slc
logo
Home   |    News
ඔක්තෝබර් 30, 2021
අතේ තිබූ ජය ඩේවිඩ් මිලර් ඩැහැ ගනියි

sinhala editor

By Chamila Karawita

අවසන් පන්දු 6 දී ලකුණු 15 ක් ලබා ගැනීමේ අභියෝගයේදී ළහිරු කුමාරගේ පිට පිට පන්දු දෙකකදී හයේ පහර දෙකක් එල්ල කිරීමට ඩේවිඩ් මිලර් සමත්වීම මත විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතර තරගාවලියේදී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 4 ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු පිලට අද (30 වැනිදා) හැකියාව ලැබිණ.

ළහිරු කුමාර විසින් ක්‍රියාත්මක කරන ලද අවසන් පන්දුවාරයේ පළමු පන්දුවට මුහුණ දුන් කගිසෝ රබඩා ලකුණක් කරා පැති මාරු කරගත් අතර අනතුරුව පැමිණි පන්දු 2 ටම හයේ පහර බැගින් සංග්‍රහ කිරීමට ඩේවිඩ් මිලර් සමත්විය. මිඩ් විකට් කළාපයට ඉහළින් එල්ල කරන ලද එම දැවැන්ත හයේ පහර 2 ත් සමඟ දකුණු අප්‍රිකානු ජයග්‍රහණය පන්දු 3 කදී ලකුණු 2 ක් බවට පත්විය. සිව්වැනි පන්දුවේදී නැවතත් ලකුණක් කරා පැති මාරු කරගත් වමත් පිතිකරුවන් දෙදෙනා අතරින් කාගිසෝ රාබඩාගේ පිත්තේ පිටත දාරයේ වැදී තර්ඩ් මෑන් කළාපය හරහා ලකුණු 4 ක් ලෙස සනිටුහන් වද්දී පන්දුවක් ඉතිරිව තිබියදී දකුණු අප්‍රිකානු පිලේ ජයග්‍රහණය සනිටුහන් විය.

කඩුලු 6 ක් දැවී දකුණු අප්‍රිකානුවෝ ඉලක්කය සපුරා ගන්නා විට ඩේවිඩ් මිලර් ලකුණු 23 ක් සහ රබඩා ලකුණු 13ක් ලබාගෙන සිටියහ. මුලු ලකුණු සංඛ්‍යාව 25 දී ආරම්භක පිතිකරුවන් ප්‍රේක්ෂකයින් බවට පත් කිරීමට දුෂ්මන්ත චමීර සමත්වීමත් සමඟ ජයග්‍රහණය පිළිබඳව ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ නැංවිණ. දුෂ්මන්ත ක්‍රියාත්මක කරන ලද සිව්වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී හෙන්ඩ්‍රික්ස්ද සිව්වැනි පන්දුවේදී ඩි කොක්ද පිටියෙන් ඉවත්ව ගියහ.

 එතැන් පටන් ග්‍රහණය තද කළ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තරගයේ පාලනය කිසියම් දුරකට නතු කරගත්හ. 15 වැනි පන්දුවාරය යැවූ වනිඳු හසරංග අවසන් පන්දුවේදී ඒඩ්න් මාක්‍රම්වද, නැවතත් 18 වැනි පන්දුවාරයේ පළමු සහ දෙවැනි පන්දුවලදී නායක ටෙම්බා බවුමා සහ ඩ්වේන් ප්‍රිටෝරියස්ගේ කඩුලු දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයක් සනිටුහන් කළේය. එම පන්දු යැවීම, දකුණු අප්‍රිකානු හඹා යෑමට මරු පහරක් විය. මෙවැනි දක්ෂතාවයක් ශ්‍රී ලංකා පන්දු යවන්නකුගෙන් සටහන් වූ දෙවැනි අවස්ථාව බවට පත්වූ අතර මීට පෙර ලසිත් මාලිංග කඩුලු ත්‍රිත්ව 2 ක් ලබාගෙන තිබුණි. එමෙන්ම විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියකදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් තෙවැනි පන්දු යවන්නා ලෙසින්ද වනිඳු අද ඉතිහාස ගත විය. මෙම කඩුලු ත්‍රිත්වයට පෙර එක්දින තරග අංශයේද කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත්ව සිටින දකුණත් පා දඟ පන්දු යවන්නාට පෙර බ්‍රෙට් ලී 2007 වසරේදීද අයර්ලන්තයේ කර්ටිස් කැම්පර් මෙවමර තරගාවලියේදීද කඩුලු ත්‍රිත්ව වාර්තා කළ පන්දු යවන්නෝ බවට පත්වූහ. ඊට අමතරව එක්දින සහ විස්සයි-20 තරග ආකෘති දෙකේම කඩුලු ත්‍රිත්ව වාර්තා කිරීමට සමත් ලොව පන්දු යවන්නන් අතර සාමාජිකත්වයද අද වනිඳුට හිමිවිය. වනිඳුට පෙර බ්‍රෙට් ලී, තිසර පෙරේරා සහ ලසිත් මාලිංග එම සාමාජිකත්වය ලබා ගත් පන්දු යවන්නෝ වී සිටිති.

දකුණු අප්‍රිකාවට එරෙහිව වූ කඳවුරු බැඳීමේදී ශ්‍රී ලංකා ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූයේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකය. සෙසු පිතිකරුවන් කඩුල්ල ආරක්ෂා කර ගැනීමට අසමත් වද්දී පවුරක් සේ නොසැළී සිටි පැතුම් අද දිනයේදී සිය දෙවැනි විස්සයි-20 අර්ධ ශතකය මුහුණ දුන් 46 වැනි පන්දුවේදී සටහන් කර ගත්තේය. ශ්‍රී ලංකා ඉනිමේ 8 වැනි පිතිකරුවා ලෙසින් 19 වැනි පන්දුවාරයේදී පැතුම් දැවී යන විට පන්දු 58 කදී ලකුණු 72 ක් ලබා සිටියේය. හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින් ඉනිම අලංකාර කරගත් ආරම්භක පිතිකරුවා අර්ධ ශතකය සම්පූර්ණ කර ගැනීමෙන් පසු මුහුණ දුන් පන්දු 12 දී ලකුණු 22 ක් රැස් කර ගැනීමට සමත්වූවේය.

ශ්‍රී ලංකා ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට රඳවා ගැනීමේදී තබ්‍රේස් ශම්සි සහ ඩ්වේන් ප්‍රිටෝරියස්ගේ පන්දු යැවීම කැපී පෙනුණි. ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය කඩුලු 10 න් 2 ක් දුවද්දී දැවී යෑම් ලෙසින් සටහන් වද්දී දැවී ගිය ඉතිරි කඩුලු 8 න් 6 ක්ම දවා ගනු ලැබුවේ ශම්සි සහ ප්‍රිටෝරියස් දෙදෙනාය. සමසේ කඩුලු බෙදී යද්දී ප්‍රතිවාදී පිතිකරුවන් හමුවේ මොවුන් දෙදෙනා ලබා දී තිබුණේ ලකුණු 17 බැගිනි.

පවර් ප්ලේ පන්දුවාර 6 ඇතුළත කුසල් පෙරේරාගේ කඩුල්ල දැවී යද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 39 ක් ලෙසින් සටහන් ව තිබිණ.  ශ්‍රී ලංකා ඉනිමේ සාර්ථකම කඩුලු සම්බන්ධතාවය ආරම්භ වූයේ කුසල්ගේ දැවී යෑමෙන් පසුවය. පැතුම් නිස්සංකට එක්වූ චරිත් අසලංක ලකුණු 40 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩ නැංවූයේ පන්දු 29 ක් වැය කරමිනි. ඉක්මන් ලකුණක් කරා පැති මාරු කර ගැනීමේදී අසලංක දැවී යෑමත් සමඟ දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාවද බිඳ වැටිණ. ශ්‍රී ලංකා කඳවුරේ පිතිකරුවන් අතර වැඩිම විශ්වාසයක් ගොඩ නඟා ගැනීමට සමත්ව සිටින වමත් පිතිකරු අසලංක දුවද්දී දැවී යද්දී ලකුණු 21 ක් ලබා සිටියේය. පන්දු 14 ක් පමණක් වැය කර සිටි අසලංක ඉනි ලකුණු 14 ක්ම හයේ පහරකින් සහ හතරේ පහර 2 කින් රැස් කරගෙන සිටියේය.

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee