slc
Home   |    News
ඔක්තෝබර් 23, 2021
වැඩිම කඩුලු ලාභීන් අතර දුනිත් වෙල්ලාලගේ පෙරමුණට

sinhala editor

Chamila Karawita reporting from Dambulla

මැද පෙළින් පැමිණි නායක මෙහෙරාබ් හසන් සහ අරිෆුල් ඉස්ලාම් එකතුව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 81 ක සම්බන්ධතාවයත් සමඟ නියමිත පන්දුවාර 50 අවසනදී ලකුණු 225 ක ඉලක්කයක් ප්‍රතිවාදීන් වෙත ලබා දීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. ඉනිමේ කොඳු නාරටිය ලෙසින් හැඳින්විය හැකි මෙම සම්බන්ධතාවයේදී නායක හසන් සහ ඉස්ලාම් අර්ධ ශතක වාර්තා කිරීම කැපී පෙනිණ.

ලකුණු 75 ට කඩුලු 3ක් බිඳ වැටී තිබියදී පිටියට පිවිසි මෙහරාබ් හසන් 47 වැනි පන්දුවාරය වෙන තෙක් කඩුල්ලේ රැඳී සිටියේ බංග්ලාදේශ යොවුන් පිලට යෝධ ශක්තියක් වෙමිනි. එතරම් කලබලයක් නොදැක්වූ යොවුන් නායකයා ලබාගත් ලකුණු 52 සඳහා පන්දු 71 කට මුහුණ දුන්නේය. ලකුණු 16 ක් හතරේ පහර වලින් රැස් කරගත් වමත් පිතිකරුවාගේ පිතිකරණ විලාශයම අනුගමනය කළ අනෙක් අන්තයෙන් පන්දුවට පහර දුන් අරීෆුල් අර්ධ ශතකයක් වාර්තා කර ගත්තේ නායකයාට දැවැන්ත ශක්තියක් ලබා දෙමිනි. පන්දු 67 කට මුහුණ දුන් දකුණතින් පන්දුවට පහර දෙන අරිෆුල් ලබාගත් ලකුණු 50 සඳහා හතරේ පහර 3 ක් පමණක් එල්ල කළේය.

ශ්‍රී ලංකා ඉනිමේ වඩාත් විශ්වාසනීයම පන්දු යවන්නා බවට පත්ව සිටින නායක දුනිත් වෙල්ලාලගේ දෙවැනි කඩුල්ල බවට පත්ව අරිෆුල් පිටියෙන් ඉවත්වීමට ප්‍රථම බංග්ලාදේශ නායකයාව දවා ගැනීමට විනුජ රන්පුල් සමත්වූවේය. පසු පෙළින් පැමිණි ටජිබුල් ඉස්ලාම්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය හේතුවෙන් අවසන් පන්දුවාර 2 දී ලකුණු 22 ක් එක් කර ගැනීමට බංග්ලාදේශ පිලට අවස්ථාව උදාවිය. 49 වැනි පන්දුවාරය යැවූ විනුජ රන්පුල්ගේ පන්දු වාරයේදී  තජිබුල් ඉස්ලාම් රැස් කරන ලද ලකුණු 12 ද ඊට අයත් විය.

අද තරගයේදී පළමු වතාවට යොවුන් තරග වරම් දිනා ගත් සසංක නිර්මාල් යවන ලද පළමු පන්දුවේදීම කඩුල්ලක් දවා ගැනීමට සමත්වීම විශේෂත්වයක් විය. බංග්ලාදේශ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාව බිඳ වැටුණු එම දක්ෂතාවයේදී නිර්මාලට කඩුල්ල ලබාදීම වෙනුවෙන් ස්ලිප් ස්ථානයේ සිට වනුජ සහන් රැක ගන්නා ලද උඩ පන්දුව විශීෂ්ඨ ගණයේ විය.

සමස්ථයක් ගත්විට ශ්‍රී ලංකා  යොවුන් පන්දු යවන්නන්ගේ පන්දු යැවීම ස්ථාවර මට්ටමක පැවැති අතර අවසන් පන්දුවාර 40 තෙක්ම බංග්ලාදේශ පිතිකරුවන් රැස්කර ගැනීමට සමත්ව සිටියේ පන්දුවාරයකට ලකුණු 4 කටත් වඩා අඩු සංඛ්‍යාවකි. පළමු තරග වලට ක්‍රීඩා කළ මතීෂ පතිරණගේ ස්ථානය සඳහා ආදේශ කෙරුණු වමත් වේග පන්දු යවන දනාල් හේමානන්දගේ පන්දු යැවීම කැපී පෙනිණ. පිතිකරුවාගේ දෙපසටම දෝලනය වන සේ පන්දු යැවූ හේමානන්ද අංක 3 පිතිකරු වූ නව්රෝස් නබිල්ගේ කඩුල්ල දවා ගත්තේය. කඩුලු දවා ගැනීමට නොහැකි වුවද වනුජ සහන් තම පන්දුවාර 9 ලකුණු 33 කට සීමා කළේය.

අවසන් පන්දුවාරයේදී දවා ගන්නා ලද කඩුලු 2 ත් සමඟ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම කඩුලු ලාභියා වූයේ නායක දුනිත් වෙල්ලාලගේය. පිතිකරුවාට ලකුණු කරා යෑමට අසීරු ස්ථානයන් වල නිරන්තයෙන්ම පන්දුව පතිත කළ වමත් දඟ පන්දු යවන්නා පිතිකරුවාගේ පිටතටත් පිතිකරුවා තුළටත් යොමු කරන පන්දු ඉතා විශිෂ්ඨ මට්ටමේ පැවැතින. බංග්ලාදේශ ඉනිමේ 50 වැනි පන්දුවාරය තම 10 වැනි පන්දුවාරය ලෙසින් අවසන් කරන විට දුනිත් ලකුණු 45 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත්ව සිටියේය. ඒ සමඟම ඔහු දෙරට අතර තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණට පැමිණ සිටියි. තරග 4 කට ක්‍රීඩා කර ඇති දුනිත් කඩුලු 9 ක් බිඳ හෙළා ඇත්තේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 16.22 ක් රඳවා ගනිමිනි.

දෙරට අතර පැවැත්වෙන පස්වැනි සහ අවසන් එක්දින තරගය ලබන 25 වැනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest