slc
logo
Home   |    News
ඔක්තෝබර් 22, 2021
ශ්‍රී ලංකාව අපරාජිතව ‘සුපිරි 12’ තරග වටයට  

sinhala editor

By Chamila Karawita

විස්සයි-20 තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කර ගැනීමට වේග පන්දු යවන ළහිරු කුමාර සමත් වුණු නෙදර්ලන්තයට එරෙහි තරගයේදී පන්දු යවන්නන් දක්වන ලද අති විශීෂ්ඨ දස්කම් හේතුවෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කර ගත් දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරග වටය යටතේ සිය අපරාජිත භාවය රැක ගනිමින් ප්‍රධාන කණ්ඩායම් 12 තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට අද (22 වැනිදා) සමත්විය.

විස්සයි-20 තරග අංශයේ කණ්ඩායමක් දැවී ගිය හයවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් නෙදර්ලන්තය අද දැවී ගිය ලකුණු 44 සටහන් විය. පන්දු වාර 10 ක් පමණක් වැය වුණු නෙදර්ලන්ත ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමේදී  කැපී පෙනුණු ළහිරු කුමාර පන්දුවාර 3 ක් යවා ලකුණු 07 කට කඩුලු 3 ක් දවා ගත්තේය. මීට පෙර ළහිරුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වූයේ නැමීබියාවට එරෙහිව අබුඩාබිහි පැවැති තරගයේදී ලකුනු 09 ක් ඇතුළත දවා ගන්නා ලද කඩුලු 2 විය. ඊට දින 4 කට පසු නැවතත් සිය හොඳම පන්දු යැවීම වාර්තා කරගත් ළහිරු ගෙවී ගිය මාසයක පමණ කාලයේදී කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් ලෝක කුසලාන තරගාවලිය සඳහා වන අවසන් 15 දෙනා අතරට එක්වීමට සමත්විය.

සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 45 ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිල පන්දුවාර 7 කුත් පන්දුවකදී රැස් කර ගන්නා ලද්දේ කඩුලු 2 ක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි. පැතුම් නිස්සංක (00)සහ දිනේෂ් චන්දිමාල් වෙනුවට අද තරගයේදී යෙදවූ චරිත් අසලංක (06) දැවී ගිය පිතිකරුවන් බවට පත්වූහ.

ජයග්‍රහණය සනාථ කර ගැන්ම සඳහා වූ ලකුණු අවිෂ්ක ප්‍රනාන්දුගේ පිත්තෙන් සටහන් වද්දී අනෙක් අන්තයෙන් පන්දුවට පහර දෙමින් සිටි කුසල් පෙරේරා ලකුණු 33 ක් ලබා සිටියේය. පන්දු 24 ක් වැය වුණු එම ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත්වී තිබිණ.

විස්සයි-20 තරගයකදී නෙදර්ලන්ත පිලක් දැවී ගිය දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව වශයෙන්ද අද ලබාගත් ලකුණු 44 ට සටහන් විය. මීට පෙර ඔවුන් ලකුණු 39 කට දැවී ගොස් තිබෙන අතර එයද ශ්‍රී ලංකාවට එරෙහිව සටහන් වීම කැපී පෙනෙන්නකි. 2014 වසරේ බංග්ලාදේශයේ පැවැති තරගයකදී නෙදර්ලන්ත පිල ශ්‍රී ලංකාවට එරෙහිව එම ලකුණු සංඛ්‍යාවට දැවී ගොස් තිබෙන අතර එය විස්සයි-20 ලෝක කුසලාන තරගයකදී කණ්ඩායමක් දැවී ගොස් ඇති අවම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වේ.

නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් ලකුණු  10 සීමාව පසුකර යෑමට හිස එසවූයේ අංක 4 පිතිකරු වූ කොලින් ඇකර්මන් පමණි. ඔහු ලකුණු 11 ක් ලබා ගන්නා විට සෙසු සියල්ලෝම ලකුණු 10 ට අඩුවෙන් තබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. දසුන් ශානක විසින් කෙළින්ම කඩුල්ලට යොමු කිරීම නිසා නෙදර්ලන්ත ඉනිමේ කඩා වැටීම පළමු පන්දුවාරයේදීම ඇරැඹිණ. කඩුලු අතර දිව යෑමට ගොස් මැක් ඔඩවුඩ් සිය කඩුල්ල අහිමි කර ගනිද්දී තෙවැනි පන්දුවාරයේදී කඩුලු දඩයම ඇරැඹූ මහීෂ් තීක්ෂණ පන්දු 3 ක් ඇතුළත බෙන් කූපර් සහ ස්ටීවන් මයිබර්ගේ කඩුල් දවා ගත්තේය. දැවී ගිය පිතිකරුවන් දෙදෙනාම තීක්ෂණගේ කැරම් පන්දු හමුවේ කඩුල්ල බිඳී යෑම නිසා දැවී ගියහ.

හයේ පහරක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු ලබා ගැනීම ඇරැඹූ ඇකර්මන් වනිඳු හසරංගගේ මංගල ගොදුර බවට පත්වූවේය. විස්සයි-20 තරග වලදී නිලකුණු පන්දු යැවීම වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කර සිටින  පා දඟ පන්දු යවන වනිඳු නිරන්තරයෙන්ම සිදුකරනුයේ කඩුල්ල තුළටම පන්දුව යොමු කිරීමය. ඒ අතරතුර පා දඟ පන්දු කීපයකට සැරයක් ගුග්ලි පන්දුවක් යොමු කරමින් පිතිකරුවාගේ කඩුල්ල ඩැහැ ගැනීම වනිඳුගේ සාමාන්‍ය පන්දු යැවීමේ උපක්‍රමයයි. අද දිනයේදී වනිඳු විසින් දවා ගනු ලැබූ කඩුලු 3 ම වනිඳුගේ සුපුරුදු උගුලට අසුවූ කඩුලු විය. දක්ෂ ක්‍රීඩකයින් රැසක් සිටියද වනිඳුගේ මැණික් කටුවේ විලාශය හඳුනා ගැනීමට නොහැකි වුණු නෙදර්ලන්ත පිතිකරුවන් අතරින් ඇකර්මන් පළමු පිතිකරුවා ලෙසද ඊට පන්දු 4 කට පසු බාස් ඩි ලීඩ්වද කඩුල්ල මුවා කිරීමේ වරදට වනිඳු හසුකරගත්තේය.

දඟ පන්දු යවන්නන්ට වැඩි සහයෝගයක් ලබා දෙනු ලබන සාජා තණතීරුවේදී කැපී පෙනෙන පන්දු යැවීමක නිරතවීම ළහිරු කුමාරට තරගයේ වීරයා සම්මානය හිමිවීමට ඉවහල් විය. පළමුව ස්කොට් එඩ්වර්ඩ්ස් ව කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනු ලබන ළහිරු සිය පන්දුවාර 3 අතරතුර පිතිකරුවන් භීතියට පත් කිරීම තරගයේ කැපී පෙණින. වියළි තණතීරුවක් වුවද පැයට කිලෝ මීටර 145 ට වඩා වේගයෙන් පන්දු යැවූ ළහිරුගේ පන්දු වල ඉපිලීමද අසාමාන්‍ය තත්ත්වයේ පැවැතිණ.

නෙදර්ලන්ත පිතිකරුවන් කෙතරම් අසීරුතාවයකට ලක්වූයේද කිවහොත් ළහිරු ක්‍රියාත්මක කරන ලද 8 වැනි පන්දුවාරයේදී පැයට කිලෝ මීටර 147 ක වේගයෙන් එවන ලද පන්දුව ස්කොට් එඩ්වර්ඩ්ස්ට බේරීම් නොහැකි විය. හිස් ආවරණ ඉදිරි පස කොටසේ වැදීම නිසා ඔහු කම්පනයට (concussion) පත් වූයේද යන්න පරීක්ෂා කිරීම සඳහා භෞත චිකිත්සකවරයාට වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට සිදුවිය.

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ තරග වටය යටතේ A1 කණ්ඩායම ලෙසින් සුපිරි කණ්ඩායම් 12 දෙනා අතර තරග වටයට සුදුසුකම් ලබනු ඇත. එම තරග වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු කාණ්ඩය යටතේ තරග වදිනු ලබන අතර ඔස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශය ප්‍රතිවාදී කණ්ඩායම් බවට පත්ව සිටිති.

සුපිරි කණ්ඩායම් 12 තරග වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන පළමු තරගය ලබන 24 වැනිදා බංග්ලාදේශයට එරෙහිව සාජා ක්‍රීඩාංගණයේදී තරග වදිනු ඇත. අනතුරුව ඔක්තෝබර් 28 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිව ඩුබායිහිදීද, 30 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව සාජාහිදීද, නොවැම්බර් 01 වැනිදා එංගලන්තයට එරෙහිව සාජාහිදීද සහ නොවැම්බර් 04 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් සමඟ අබුඩාබිහිදීද තරග වදිනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee