 දී ජයග්‍රහණය සඳහා ලබාගත යුතුව තිබූ ලකුණු 37 ආරක්ෂා කර ගැනීමට දුෂ්මන්ත චමීර සහ චාමික කරුණාරත්න සමත්වීම හේතුවෙන් ලකුණු 301 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ලකුණු 14 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (02 දා) රාත්‍රියේදී හැකියාව ලැබිණ. ඒ අනුව ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා වන ප්‍රසාද ලකුණු 10 ක් හිමිවීමට අමතරව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස ඉදිරියට පැමිණීමටද ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවිය.

ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවැති එකම එක්දින තරගයක හෝ රාත්‍රියේ පන්දුවට පහර දුන් කණ්ඩායමක් ලකුණු 300 සීමාව ඉක්මවා ගිය ඉලක්කයක් හඹා ගොසින් තරගයක් ජය ගෙන නොමැති වුවත් ඕවර  40 අවසානයේ කඩුලු 3 ක් පමණක් ලබා දුන් දකුණු අප්‍රිකානුවෝ ලකුණු 210 ක් ලබා එම අභියෝගයට සාර්ථකව අනුගත වූහ. ඒ අනුව අවසන් පන්දුවාර 10 දී ශ්‍රී ලංකාව රැස් කරගත් ලකුණු 90 සේම දකුණු අප්‍රිකානු පිලේ අවසන් පන්දුවාර 10 ඉලක්කය බවට පත්වූවේද ලකුණු 90 ක් නමුත්, අවශ්‍යම අවස්ථාවේදී පන්දු යවන්නන් ක්‍රියාත්මක වීම නිසා නියමිත පන්දුවාර 50 අවසනදී දකුණු අප්‍රිකානු පිලට රැස් කර ගත හැකි වූයේ ලකුණු 286 ක් පමණි.

ආරම්භයේ සිටම ඉතා විශ්වාසවන්තව පන්දුවට පහර දුන් ඒඩ්න් මාක්‍රම් දකුණු අප්‍රිකානු ආරම්භයට ශක්තිමත් අඩිතාලමක් එක් කරන ලද ප්‍රධානියා විය. දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 106 ක සම්බන්ධතාවයක් පවත්වමින් ඉනිම ශක්තිමත් කරද්දී වනිඳු හසරංග විසින් යොමු කරන ලද පන්දුවක් අතේ වැදීම නිසා පන්දුවට පහර දීම පසෙක තබා පිටියෙන් ඉවත්වීමට බවුමාට සිදුවිය.

පළමු එක්දින ශකතය සොයමින් සිටින ඒඩ්‍රියන් මාක්‍රම් ශතකයට ලකුණු 4 ක් ලබා ගැනීමට තිබියදී ප්‍රවීන් ජයවික්‍රමගේ පන්දුවකට එල්ල කරන ලද ඉන්සයිඩ් අවුට් පහර ඩීප් එක්ස්ට්‍රා කවර් කළාපයේ පන්දු රැකි වනිඳු හසරංග විසින් රැකගැනීම නිසා මාක්‍රම්ගේ ඉනිම 96 දී නතර විය. මාක්‍රම් දවා ගැනීම වෙනුවෙන් වනිඳු රැක ගන්නා ලද උඩ පන්දුව ඉතාම විශිෂ්ඨ ගණයේ වූ බැවින් එම කඩුල්ලේ පූර්ණ ගෞරවයද හිමිවිය යුත්තේ වනිඳුට මිස ජයවික්‍රමට නොවේ.

එහෙත් සටන අත් නොහළ වැන්ඩර් ඩුසේන් පන්දු 59 කදී ලකුණු 59 ක් ද හෙන්රිච් ක්ලාසන් පන්දු 31 කදී ලකුණු 36 ක්ද රැස් කරමින් තරගය දකුණු අප්‍රිකානු පිල වෙත ගෙන ඒමට උත්සාහ ගත්තද දඟ පන්දු යවන්නන් වන අකිල, වනිඳු, ප්‍රවීන් සහ ධනංජයද ග්‍රහණය වැඩි කරමින් පන්දු යැවීමට සමත්වීම නිසා ඔවුනගේ උත්සාහය ව්‍යර්ථ විය.   

මන්දගාමී වුවත් ඉපිලීමෙහි අඩුවක් නොතිබුණු ආර්. ප්‍රේමදාස තණතීරුවේදී ලකුණු අතරට පිවිසි අවිෂ්ක ප්‍රනාන්දුගේ තෙවැනි අන්තර්ජාතික එක්දින ශතකය හේතුවෙන් ලකුණු 301 ක ඉලක්කයක් පළමු තරගයේදීම ප්‍රතිවාදීන් හමුවේ ලබා දීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ. මෙම ලකුණු සංඛ්‍යාව මෙම වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සටහන්විය.

ප්‍රබල දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නන් හමුවේ පසු පාදය වැඩි වශයෙන් භාවිතයට ගනිමින් පන්දුවට පහර දුන් අවිෂ්ක ප්‍රනාන්දුත්, හය වැනි එක්දින තරගයට සහභාගිවෙමින් සිටින චරිත් අසලංක සමඟ එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 97 ක සම්බන්ධතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව 300 ඔබ්බට ගෙන යෑමට දායකත්වය දැක්වූහ. පන්දු 71 ක් වැය වුණු එම සම්බන්ධතාවයේදී පන්දුවාරයකට ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 8.19 ක් ලෙසින් සටහන්ව පැවැතිණ.

පළමු අර්ධ ශතකය මුහුණ දුන් 75 වැනි පන්දුවේදී සපුරාගත් අවිෂ්ක ශතකය සඳහා වැය කරන ලද්දේ පන්දු 31 ක් පමණි. මුහුණ දුන් 106 වැනි පන්දුවේදී ලකුණක් කරා පැති මාරු වෙමින් සිය ශතකය සම්පූර්ණ කරගත් අවිෂ්ක දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරග ඉතිහාසයේ ශතකයක් ලද 6 වැනි ශ්‍රී ලාංකිකයා බවට පත්වූවේය. මාවන් අතපත්තු, ටී. එම්. ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර (දෙවතාවක්), අසේල ගුණරත්න සහ උපුල් තරංග අවිෂ්කට පෙර ශතක වාර්තා කළ පිතිකරුවෝ වූහ. එම ඉනිම හේතුවෙන් තරගයේ වීරයා සම්මානයද අවිෂ්ක පිදුම් ලැබීය.

කගිසෝ රාබඩාට සහ ඒජ්න් මාක්‍රම්ට එරෙහිව එල්ල කරන ලද හයේ පහර 2 ද ඇතුළුව තවත් හතරේ පහර 10 කින් ඉනිම අලංකාර කරගත් අවිෂ්ක ලකුණු 118 ක් ලබා සිටියදී දැවී යෑමෙන් පසු ඉනිමේ වගකීම කරට ගත් අසලංක අවසන් පන්දුවාර 10 දී ලකුණු 90 ක් රැස් කර ගැනීමට වැඩි දායකත්වයක් දැක්වීය. පන්දු 62 කින් සමන්විත වුණු අසලංකගේ ලකුණු 72 ක ඉනිම ඔහුගේ දෙවැනි අර්ධ ශතකය බවට පත්විය. ඇන්රිච් නෝයේට එරෙහිව මීටර 93 ක දුරකට පන්දුව යැවීමට සල්සවමින් එල්ල කරන ලද හයේ පහර ඇතුළු තවත් හතරේ පහර 6 ක් අසලංකගේ ඉනිමට ඇතුළත් කරගත්තේය.

දකුණු අප්‍රිකානු පිලේ පන්දු යවන්නන් ලෙසින් නම් දරා සිටින කාගිසෝ රාබඩා, ඇන්රිච් නෝයේට පන්දුවාරයකට ලකුණු 6 කට වඩා ලබා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ. ඔවුන් සතුව සිටින හොඳම දඟ පන්දු යවන්නා වන ටැබ්‍රේස් ශම්සිගේද පන්දුවාර 10 දී ලකුණු 55 ක් උදුරාගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ කේෂව් මහරාජ්ට පමණක් තරමක් ප්‍රවේශමෙන් පන්දුවට පහර දුන්හ. ඉනිමේ සාර්ථකම පන්දු යවන්නා වූ මහරාජ් ලකුණු 30 කට කඩුලු 2 ක් දවා ගත්තේය.

සාර්ථක ආරම්භයක් එක් කළ ආරම්භක පිතිකරුවන් පළමු පන්දුවාර 6 අවසන් වන විට ලකුණු 41 ක් ලබා ගත් බැවින් 7 වැනි පන්දුවාරය යැවීමට මහරාජ්ව කැඳවීමට දකුණු අප්‍රිකානු නායක බව්මාට සිදුවිය. සාර්ථකව කඩුලු අතර දිව යමින් ලකුණු රැස් කළ මිනෝද් – අවිෂ්ක යුගල දුර්වල පන්දු දුටු විට කිසිදු සමාවක් නොදී එය හතරේ පහර බවට පරිවර්තනය කර ගත්තේ ලොව වේගවත්ම පන්දු යවන්නා වන කාගිසෝ රාබඩාව තුට්ටුවකට හෝ මායිම් නොකරය. එහෙත් 10 වැනි පන්දුවාරයේ මාක්‍රම්ව හඳුන්වාදීමත් සමඟ භානුක ලකුණු 27 කට දැවී ගිය අතර අනතුරුව පිටියට පිවිසි භානුක රාජපක්ෂවද ලකුණු ලබා ගැනීමට පෙරම දවා ගැනීමට මහරාජ් සමත්විය.

13 වැනි පන්දුවාරය අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුලු 2 ක් දැවී ලකුණු 58 ක් ලබා සිටි නමුත් දකුණු අප්‍රිකානුවන්ට පීඩනය දිගටම රඳවා ගැනීමට නොහැකි විය. එහිදී සාර්ථක වුණු අවිෂ්ක සහ ධනංජය ද සිල්වා තෙවැනි කඩුල්ල වෙනුවෙන් 79 ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ඔසවා තැබූහ. එම සම්බන්ධතාවයේදී ධනංජයගේ දායකත්වය පන්දු 62 කදී ලකුණු 44 ක් විය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest