slc
Home   |    News
ඔක්තෝබර් 16, 2021
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට නවකයෝ රැසක්

sinhala editor

By Chamila Karawita

ඔක්තෝබර් මස 28 වැනිදා ආරම්භ වන පාකිස්තානු ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමට නවක ක්‍රීඩකයින් රැසකට අවස්ථාව ලබා දීමට තේරීම් කමිටුව තීරණය කර තිබේ. එහි නායකත්වය සඳහා ඉදිරි පෙළ පිතිකරු සහ කඩුලු රකින සදීර සමරවික්‍රම නම් කර ඇති තේරීම් කමිටුව පළමු වතාවට ක්‍රීඩකයින් 13 දෙනෙකුට ශ්‍රී ලංකා ‘ඒ’ තරග වරම් ලබා දීමට පියවර ගෙන තිබේ.

නවකයින්ට අත්දැකීම් ලබා ගැනීම වෙනුවෙන් සදීරට අමතරව වර්තමාන ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් සිව් දෙනෙකුද ඇතුළත් කර තිබේ. ඕෂද ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු සහ ලසිත් ඇඹුල්දෙණිය එම ක්‍රීඩකයෝ වෙති. ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයට ශිරාන් ප්‍රනාන්දු සහ ධනංජය ලක්ෂාන් ඇතුළත්ව සිටියද නුවන් ප්‍රදීප් ආබාධයකට ලක්වීම නිසා අතිරේක ක්‍රීඩකයකු ලෙස ශිරාන් ප්‍රනාන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබේ. ආබාධයක් හේතුවෙන් ධනංජය ලක්ෂාන්ට ‘ඒ’ කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවී තිබේ. ඒ අනුව ශිරාන්ගේ ස්ථානය සඳහා චාමික කරුණාරත්නවද, ධනංජය ලක්ෂාන්ගේ ස්ථානය සඳහා ළහිරු සමරකෝන්වද කණ්ඩායමට එක් කර තිබේ.

අලුත් මුහුණු අතර බහුතරයක් අවසන් වරට වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවූ ක්‍රීඩකයින් කීප දෙනෙකුද වේ. ඔවුන්ද සමඟ සමස්ථ කණ්ඩායමේ ක්‍රීඩකයින් 13 දෙනෙකු පළමු වතාවට ශ්‍රී ලංකා ‘ඒ’ වරම හිමිකරගත් ක්‍රීඩකයෝ වෙති. නිශාන් මදුශ්ක, ලසිත් කෲස්පුල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු, නිපුන් ධනංජය, සහන් ආරච්චිගේ, ලසිත් අබේරත්න, කලන පෙරේරා, හිමේෂ් රාමනායක, සුමින්ද ලක්ෂාන්, අෂේන් ඩැනියෙල්, දුවිඳු තිලකරත්න, චාමික ගුණසේකර සහ ළහිරු සමරකෝන් ‘ඒ’ කණ්ඩායමට පැමිණ සිටින අලුත් මුහුණු වෙති. මොවුන් අතර සිටින සුමින්ද ලක්ෂාන් ‘ඒ’ කණ්ඩායමට නවකයෙක් වුවත් ඔහු මීට පෙර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සඳහා නම් කරන ලද අතිරේක ක්‍රීඩක ලැයිස්තුවට එක්ව සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අවසන් වරට දේශීය ක්‍රීඩා සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියක් පවත්වන ලද්දේ 2019-2020 වසරේදී වන අතර එම තරගාවලියේදී වැඩිම ලකුණු ලාභියා වූ ළහිරු උදාරත්, වැඩිම කඩුලු ලාභියා වූ දුවිඳු තිලකරත්නත් මෙම කණ්ඩායමට එක් කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ‘ඒ’ තරගයකට ක්‍රීඩා කර ඇත්තේ බංග්ලාදේශ ‘ඒ’ පිලට එරෙහිව 2019 සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාසවලදී ශ්‍රී ලංකාවේ පැවැති තරගාවලියේදීය. දේශීය ක්‍රීඩා සමාජ තරගාවලිය ආරම්භ වූයේ එම තරගාවලියෙන් පසුව වූ අතර දේශීය තරගාවලියටද කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය බලපෑවේය. එබැවින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් වූ තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙවී ගිය වසර 2 ක කාලයේදී අවස්ථාව උදා නොවුණු බැවින් දේශීය තරගාවලියේ දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින්ට ‘ඒ’ කණ්ඩායමට ඇතුළත්වීමේ ඉඩ කඩක් නොමැති විය.

පාකිස්තානු ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමේ තරග සංචාරය මෙම මස 28 වැනිදා ආරම්භ වන අතර එම තරගාවලියට නිල නොවන සිව්දින තරග 2 ක් සහ නිල නොවන එක්දින තරග 3 ක් ඇතුළත් වේ.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම – සදීර සමරවික්‍රම (නායක), නිශාන් මදුශ්ක, ළහිරු උදාර, ලසිත් කෲස්පුල්ලේ, කමිල් මිශාර, ඕෂද ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, නිපුන් ධනංජය, සහන් ආරච්චිගේ, ශම්මු අශාන්, ලසිත් අබේරත්න,  කලන පෙරේරා, මොහොමඩ් ශිරාස්, අසිත ප්‍රනාන්දු, හිමේෂ් රාමනායක, විශ්ව ප්‍රනාන්දු, සුමින්ද ලක්ෂාන්, ලසිත් ඇඹුල්දෙණිය, අෂේන් ඩැනියෙල්, දුවිඳු තිලකරත්න, චාමික ගුණසේකර, ළහිරු සමරකෝන්.

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest