slc
logo
Home   |    News
සැප්තැම්බර් 13, 2021
පරාජය ගැන පිතිකරණ පුහුණුකරු කතා කරයි

sinhala editor

BY Chamila Karawita

පුහුණුවීම් අතරතුරදී අතපසුවීම් නවතාලීම වෙනුවෙන් කළ හැකි සියළුම දේ පිළිබඳව අවධානය යොමු කරන නමුත් පිටිය තුළදී ඒ ඒ පීඩනයන්ට අනුවර්ථනය වීමට ක්‍රීඩකයින්ට නොහැකි වීම කණ්ඩායම තුළ පවතින අඩුපාඩුවක් බව තමන් පිළිගන්නා බවත් පවසන ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වන ග්‍රාන්ට් ෆ්ලවර් ලෝක කුසලාන තරගාවලියේදී සාර්ථක වීමට නම් මේ සියල්ල හරියාකාරව සකසා ගත යුතු බව අවධාරණය කර සිටියි.

තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ දෙවැනි තරගයෙන්  ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක පරාජයක් දකුණු අප්‍රිකානු පිල හමුවේ ලැබීමත් සමඟ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය පරාජයට පත්විය. ජයග්‍රහණය සඳහා ලකුණු 104 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු පිතිකරුවෝ පන්දු 35 ක් ඉතිරිව ඉලක්කය සපුරාගත්හ. මෙම තරග පරාජයට හේතු විමසීම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවේදී පිතිකරණ පුහුණුකරුවා සිය අදහස් පළ කර සිටියේය.

“සත්‍ය වශයෙන්ම අපේ පිතිකරුවන් ඔවුන්ගේ දඟ පන්දු යවන්නන්ට මුහුණ දුන්න ආකාරය ඉතාම දුර්වලයි. පුහුණුවීම් වලදී අපි ගොඩක් දේවල් කරනවා. ඒ වගේම කතා කරන්න පුලුවන් හැම දේ ගැනම අපි නිතරම කතා කරනවා. නමුත් මේ වෙලාවේ අපේ ක්‍රීඩකයින්ගේ මානසික ඒකාග්‍රතාවය ටිකක් පහළ මට්ටමක තියෙන්නේ. ඒ නිසයි ඔවුන් වැරදි වෙලාවන්වලදී වැරදි තීරණවලට පෙළැඹුණේ. මම හිතන්නේ එහෙම වෙන්නේ ඔවුන්ට තියෙන පීඩනය නිසා” යැයි පවසන ෆ්ලවර්, “එම පීඩනයන්ට කණ්ඩායමේ ක්‍රීඩකයින්ට අනුවර්තනය වීමට නොහැකි වීම මේ පරාජයට හේතු වුණා. කොහොම වුණත් ලෝක කුසලාන තරගාවලියෙදි මෙන්ම සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී සාර්ථක වන්න නම් මේ අතපසුවීම් ඉක්මනට හදා ගන්න ඕන” යැයි සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා ඉනිමේ යවන ලද පන්දුවාර 18.1 න් පන්දුවාර 16 කුත් පන්දුවක් ඔවුන්ගේ දඟ පන්දු යවන්නන් විසින් ක්‍රියාත්මක කරන ලද ඒවා විය. ඒ අතරතුර ඔවුන් ලකුණු 63 ක් පමණක් ලබා දෙමින් දැවී ගිය කඩුලු 10 න් 9 කටම හිමිකම් කීහ. ඒ අතර කැපී පෙනුණු ටබ්‍රේස් ශම්සි ලකුණු 20 කට කඩුලු 3 ක් සහ ඒඩ්න් මාක්‍රම් ලකුණු 21 කට කඩුලු 3 ක් දවා ගනිමින් කැපී පෙනුණහ.

තියුණු දඟ කැවීමක් සහිතව දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන්නන් පන්දු යැව්වද ශ්‍රී ලංකා පිතිකරුවන් උපක්‍රමශීලීව පන්දුවට පහර දීම වෙනුවට තදින් දඟ කැවෙන පන්දුවලට එලවා ගොස් පහර දීමට පෙළැඹිණ. මේ තත්ත්වය මත වටිනා කඩුලු කීපයක්ම දකුණු අප්‍රිකානු පිල හමුවේ ශ්‍රී ලංකා පිල පූජා කළේය. එහෙත් හඹා යෑමේදී එතරම් කලබලක් නොපෙන්වූ දකුණු අප්‍රිකානුවෝ සත්කාරකයින්ට හිමි වාසිය තමන් වෙතට පෙරළා ගනු ලැබුවේ තදින් දඟ කැවී එන පන්දුවලට හරහට හෙවත් ස්වීප් සහ රිවර් ස්වීප්ස් පහර කරා යමිනි.

“ස්වීප් සහ රිවර් ස්වීප්ස් පහර හොඳින් එල්ල කිරීමේ හැකියාව තියෙන්නේ අපේ පිතිකරුවන් කීප දෙනෙකුට පමණි. අනෙක් කරුණ තමයි අපේ අය හිතනවා ස්වීප් සහ රිවර් ස්වීප් පහර එල්ල කරන්නේ නැතුව ප්‍රතිවාදී පන්දු යවන්නන්ට පහර එල්ල කිරීමට යෑම තමයි සුදුසුම කියලා. නමුත් දඟ කැවීමක් තියෙනකොට අපිට සීමා ඉරෙන් ඉදිරියට ඇවිල්ලා පහර කරා යන්න අසීරුයි. ඒ නිසා මේ පහර වල් එල්ල කිරීමෙන් වැඩි ඵලදායීතාවයක් ලබාගත හැකි වෙනවා”.

“නමුත් මේ පහර එල්ල කිරීමේදී හොඳ විශ්වාසයක් තියෙන්නේ ඒන. ඒක ඇති කර ගන්න නම් ගොඩක් පුහුණුවීම් වල නිරත වෙන්න ඕන. ඒ දේවල් අපි ක්‍රීඩකයින් සමඟ කතා කරනවා. වගේම ඔවුන් ඒ පහර එල්ල කරන්න පුහුණු වෙනවා. මේ ඔක්කොම අර කළින් කිව්වා වගේ පීඩනයත් එක්ක වෙනස් වෙනවා. අපිට හැම තිස්සේම හයේ සහ හතරේ පහර එල්ල කරන්න බැරි වෙනවා. එතකොට අපි උත්සාහ කරන්න ඕන ලකුණ හෝ දෙක ලබාගන්න. එතැනදි ස්වී් පහර විතරක් නොවෙයි අනෙක් විකල්ප පහර ගැනත් අවධානය යොමු කරන්න ඕන” යැයි ෆ්ලවර් සිය කණ්ඩායමේ පිතිකරණ රටාව සාධාරණීයකරණය කිරීමට උත්සාහ දරයි.

“ඔබ බැලුවොත්, පවර් ප්ලේ පන්දුවාර 6දී අපි ලකුණු 54 ක් ලබා ගත්තා. එතැනදි භානුක (රාජපක්ෂ) සහ කුසල් (පෙරේරා) ලබා ගත්ත ආරම්භය ඉතාමත් වටිනවා. ඒ ආරම්භය තව ටික වෙලාවක් අරගෙන යන්න තිබුණා නම් අනිත් ක්‍රීඩකයින්ටත් ඊට දායකත්වය දක්වන්න අවස්ථාව තිබුණා. මේ ගැන තමයි අපි අවධානය යොමු කරන්න ඕන. අපිට ලෝක කුසලාන තරගාවලියට පෙර තව පුහුණු තරග කීපයක් තියෙනවා. ඒ කාලයේදී අපි ක්‍රීඩකයින් සමග තනි තනිව කතා කරන්න ඕන. මම හිතනවා කණ්ඩායමේ ක්‍රීඩකයින් වැරදි හඳුනාගෙන තුන්වැනි තරගයට ක්‍රීඩා කරයි කියලා” යැයි ෆ්ලවර් කියයි.

එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම, දකුණු අප්‍රිකානු පිලට එරෙහිව තරග වදිනු ලබන අවසන් විස්සයි-20 තරගය හෙට (14 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහභාගිවනු ඇත. මේ වන විටත් තරගාවලිය පරාජයට පත්ව සිටියද එළැඹෙන ඔක්තෝම්බර් 03 වැනිදා ලෝක කුසලාන තරගාවලිය සඳහා පිටත්ව යෑමට හෙට තරගයේ ජය වාර්තා කිරීම ශ්‍රී ලංකා පිලට මානසික වශයෙන් සුභ දායක වනවා මෙන්ම ගෞරවාන්විත තරගාවලියක් අවසානයට හෙට තරගයේ ජය වඩා වැදගත් වනු ඇත.

Active filters

Recent Posts

  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]

Pin It on Pinterest

USD United States (US) dollar