slc
logo
Home   |    News
සැප්තැම්බර් 16, 2021
මේ කණ්ඩායම ගැන මට විශ්වාසයක් තියෙනවා – දසුන් ශානක

sinhala editor

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය 3-0 ක් ලෙස සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය. එම තරගාවසානයේ පැවැති මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සහභාගිවූ අතර එහිදී ඔහු විසින් අසන ලද ප්‍රශ්න සදහා ලබා දුන් පිළිතුරු පහත පරිදි වේ.

ප්‍රශ්නය – තරගාවලි පරාජයෙන් පස්සේ ප්‍රශ්න ගොඩක් කරුණු සොයන්න වෙලා තියෙනවා. නායකයෙක් විදියට මොන වගේ අඩුපාඩුද අපේ කණ්ඩායමේ හදාගන්න තියෙන්නේ…?

පිළිතුර – ඇත්තටම මම හිතනවා විස්සයි-20 තරගවලදී අපේ පිතිකරුවන්ගෙන් මීට වැඩිය ලොකු ලකුණු ප්‍රමාණ්‍යක් විශ්වාසයකින් යුතුව ලබා ගත යුතුයි කියලා. මොකද එක්දින තරගාවලිය දිනලා ටී-20 වලට එද්දී අපි දැක්කා පොඩ්ඩක් මොමෙන්ටම් (ගම්‍යතාවය) එක ටිකක් පස්සට යනවා. විස්සයි-20 ගහනකොට මම හිතන්නේ ගොඩක් වෙලාවට ප්‍රහාරාත්මක වේගය ගැන අවධානය යොමු කරන්න ඕන කියලා. ගොඩක් දඟ කැවෙන තණතීරුවල තමයි තරග 3 ම ක්‍රීඩා කළේ. ඉතිං මම හිතනවා එයලගේ දඟ පන්දු යවන්නන් අපේ අයට වඩා හොඳ තැන් වල පන්දු යැව්වා. ඔවුන් අපේ පිතිකරුවන්ට කිසිම අවස්ථාවක් ලබා දුන්නේම නෑ සුපුරුදු රිද්මයට පැමිණෙන්න.

ප්‍රශ්නය – අවසන් විස්සයි-20 තරග හතර ගත්තොත් ඉනිම ආරම්භ කළේ පිතිකරුවන් යුගල 4 ක්. ඒ වගේම හරි පිතිකරණ ලැයිස්තුවක් තිබ්බේ නෑ. ඉතිං ලෝක කුසලාන තරගාවලියකට වගේ යද්දී පිතිකරණ ලැයිස්තුව කොහොමද හරි විදියට සකසා ගන්න හිතං ඉන්නේ…?

පිළිතුර – මම හිතන්නේ අපි ඕමාන් තරගාවලියට යද්දී අපි සැලසුම් කරන් ඉන්නේ හරිම 11 එක්ක සෙල්ලම් කරන්න. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගවලදී එකම කණ්ඩායම ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි හොඳම දේ. කුසල් කුසල් ජනිත් කොවිඩ් හැදිලා හිටියේ. කිව්වා වගේ අපේ සංයුතිය හරි විදියට ගියෙම නෑ. මම හිතන්නේ ඕමාන් තරගාවලියේ ඉඳන් ගොඩක් දුරට  හරිම සංයුතිය දිගටම ක්‍රීඩා කරයි කියලා.

ප්‍රශ්නය – අන්තිමට තිබුණු දේශීය තරගාවලියෙදි දක්ෂතා දැක්වුවත් මේ තරගාවලියේදී පිතිකරුවකු ලෙස අසාර්ථක වීම කොයි විදයටද දකින්නේ…?

පිළිතුර – ඩොමෙස්ටික් ටූනමන්ට් එක ගත්තහම අපි ක්‍රීඩා කළේ පල්ලකැලේ. එහෙ තණතීරු සාමාන්‍යයෙන් විස්සයි-20 තරගවලට සුදුසුයි. බැට් එකට බෝලෙ එනවා. ඒත් ඛෙත්තාරාමේ වෙනස්. අපි අන්තිම වන්ඩේ එක දිනලා ගොඩක්ම ස්පින් විකට් එකක් තමයි හදලා එයාලට අභියෝගයක් දෙන්න හැදුවේ. මොකද අපි දන්නවා බංග්ලාදේශය වුණත් නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව පැරදුවේ දඟ පන්දු යවන්නන්ගෙන්. නමුත් දකුණු අප්‍රිකානු පිතිකරුවන් ගොඩක් අත්දැකීම් තියෙන අය. ඔවුන් හැමදාම එකම ස්ථානයක ක්‍රීඩාකරලා, විශේෂයෙන්ම අයි.පී.එල්. වගේ තරගාවලි වල ක්‍රීඩා කරලා හොඳ අත්දැකීමක් තියෙන පලපුරුදු පිතිකරණ ලැයිස්තුවක් ඔවුන්ට ඉන්නවා. මාව ගත්තහම හොඳට ලකුණු අතර හිටියා. නමුත් මෙහෙට එද්දී බොලෙ බැට් එකට ආවා අඩුයි. ඒ වගේමයි මම ක්‍රීඩා කරන ස්ථානයේදීත් මට ආරක්ෂා වෙවී තමයි පන්දුවට පහර දෙන්න සිද්ධ වුණේ.

ප්‍රශ්නය – ලෝක කුසලාන තරගාවලිය ඉදිරියේ තියෙද්දී පිතිකරුවකු ලෙස ඔබ සාර්ථකත්වයට පැමිණීම කණ්ඩායමට ඉතාම වැදගත්. පිතිකරුවකු විදියට ඉදිරියට එන්න බලාපොරොත්තු වෙන්නේ කොයි විදියටද….?

පිළිතුර – විස්සයි-20 ගත්තොතින් මගේ වගකීම ඇවිල්ලා ඕවර 12 විතර ඉඳන් ඕවර 20 වෙනකම් ගහන එක. ඉතිං ඇත්තටම මට දෙවැනි තරගයේ හොඳ අවස්ථාවක් තිබ්බා පිතිකරුවෙක් විදියට දක්ෂතා ඇවිල්ලා අතරට ඇවිල්ලා උපරිමය කරන්න. නමුත් ඒ තරගයේදී මට හොඳ පන්දුවක් වැටිලා අවුට් වුණා. මම විතරක් නොවෙයි අපේ පිතිකරුවන් සියලු දෙනාම තමන්ගේ ස්ථාන වල තමන්ගේ වගකීම හරියට කළා නම් මටත් ලේසියි. මේක දන්වැලක් වගේ. රෝද කැරකෙන්නේ පුරුක් හොඳට තියෙන්න ඕන. මම හිතනවා 160 ක් ගහන්න ඕන නම් අපි කොහොමද ආරම්භක පිතිකරුවන් කීයක් ගහන්න ඕනද…?  ඕවර 6 අතුළත කීයක් ගහන්න ඕනද…? ඕවර 10 ත් 12 ත් අතර කීයද..? 10 ඉඳන් 15 වෙනකොට කීයද..? 15 න් පස්සේ ඉතුරු ටික කඩා ගන්නේ කොහොමද වගේ හැම වෙලේම බල්නන ඕන කඩුලු ලබා නොදී ඉනිම ගොඩ නඟන්න. ඒක බැරි කමක් නොවෙයි. එක තරගයක හරියට වැදුණනම් මම හිතනවා ගමට දිගටම තියෙයි කියලා. මෑත කාලයේ විතරක් තියෙන ගැටලුවක් නොවෙයි. පසුගිය අවුරුදු කීපයෙදිම ඔය ප්‍රශ්නය තිබ්බා. මං හිත්නනේ ලකුණු 180 ක් අන්තිමට ගහන්න ඇත්තේ සෑහෙන කාලෙකට කලින්. මේක අද ඊයේ ඉඳන් තියෙන ප්‍රශ්නයක් නොවෙයි. දිගින් දිගටම තියෙන දෙයක්. අපේ ගමන හරියට හදාගන්න ඕන. ඕමාන් තරග 2 ඒකට ඉතාම වැදගත්. ඒ ඇරෙන්න අපේ බැටිං යුනිට් එක ඇවිල්ලා නරක එකක් නොවෙයි. අපි දන්නවා කුසල් ජනිත්, අවිෂ්ක ප්‍රනාන්දු කොයි වගේද…? භානුක රාජපක්ෂ කොයි වගේද…? ඒ වගේම අනිත් ක්‍රීඩකයින් කොයි වගේද කියන එක ගැන අපිට අදහසක් තියෙනවා. අපේ ශක්තිය කොතැනද කියන එක අපි දන්නවා. නමුත් මේ වගේ අසාර්ථකවීම් වෙන්න පුලුවන්. මම හිතනවා මෙම තරගාවලිය ඇත්තටම හොඳ විකට් වල ගැහුවා නම් හොඳ විදියට ඉවර කරගන්න තිබුණා කියලා.

ප්‍රශ්නය – විස්තර විචාරකයින් පවා සදහන් කර සිටියේ ශ්‍රී ලංකා පිලට එක ලකුණු ලබා ගැනීම් පවා අමතක වෙලා කියලා. පන්දුවට පහර දෙද්දී කොයි වගේ සැලසුමක්ද ඔබ ඇතුළු කණ්ඩායම සකස් කරගෙන හිටියේ…?

පිළිතුර – ඇත්තටම කියන්න ඕන මුලින් බැට් කරනකොට එයාලා හොඳට පන්දු යැව්වා. ලේසි වුණේ නෑ එක ලකුණ වුණත් ලබාගන්න. එයාලා පන්දු යවද්දී අපි පන්දු යවද්දී වෙනසක් තිබුණා. මොකද වැස්සයි පින්නයි නිසා ග්‍රව්න්ඩ් එකේ වතුර තිබ්බා. ඒක පන්දු යවන්න අවාසි සහගත වුණා. එයාලා ලේසියෙන් ක්‍රීඩා කළා වගේ පෙනුණේ ඒකයි. ඇත්තටම හොඳට බෝල් කරද්දී විස්සයි-20 කියලා නෑ පන්දු යවන්නන්ට ගෞරවයක් ලබා දෙන්න ඕන. අපේ කඩුලු දැවී යෑමෙදි ගොඩක් අතපසුවීම් තිබුණ. ඒ නිසා තමයි අපිට පොඩ්ඩක් සිංගල් එක එන්නේ නෑ වගේ පෙනුණේ. ඉතිං විකට් අතැතිව ක්‍රීඩා කරා නම් ලකුණු 150 ක් ලබාගන්න තිබුණා මේ කඩුල්ලේ. ඒ වගේම කියන්න ඕන එයාලා මුලින් පන්දු යවපු හින්දා අපි හිතුවට වැඩිය එයාලට වාසියක් තිබ්බා. අපි බෝල් කරද්දී  පින්න ආපු හින්දා පන්දු යවන්නන්ට හරියට පන්දුව ග්‍රහණය කරමින් පන්දු යවන්න අමාරු වුණා. ඒකත් එක කාරණාවක් වුණා. නමුත් ඒක නිදහට කරුණු නොවෙයි. ඇත්තටම ඒවලට සූදානම් වෙලා ආවේ. ඒ වුණාට හිතුවට වැඩිය පින්නත් මේ තරගාවලියේදී තීරණාත්මක සාධකයක් වුණා.

ප්‍රශ්නය – භානුක රාජපක්ෂ පන්දුවට පහර දුන්න ආකාරය ගැන නායකයකු විදියට සෑහීමකට පත් වෙනවද…?

පිළිතුර – ඇත්තටම භානුක ගැන කිව්වොතින් මේ තරගාවලියේදී ඔහුගෙන් බලාපොරොත්තු වුණේ දේ ලැබුණේ නෑ. නමුත් මම දන්නවා ඔහු කොයි වගේ ක්‍රීඩකයෙක්ද කියලා. අපි හැමෝම දන්නවා ඔහුට විස්සයි 20 තරගයක් අනික් කණ්ඩායමෙන් සම්පූර්ණයෙන්ම උදුර ගන්න පුලුවන් ක්‍රීඩකයෙක් කියලා. ඔහු ගැන මට අවිශ්වාසයක් නෑ. ඉස්සරහට යද්දී ඔහු අනිවාර්යයෙන් ක්‍රීඩා කරයි කියන තැන මම ඉන්නවා. ඒ වගේම බැටිං ලයින් අප් එක ගත්තොතින් ආයි කියන්නේ තියනේනේ අපේ පිතිකරුවන් හොඳයි. නමුත් ඉදිරි තරගාවලියේදී ස්ථාවර පිතිකරණ ලැයිස්තුවක් එක්ක අපි ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය – මේ තරගාවලියේදී දැක්ක ධනංජය ද සිල්වා අසීරුතාවයකට පත් වෙනවා දැක්කා. එයාගේ අසාර්ථක භාවය ඔබ දකින්නේ කොහොමද…?

පිළිතුර – ධනංජය ද ගත්තොත් අන්තිම තරගාවලිය ඉතා හොඳින් ක්‍රීඩා කළා. මම හිතනවා ධනංජය දිගටම ක්‍රීඩා කළේ නොම්බර 4 ස්ථානයේ. මේ තරගයේදී දකුණත් වමත් පිතිකරණ අනුපිළිවෙළ නිසා තමයි අංක 3 න් පන්දුවට පහර දෙන්න ආවේ. ඔහුගේ ස්ථානය ගැන කිසිසේත්ම ප්‍රශ්නයක් නෑ, එක තරගාවලියක පසුබෑමකට ලක් වෙන්න පුලුවන්. ඒ කියලා ඒ ක්‍රීඩකයින් නරක් වෙන්නේ නෑ. අපි දන්නවා එයාලගේ හැකියාවන්. අපි වැරදි කතා කරනවාට වැඩියෙ මේ වෙලාවේදි ඔවුන් කරපු දේවල් ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැන කතා කරලා මේ කණ්ඩායම ගැන විශ්වාසයෙන් ගමනක් යන්න ඕන කියලා මම විශ්වාස කරනවා.

ප්‍රශ්නය – ලෝක කුසලාන කණ්ඩායමේ තව මොනා හරි වෙනස්කම් වෙයි කියලා හිතනවද…?

පිළිතුර – මම හිතන්නේ ලොකු වෙස්කම් ඇත් වෙයි කියලා. පසුගිය තරගාවලි කීපයේදීම මේ ක්‍රීඩකයින් අතර තමයි දෝලනය වුණේ කණ්ඩායම් තේරීමේදී.

ප්‍රශ්නය – ලෝක කුසලාන තරගාවලිය වෙනකොට කණ්ඩායමේ මානසිකත්වය හදන්න කොයි වගේ ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවද…?

පිළිතුර – මානසිකත්වය ගත්තහම වනිඳුයි දුෂ්මන්තයි අයි.පී. එල්. යනවා. ඉතිං එතන ලොකු ධනාත්මක සිතුවිල්ලක් තියෙනවා. මොකද ඒ දෙන්නා එතන හොඳට කරලා අපිත් එක්ක සම්බන්ධ වෙද්දී ඔවුන්ගේ අත්දැකීම් අරගෙන තමයි එන්නේ. ඒ වගේම අපි දිගින් දිගටම ක්‍රීඩා කරා. මම ගත්තොතින් බංග්ලාදේශ තරගාවලියෙන් ඉඳන් මේ තරගාවලිය දක්වාම ගෙදර හිටියේ දවස් 5 යි. ඒත් පළාත් තරගාවලියට කළින්.  මේ ලැබෙන විවේකය ගොඩක් ක්‍රීඩකයින්ට හොඳ වෙයි මනස යහපත් විදියට හදා ගන්න. ඊට පස්සේ කණ්ඩායමක් විදියට යළි එකතු වුණාම ඕමාන් තරගාවලියේ ඉඳන් සියලුම තරග ජයග්‍රහණය කරන්න අවශ්‍ය සැලසුම් සකස් කරලා මානසිකත්වය උපරිම මට්ටමට ළඟා කරගන්න බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය – පිතිකරණ පුහුණුකරුගෙන් ලැබෙන සහයෝගය කොහොමද…? මේ අසාර්ථක භාවය ඔහුගේ ද නැතිනම් කණ්ඩායමේ දෙයක්ද…?

පිළිතුර – ඇත්තටම අසාර්ථකයි කියලා කියන්න බෑ. ඒ වගේම කණ්ඩායමේ අසාර්ථකත්වය කියලා කියන්නත් බෑ. විස්සයි-20 තරග 3 ක් පරාජය වුණා කියලා ක්‍රිකට් එක සවුත්තු වෙන්නත් බෑ. පුහුණුකරුවෙකුට කරන්න පුලුවන් දේවල් සීමිතයි. පුහුණුකරුවකු විදියට කණ්ඩායමට ලබා දෙන්න පුලුවන් උපරිමය ඔහු ලබා දෙනවා. ඒක ගැන ප්‍රශ්නයක් නෑ මේ වෙලාවේ.

ප්‍රශ්නය – ලසිත් මාලිංග ජාත්‍යන්තර දිවියට සමුදෙන බව ප්‍රකාශ කරලා තියෙනවා. ඔබත් ඔහු සමඟ ක්‍රීඩා කරලා තියෙනවා. මාලිංගගේ සමුගැනීම ගැන ඔබගේ අදහස මොකද්ද…?

පිළිතුර – ලසිත් මාලිංග කිව්වොත් එයා තමයි ලෝකයෙන්ම බිහිවෙච්ච හොඳම විස්සයි-20 පන්දු යවන්නා. ඔහුගේ නායකත්වයෙන් තමයි මම මුලින්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වුණේ. ක්‍රීඩකයෙක් විදියට ඔහු නායකයෙක් විදියට කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් සහයෝගයක් ලබා දුන්නා. මම හිතනවා ඔහුගේ සේවය ඉමහත් ලෙස අගය කළ යුතුයි. ඒ වගේ ක්‍රීඩකයින් ලෝකෙටම බිහි වෙන්නේ අතලොස්සක් විතරයි. මම ස්තූතිවන්ත වෙනවා ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කරපු මෙහෙවරට. ඇත්තටම ලොකු ගෞරවයක් තියෙනවා  අපේ සියලුම ක්‍රීඩකයන් ඔහු කෙරෙහි. ඔහු හැම වෙලේම අපේ ක්‍රීඩකයින්ට හොඳ උපදෙස් ලබා දුන්නා. කොහොමද ගේම් එක ගහ්නන ඕන හැන්ඩ්ල් කරන්නේ කොහොමද කියලා. මම විශ්වාස කරනවා ඔහු ඉස්සරහට ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සේවයක් ලබා දෙයි කියලා.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee