slc
logo
Home   |    News
අප්‍රේල් 18, 2024
චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී

Sri Lanka Cricket

දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක වික්‍රමයෙන් ශ්‍රී ලංකාවට කඩුලු හයක පහසු ජයග්‍රහණයක් අත් වුයේ එක්දින තරගාවලිය ද තරග 1 – 1ක් ලෙස සම වෙමිනි.

චමරි අතපත්තු මෙදින ලකුණු 195ක් රැස් කළේ පන්දු 139කට මුහුණ දී හතරේ පහර විසිහයක් සහ හයේ පහර පහක් ද සමඟිනි.

ලොව කාන්තා එක්දින තරගයක වැඩිම ලකුණු සංඛ්‍යාවක් (302) හඹාගොස් ජයගත් ප්‍රථමවතාව මෙය ලෙස කාන්තා වාර්තා පොතට එක් වේ.

මේ තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු පහක් දැවී රැස් කළ ලකණු 301ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 44.3කදී කඩුලු හතරකට ලකුණු 305ක් රැස් කළේ තවත් කඩුලු හයක් සහ ඕවර 5.3ක් (පන්දු 33ක්) ඉතිරිව තිබියදීය.

අවසාන තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නොදැවී ලකුණු 195ක් රැස් කළ ශ්‍රී ලංකා නායිකාව චමරි අතපත්තුත් එක්දින තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස දකුණු අප්‍රිකා නායිකාව ලෝරා වොල්වාඩ් ද නම් කැරිණි. ලෝරා අවසාන එක්දින තරගයේදී නොදැවී ලකුණු 184ක් රැස් කළ අතර ඇය මේ එක්දින තරගාවලියේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළ පිතිකාරිණිය වුවාය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙවර දකුණු අප්‍රිකාවේ විස්සයි 20  සහ එක්දින තරගාවලිය සාර්ථකව නිම කළේ විස්සයි 20 තරගාවලිය තරග 2 – 1කින් ජය ගනිමින් සහ එක්දින තරගාවලිය 1 – 1ක් ලෙස සම කිරීමෙනි. ප්‍රථම එක්දින තරගය අයහපත් කාලගුණය මත විසඳුමකින් තොරව නිමාවට පත්විණි.

අවසාන එක්දින තරගයේදී මුලින් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම රැස් කළ ලකුණු 301 අභිබවා යාමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පිටියට පිවිසි අවස්ථාවේ සාර්ථක අයුරින් එය හඹායාමට මුලිකව ක්‍රියා කරමින් දක්ෂ පිතිහරඹයක නියැලුණු චමරි අතපත්තුට ජයග්‍රහණයේ වැඩි ගෞරවයක් අත්විය යුතු වේ. කාන්තා කණ්ඩායම මෙවැනි ලකුණු සංඛ්‍යාවක් පහසුවෙන් හඹා ගිය ප්‍රථම අවස්ථාව ද මෙයයි.

ලංකා කණ්ඩායම ලකුණු 301ක දැවැන්ත ලකුණු ප්‍රමාණයක් හඹායාමේදී ඕවර 35ක් පමණ වනතුරුම ඕවරයකට සාමාන්‍ය ලකුණු හයක් පමණ වන අයුරිනුත් පසුව එය ඕවරයකට සාමාන්‍ය ලකුණු හතකට ආසන්න වන අයුරිනුත් තබා ගැනීමට සමත් විණි.

මේ ජයග්‍රහණයට සබඳතා දෙකක්ම මුල් විණි. චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න ප්‍රථම කඩුල්ලට පන්දු 91කදී රැස් කළ ලකුණු 90ක සබඳතාවයත් චමරි සහ නිලක්ෂි ද සිල්වා පස්වන කඩුල්ලට පන්දු 144කදී නොදැවී රැස් කළ ලකුණු 179ක සබඳතාවයත් මේ සබඳතා දෙක වේ.

නිලක්ෂි ද සිල්වා පන්දු 71කදී හතරේ තුනක් සමඟ නොදැවී ලකුණු 50ක් ද විශ්මි ගුණරත්න පන්දු 47කදී හතරේ තුනක් සමඟ ලකුණු 26ක් ද මෙදින රැස් කළහ. මෙය චමරිගේ දසවන එක්දින ශතකය වන අතර ඇයට ද්විත්ව ශතකය අහිමි වුයේ අවාසනාවන්ත අයුරිනි. එහෙත් මේ තරගයේදී  ඇය නොදැවී රැස් කළ ලකුණු 195 එක්දින තරගයක ඇයගේ වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

දකුණු අප්‍රිකා නායිකාව 25 හැවිරිදි ලෝරා වොල්වාඩ් නැවතවතාවක් ශතකයක් රැස් කළේ ආරම්භක පිතිකාරිණිය ලෙස පැමිණ පනස්වන පන්දුවාරය නිම වන තෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිට පන්දු 147කට මුහුණ දී හතරේ 23ක් සහ හයේ හතරක් සමඟ නොදැවී ලකුණු 184ක් රැස් කරමිනි.

දකුණත් ආරම්භක පිතිකාරිණිය වන ලෝරා ලබාගත් හත්වන එක්දින ශතකය මෙය වේ. ඇය ප්‍රථම කඩුල්ලට ලාරා ගුඩ්ඕල් (ලකුණු 31යි පන්දු 55යි හතරේ තුනයි) ලකුණු 116ක සබඳතාවයක් තබා ගත්තේ ඕවර 21.2ක් තුළදීය.

මීට අමතරව මරිසෙන් කැප් ලකුණු 36ක් ද නේඩින් ඩි ක්ලාක් ලකුණු 35ක් ද රැස් කර කණ්ඩායමේ සෙසු වැඩිම පිතිකාරිණියන් බවට කැපී පෙනුණි.

දකුණු අප්‍රිකා ඉනිම අඩක් ගත වන විට (ඕවර 24.2ක්) වන විට මුළු ලකුණු 124ක් රැස් කරද්දී ඔවුනගේ ප්‍රබලම පිතිකාරිණියන් තිදෙනකු දවාලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සමත් වුවත් ඉතිරි ඕවර 25.2දී දකුණු අප්‍රිකානු පිතිකාරිණියන් ලකුණු 300 ඉක්මවීය. මෙහිදී වඩාත් කැපී පෙනුණේ ඉක්මනින් ලකුණු රැස් කළ නායිකාව ලෝරා වොල්වාඩ්ය.

ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අතුරින් කැපී පෙනුණු කවීෂා දිල්හාරි ලකුණු 47කට කඩුලු දෙකක් ද චමරි අතපත්තු ලකුණු 59කට කඩුල්ලක් ද දවාලුහ.

 ලකුණු පුවරුව

දකුණු අප්‍රිකාව කඩුලු 5ට 301යි (ඕවර 50යි)

ලෝරා වොල්වාඩ් නොදැවී 184, ලාරා ගුඩ්ඕල් 31, මරිසේන් කැප් 36, නේඩින් ඩි ක්ලාක් 35, කවීෂා දිල්හාරි 47/2, චමරි අතපත්තු 59/1යි)

ශ්‍රී ලංකා ඕවර 44.3කදී කඩුලු 4ට 305යි

(චමරි අතපත්තු නොදැවී 195, නිලක්ෂි ද සිල්වා නොදැවී 50, විශ්මි ගුණරත්න 26, අයබොන්ගා කාකා 54/2

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee