slc
Home   |    News
ඔක්තෝබර් 11, 2021
‘කණ්ඩායමේ අවශ්‍යතාවට අනුව ක්‍රීඩා කරන්න සූදානම්’ – දිනේෂ් චන්දිමාල්

sinhala editor

By Chamila Karawita

පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා එක්සත් අරාබි එමීර්හි අබුඩාබි නුවරට පැමිණ සිටින දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරග වටයට පෙර බංග්ලාදේශ පිලට එරෙහිව සහභාගිවන වන පළමු පුහුණු තරගය හෙට (12 දා) අබුඩාබිහි ටොලරන්ස් ඕවල් පිටියේදී පැවැත්වෙයි.

ලෝක කුසලාන තරගාවලිය ඉලක් කර ගනිමින් ඕමානයට එරෙහිව පුහුණු තරග 2 කට සහභාගිවීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (ඔක්තෝබර් 10 වැනිදා) අබුඩාබි නුවරට ළඟා විය. දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියෙන් පසු අයි.පී.එල්. තරගාවලිය සඳහා පිටත්ව ගිය වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර ඊයේ දිනය වන විට කණ්ඩායමට එකතුව සිටිති.

අබුඩාබි නුවරට පැමිණි ඊයේ දිනය ශ්‍රී ලංකා පිලට පුහුණුවීම් වලින් තොර විවේක දිනයක් බවට පත් වුවත් පළමු පුහුණු සැසිය සඳහා අද (11 දා) රාත්‍රියේ සහභාගිවීමට නියමිතව තිබිණ. ඒ අතර ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව තිබෙන බරපතලම ගැටළුව බවට පත්ව තිබෙන්නේ අබුඩාබි නුවර පවතින දැඩි රස්නය සහිත කාලගුණය වේ.

“අපි ඇත්තටම අබුඩාබිවලට ආවේ ඊයේ දවල්. අපි තාම මෙහි තණතීලි පිළිබඳව මුකුත් දන්නේ නෑ. අද රෑට තියෙන පුහුණු සැසියෙන් පස්සේ තමයි අපිට ඒ ගැන අදහසක් ලබා ගන්න වෙන්නේ” යැයි අද (11 වැනිදා) පස්වරුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටින  AstroPay (ඇස්ට්‍රොපේ) ආයතනය සමඟ වූ සහයෝගීතාවය පිළිබඳව පැවැති මාධ්‍ය හමුවට එක්ව සිටි දිනේෂ් චන්දිමාල් සඳහන් කර සිටියේය.

“ලොකුම අභියෝගය තමයි තියෙන දැඩි රස්නය. ලංකාවේ තියෙන තත්ත්වයන් එක්ක ගත්තොත් යම්තාක් දුරට අභියෝගයක් වුණොත් ඒක තමයි” යැයි චන්දිමාල් සඳහන් කර සිටියේය.

අන්තර්ජාලය හරහා මුදල් හුවමාරු කර ගැනීමේ ආයතනයක් වශයෙන් ලොව පුරා කීර්තිනාමයක් දිනා සිටින AstroPay සමඟ අත්සන් තබා ඇති ගනුදෙනුවට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ටීෂර්ටයේ පන්දුවට පහර දෙන අවස්ථාවේදී ක්‍රීඩකයින්ගේ ඉදිරියට දර්ශනය වන අතේද AstroPay වෙළෙඳ නාමය ප්‍රදර්ශනය වන අයුරින් සටහන්ව තිබිය යුතු වේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි චන්දිමාල්, සෑම තරගයකටම කණ්ඩායම සතුව සැලසුමක් පවතින බවත්, එදා දවසේදී එම සැලසුම හරියාකාරව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණහොත් තරගාවලියේ සෑහෙන දුරකට පැමිණිය හැකි බව සඳහන් කර සිටියේය. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සැලකිය යුතු මට්ටමේ වෙනස්කම් කීපයක්ද සිදුකළ ඇති බව සඳහන් කර සිටි ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තෙඅංශයෙන්ම ශ්‍රී ලංකාව මෙහෙයවා ඇති චන්දිමාල්, මෙතෙක් කලක් ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා කරන ලද අවිෂ්ක ප්‍රනාන්දුව නොම්බර 4 ස්ථානයට රැගෙන ඒම එහි එක් පියවරක් බවද සඳහන් කර සිටියේය.

“විශේෂයෙන්ම අපි ඕමාන් එන්න කළින් ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කළ පුහුණු තරග වලදී, අවිෂ්ක (ප්‍රනාන්දු) ක්‍රීඩා කරවන්න යොදා ගත්තේ නොම්බර 4 ස්ථානයෙන්.  මං හිතන්නේ ඔහු ඒ පුහුණු තරග 3 දීත් සහ ඕමාන්ට එරෙහිව පැවැති තරග 2 දීත් ඉතාම හොඳන් පන්දුවට පහර දුන්නා. ඇත්තටම අපි ගාව හොඳ සැලසුමක් තියෙනවා. ඒ සැලසුමේ විදියට හරියාකාරව එය එදා දවසේදී ක්‍රියාත්මක කරන්න පුලුවන් නම් මං හිතන්නේ අපිට සෑහෙන ගමනක් යන්න හැකියාවක් තියෙනවා මේ තරගාවලියෙදි” යි චන්දිමාල් කියයි.

අවිෂ්ක ප්‍රනාන්දු මැද පෙළට පැමිණීමත් කුසල් පෙරේරා විවේක ගැනීමත් නිසා ඕමානයට එරෙහිව පැවැති තරග 2 දී ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරන ලද්දේ දිනේෂ් චන්දිමාල් සහ පැතුම් නිස්සංක විසිනි. පළමු තරගයේදී මොවුන් දෙදෙනාම පිතිකරණයෙන් අසාර්ථක වුවත් දෙවැනි තරගයේදී සැලකිය යුතු මට්ටමේ දක්ෂතා වලට පැමිණීමට සමත්විය. එහෙත් කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවා මෙන්ම කඩුලු රකින්නා ලෙස කටයුතු කරනු ලබන කුසල් පෙරේරා යළිත් සුපුරුදු ස්ථානයට පැමිණීමේදී චන්දිමාල්ට හෝ පැතුම් නිස්සංකට සිය ස්ථානය අහිමි වනු ඇත. ඒ පිළිබඳව වන අභියෝගය පිළිබඳ චන්දිමාල් අදහස් පළ කර සිටියේ මේ අයුරිනි.

“දැනට මට පැවරිලා තියෙන රාජකාරිය තමයි ආරම්භක පිතිකරුවාට අමතරව කඩුලු රැකීමේ කාර්යය ඉටු කරන එක. කුසල් (පෙරේරා) සුව අතට පත් වෙලා තියෙනවා. මට පන්දු රකින්නත් හැකියාව තියෙනවා. කණ්ඩාමට ඕන විදියට අනුව මට පිතිකරණ ලැයිස්තුවේ ඕනෑම තැනක ක්‍රීඩා කරන්න හැකියාව තියෙනවා. නමුත් මට දැනට නියම වෙලා තියෙන්නේ කඩුලු රකින්නා සහ ආරම්භක පිතිකරුවා විදියට කාර්යය ඉටු කරන්න” යැයි තමන්ට පැවැරී ඇති මූලික කාර්යය පිළීබඳව චන්දිමාල් අදහස් දක්වා සිටියේය.

“බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන පුහුණු තරගයට ක්‍රීඩා කරන්නේ කවුද කියන එක ගැන අපි අවසන් තීරණයකට එළැඹිලා නෑ. නමුත් අපි අද තියෙන පුහුණු සැසියේදී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගනීවි. මට විශ්වාසයක් තියෙනවා ඊයේ දිනයේදී කණ්ඩායමට එකතු වුණු වනිඳු හසරංගත්, දුෂ්මන්ත චමීරත් හෙට තරගයේදී ක්‍රීඩා කරාවි කියලා. කණ්ඩායමක් විදියට අපි බංග්ලාදේශ අභියෝගයටත්, ඒ වගේම ලෝක කුසලාන අභියෝගයටත් හොඳ සූදානමකින් සිටිනවා. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ලෝක කුසලාන තරගාවලියට හෙට තරගයේ ඉඳන්ම හොඳ අවස්ථාවක් ලබා ගන්නයි”.

“අපි කණ්ඩායමක් හැටියට මූලික තරග වටයේදී තරග වැදීමට නියමිත කණ්ඩායම් 3 ගැනත් මේ වන විට ලොකු අධ්‍යයනයක් කරලා තියෙනවා. විශේෂයෙන්ම පිතිකරුවන් සහ පන්දු යවන්නන්. ඔවුන් පන්දුවට පහර දෙන්නේ කොහොමද, ඔවුන්ගේ දුර්වලතා කොහේද, ඔවුන්ගේ දක්ෂතා තියෙන්නේ කොහාද කියන එක ගැන ගොඩක් අධ්‍යයනය කරලා තියෙනවා. ඒත් එකම දේ තමයි එදා දවසේ ගිහිල්ලා සැලසුම් හරියාකාරවම ක්‍රියාත්මක කරන එක. ඒක කරන්න පුලුවන් නම් කළින් කිව්වා වගේ අපිට හොඳ තරගාවලියක් ලබා දෙන්න අවස්ථාව තියෙනවා” යනුවෙන් චන්දිමාල් අවසන් වශයෙන් සඳහන් කර සිටියේය.

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest