slc
logo
Home   |    News
ඔක්තෝබර් 27, 2021
ඔස්ට්‍රේලියානු අභියෝගයට මහීෂ් තීක්ෂණ සූදානම්   

sinhala editor

By Chamila Karawita

පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ 22 වැනි තරගය ලෙසින් සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයේ ශ්‍රී ලංකාවත් ඔස්ට්‍රේලියාවත් මුණ ගැසෙන තරගය හෙට (28 වැනිදා) ඩුබායි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 7.30 ට ආරම්භ වේ. සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයේ අපරාජිතව පසුවන කණ්ඩායම් දෙකෙන් හෙට ජය ගනු ලබන කණ්ඩායම අපරාජිතව ඉදිරියට ඇදෙනවා පමණක් නොව දෙරට අතර විස්සයි-20 තරග ඉතිහාසයේ වැඩිම ජයග්‍රහණයන් ලබා සිටින රට බවටද පත්වනු ඇත.

දෙරට අතර ඉතිහාසයේ දෙපිළම මේ වන විට විස්සයි-20 තරග 16 කදී මුණ ගැසී තිබෙන අතර ඉන් දෙපිළම තරග 8 බැගින් ජය ලබා සම තත්ත්වෙයි පසුවෙති. ඒ අනුව හෙට තරගය ජය ගනු ලබන කණ්ඩායමට එම ජයග්‍රහණයන් අතර පෙරමුණ ගැනීමේ අවස්ථාව උදාවනු ඇත. විස්සයි-20 ලෝක කුසලාන තරගවලදී දෙපිළ අවස්ථා 3 කදී මුණ ගැසී තිබෙන අතර ඉන් දෙවතාවක (2007 සහ 2010) ජය ඔස්ට්‍රේලියාව දිනාගනිද්දී ශ්‍රී ලංකාව 2009 වසරේදී ජයගැනීමට සමත්ව සිටියි. කෙසේ වෙතත් දෙරට අවසන් වරට මුණ ගැසී තිබෙන අවස්ථා 4 දීම ජය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු පිල සමත්ව සිටීම කැපී පෙනෙයි.

සුදුසුකම් ලැබීමේ තරගවල සිට සුපිරි කණ්ඩායම් 12 තරග වටය ආරම්භ කරමින් බංග්ලාදේශයට එරෙහි තරගය දක්වා කැපී පෙනෙන දක්ෂතා දක්වමින් අපරාජිත භාවය රඳවා ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිල සමත්ව සිටියි. ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා සිටින ඔස්ට්‍රේලියානු පිලේ දකුණු අප්‍රිකාවට එරෙහිව පළමු තරගය ජය ගැනීමට සමත් වුවත් එක්සත් අරාබි එමීර් හි තණතීරුවල මන්දගාමීත්වය පිළිබඳව අදහසක් ලබා ගැනීමට ඔවුන්ගේ පිතිකරුවන් අසමත්ව සිටියි.

සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයේ අසීරුතම කාණ්ඩය වශයෙන් ශ්‍රී ලංකාවත් ඔස්ට්‍රේලියාවත් ඇතුළත්ව සිටින ‘ඒ’ කාණ්ඩය හැඳින්වෙන බැවින් හෙට තරගය ජය ගැනීම අර්ධ අවසන් තරග වටයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් දෙපිළටම ඉතා වැදගත් වේ. කණ්ඩායම් දෙකම සහභාගිවුණු තරග වලදී ජයග්‍රහණය හඹා ගොස් ජය වාර්තා කළ අතර ඒ අතරින් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය කැපී පෙනිණ. ශ්‍රී ලංකාව ලකුණු 172 ක ඉක්කයක් හඹා යමින් අපහසුවකින් තොරව ජය ගත් නමුත් දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 119 ක ඉලක්කය හඹා යැමේදී ඔස්ට්‍රේලියානු පිල එය සපුරා ගන්නා ලද්දේ පන්දු 2 ක් පමණක් ඉතිරිව තිබියදීය.

ස්ටීව් ස්මිත් සහ මාකස් ස්ටොයිනිස් එකතුව තරගය ජයග්‍රහණය කරා රැගෙන ගිය අතර ග්ලෙන් මැක්ස්වෙල් වේගවත් ඉනිමක් සහ දක්ෂ පන්දු යැවීමක නිරත වීම එම ජයග්‍රහණයේ කැපී පෙනෙන සාධක අතර වූහ. පන්දු යැවීමේ අබල ඇණිය ගත් විට ඔස්ට්‍රේලියාව සතුව පැට් කමින්ස්, ජොස් හෙස්ල්ඩ්වුඩ් සහ මිචෙල් ස්ටාර්ක් සිටින අතර දඟ පන්දු යැවීමෙන් ඇඩම් සම්පා පෙරමුණේ පසුවෙති.

ශ්‍රී ලංකා කඳවුර මීට හාතිපසින්ම වෙනස්, සියලු අංශ වලින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්ව සිටියි. බංග්ලාදේශයට එරෙහි තරගයේදී චරිත් අසලංක සහ භානුක රාජපක්ෂ එක්ව ප්‍රදර්ශනය කරන ලද පිතිකරණ දක්ෂතා, කණ්ඩායම තුළ වැඩි විශ්වාසයක් ගොඩ නැඟීමට හේතුවී තිබේ. වනිඳු හසරංගට එරෙහිව බංග්ලාදේශ පිතිකරුවන් ප්‍රහාරාත්මක පිතිහරඹයක් දියත් කළ බව සැබෑවක් නමුත් ඕනෑම අවස්ථාවක දක්ෂතා අතරට පැමිණීමට ඔහු සතුව ඇති අද්විතීය හැකියාව නිසා ප්‍රතිවාදීන්ගේ වැඩි අවධානයක් ඔහු වෙත එල්ල වී තිබේ. පන්දු යැවීමට අමතරව පිතිකරණ අනුපිළිවෙළේ ඕනෑම ස්ථානයකින් පන්දුවට පහර දීමට වනිඳු දක්වන දක්ෂතාවය ශ්‍රී ලංකා පිලේ සැලසුම් වලට මහත් රුකුළක් වී තිබේ.

ශ්‍රී ලංකා පිලේ දක්ෂතා පිළිබඳව අවතක්සේරුවෙන් සලකමින් තරග වැදි බංග්ලාදේශ පිලට එරෙහිව කඩුලු 5 ක ජයග්‍රහණයක් වාර්තා කළ තරගයේදී මහීෂ් තීක්ෂණ රහිතව තරග ජය ගැනීම කැපී පෙනෙයි. ඇලපත ආශ්‍රිත ප්‍රදේශයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් තීක්ෂණට එම තරගය මඟ හරුණු නමුත් හෙට තරගයට සහභාගිවීම සඳහා ඔහු පූර්ණ සුවයෙන් සිටින බව පුහුණුකරු මිකී ආතර් සඳහන් කර සිටියි.

ඔස්ට්‍රේලියාව – ඒරන් ෆින්ච් (නායක), ඩේවිඩ් වෝනර්, මචෙල් මාෂ්, ග්ලෙන් මැක්ස්වෙල්, ස්ටීවන් ස්මිත්, මාර්කස් ස්ටොයිනිස්, මැතිව් වේඩ්, පැට් කමින්ස්, මචෙල් ස්ටාර්ක්, ඇඩම් සම්පා, ජෝස් හෙසල්වුඩ්, ඇෂ්ටන් ඒගර්, ජොෂ් ඉන්ග්ලිස්, කේන් රිචර්ඩ්සන්, මිචෙල් ස්වෙප්සන්.

ශ්‍රී ලංකාව – කුසල් පෙරේරා, පැතුම් නිස්සංක, චරිත් අසලංක, අවිෂ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, මහීෂ් තීක්ෂණ, බිනුර ප්‍රනාන්දු, අකිල ධනංජය, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee