slc
logo
Home   |    News
ඔක්තෝබර් 25, 2021
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ බංග්ලාදේශය අන්ත පරාජයකට ඇද දමති

sinhala editor

Chamila Karawita reporting from Dambulla

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ ශතකයක් වාර්තා කරන ලද පළමු පිතිකරුවා බවට පත්වූ චමිඳු වික්‍රමසිංහගේ සුපිරි හරඹය හමුවේ පස්වැනි සහ අවසන් එක්දින තරගයෙන්ද ලකුණු 4 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අද (25 වැනිදා) හැකියාව ලැබිණ. සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ජ්‍යෙෂ්ඨයින් කඩුලු 5 ක ජයග්‍රහණයක් වාර්තා කොට පැය 24 ක් ගතවීමට මත්තෙන් වත්මන් යොවුන් ලෝක ශූරයින් ලෙසින් ශ්‍රී ලංකාවට පැමිණි බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව වූ තරගාවලිය 5-0 ක් ලෙස අන්ත පරාජයකට ඇද දැමීමටද දුනිත් වෙල්ලාලගේ ඇතුළු පිරිව සමත්වූහ.

ලකුණු 102 ක් වශයෙන් සටහන් වූ චමිඳු වික්‍රමසිංහගේ ශතකය මත ගොඩ නැංවුණු ලකුණු 240 ක ලකුණු සංඛ්‍යාව හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට නියමිත පන්දුවාර 50 දී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 236 ක් පමණි. අවසන් පන්දුවාරය තෙක්ම අතිශය තියුණු මුහුණුවරක් ගනු ලැබූ මෙම තරගයේදී පළමු පන්දුවාර 45 දීම වැඩි වාසි තබා ගත්තේ බංග්ලාදේශ පිතිකරුවන්ය. ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනාම ලකුණු අතරට පිවිසීමට සමත්වීම කැපී පෙනුණි. එහිදී මෆිජුල් ඉස්ලාම් (62), ඉෆ්තිකාර් හොසේන් (32), නව්රෝස් නබිල් (33) සහ අයිච් මොල්ලා (55) ලකුණු 30 කට ඉහළින් රැස් කිරීම කැපී පෙනිණ. එහෙත් 46 වැනි පන්දුවාරයේ සිට තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා පන්දු යවන්නේ කඩුලු දඩයම ඇරඹූහ.

පන්දු 30 කදී ලකුණු 26 ක් අවශ්‍යව තිබූ අවස්ථාවේදී පාලනයකින් යුතුවපන්දු යැවූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් නායක වෙල්ලාලගේ පළමුව අරිෆුල් ඉස්ලාම්ගේ කඩුල්ල දවා ගත්තේය. අනෙක් අන්තයෙන් පන්දු යැවූ විනුජ රන්පුල් එතෙක් වෙලා හොඳින් පන්දුවට පහර දුන් අයිච් මොල්ලා සහ තජිබුල් ඉස්ලාම්ගේ කඩුලු දවා ගනිමින් තරගයේ වැඩි වාසි තම කණ්ඩායම වෙත රැගෙන ආවේය. අවසන් පන්දුවාරයේදී බංග්ලාදේශ ඉලක්කය පන්දු 6 කදී ලකුණු 9 ක් වූ අතර පන්දු යැවූ දුනිත් තවත් කඩුලු 2 ක් දවා ගත්තේ සියලු වාසී තම කණ්ඩායමට රැගෙන ඒමෙනි. අවසන් පිතිකරුවා වූ නයිමුර් රෝමන්ට අවසන් පන්දුවේදී ලකුණු 05 ක් ලබා ගත යුතු වුවත් දුවද්දී දැවී යෑමකට හසුව දවා ගැනීමට දනාල් හේමාන්නද සහ නායක වෙල්ලාලගේ සමත්විය.

පෙර තරග 4 දී ආරම්භක පිතිකරුවන් ලෙසින් අත්හදා බලන ලද යුගලයන් දෙකම අසාර්ථකවීම නිසා අද තරගයේදී චමිඳු වික්‍රමසිංහව ආරම්භක පිතිකරුවකු ලෙස යොදා ගැනීමට තේරීම් වලදී පියවර ගෙන තිබුණි. පළමු තරග දෙකේදී තුන් ඉරියව් ක්‍රීඩකයාට ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ අංක 8 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි චමිඳු, කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ ආරම්භක පිතිකරුවා ලෙසද කටයුතු කරන්නේය.ඒ විශ්වාස අද තරගයේදී චමිඳුව ආරම්භක පිතිකරු ස්ථානයෙන් ක්‍රීඩා කරවීමට හේතු වූවේය.

පුහුණුකරුවා මෙන්ම කණ්ඩායම් කළමනාකාරීත්වය තමා පිළිබඳ තැබූ විශ්වාසය අකුරටම ඉටු කළ වමත් පිතිකරුවා39 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවට දැවී යන විට පන්දු 123 කදී ලකුණු 102 ක් රැස් කරගෙන සිටියේය. ආරම්භයේ සිටම ඉතා විශ්වාසයකින් යුතුව ඉදිරි පාදය භාවිතයෙන් පහරවල් කරා ගිය චමිඳුගේ පිත්තේ වැදුණු පන්දු 10 ක්, හතරේ සීමාවටද තුන් වතාවක් ඉන් ඔබ්බටද යන විට යාර 30 සීමාවේ පන්දු රැකි බංග්ලාදේශ පන්දු රකින්නන්ට ඉතිරිව තිබුණේ ඒ දෙස බලා සිටීම පමණි. ඒ තරමටම ජව සම්පන්න පහර වල වේගය මුසුව තිබිණ.

චමිඳුට පෙර ජීවක ශෂීන් සහ සදීෂ් ජයවර්ධනද, හරිඳු ජයසේකර සහ රයන් ප්‍රනාන්දුවද ආරම්භක පිතිකරුවන් ලෙසින් අත්හදා බැලූ නමුත් ඔවුන් කිසිවකුත් සාර්ථකත්වයට නොපැමිණියහ. සදීෂ් ජයවර්ධන දෙවැනි තරගයේදී ලකුණු 58 ක් රැස් කළ නමුත් ඒ සඳහා ඔහු පන්දු 94 කට මුහුණ දුන්නේය. 61.70 ක ප්‍රහාරාත්මක වේගයක් රැඳවුණු එම ඉනිම, එක්දින තරගයකදී ආරම්භක පිතිකරුවකුගෙන් බලාපොරොත්තු වූ කාර්යය ඉටු නොවිණ.

ආරම්භයේ සිටම ඉතා විශ්වාසයෙන් යුතුව පහර එල්ල කළ චමිදු ඉන් වැඩි හරියක් මිඩ් ඕන් සහ මිඩ් ඕෆ් කළාප වලට යොමු කරමින් ලකුණු රැස් කිරීම කැපී පෙනුණි. වේග පන්දු යවන්නන්ට මෙන්ම දඟ පන්දු යවන්නන් හමුවේද කිසිදු පැකිළීමකින් තොරව පහර එල්ල කළ උසැති ක්‍රීඩකයා අෂේන් ඩැනියල් සමඟ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 154 ක සම්බන්ධතාවක් පැවැත්වීමටද දායකත්වය ලබා දුන්නේය. ඒ සඳහා ඔවුන් වැය කරන ලද්දේ පන්දු 182 ක් පමණි.

අනගි සහායක් ලබා දුන් ෂෙවෝන් ඩැනියල් අද වාර්තා කරන ලද්දේ මෙම තරගාවලියේ දෙවැනි අර්ධ ශතකය විය. 23 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවේදී අර්ධ ශතකය රැස් කරගත්තද ඊට පන්දුවාර 10 කට හෙවත් 33 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවේදී දෙවැනි කඩුල්ල ලෙසින් ඩැනියල් දැවී යන විටත් ඔහු රැස් කර තිබුණේ ලකුණු 09 ක් පමණි.

ශ්‍රී ලංකා ‍යොවුන් පිල 40 වැනි පන්දුවාරය වන විටත් ලකුණු 200 සීමාවේ රැදී සිටි අතර පහසුවෙන්ම ලකුණු 275 සීමාව ඉක්මවා ලීමට හැකියාව තිබිණ. එහෙත් අද තරගයට අලුත්ම තණතීරුවක් වුණු දඹුල්ල තණතීරුවේ පන්දුව හැසිරිවිය යුත්තේ මෙසේ යැයි හඳුනාගත් බංග්ලාදේශ පන්දු යවන්නෝ අවසන් පන්දුවාර 10 ඇතුළත ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 5 ක් දවා ගත්තා පමණක් නොව එම පන්දු 60 දී ලකුණු 40 කට ශ්‍රී ලංකා පිතිකරුවන් නවතාලීමටද සමත්වූහ.

තරගාවලිය පුරාම ලකුණු අතර සිටි පවන් පතිරාජ අද ලකුණු 4 කට දැවී ගිය අතර රයන් ප්‍රනාන්දු වෙනුවට පැමිණි සදීෂ රාජපක්ෂටද රැස්කරගත හැකි වූයේ ලකුණු 16 ක් පමණි. නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 20 කට දැවී යෑමත් සමඟ පසු පෙළීන් පැමිණි පිතිකරුවන්ට බංග්ලාදේශයෙන් ලැබුණු පීඩනය හසුරුවාගත නොහැකි විය. කෙසේ වුවත් අද තරගයේදී ශ්‍රී ලංකා ඉනිමේ වාර්තා වුණු නිලකුණු පන්දු සංඛ්‍යාව 156 ක් විය. අද තරගයද සමඟින් ශ්‍රී ලංකාව මෙම තරගාවලිය යටතේ පන්දු 150 කට වඩා නිලකුණු පන්දු තරග 4 කදී සටහන් විය. ක්‍රීඩා කරන ලද තරග 4 දී පන්දු 150 කට වඩා නිලකුණු පන්දු වාර්තා වුණු අවස්ථා 4 ක් සනිටුහන් වුණු අතර දෙවැනි තරගයේ පමණක් එය 144 ක් දක්වා අඩු අගයක් ගෙන තිබිණ. පළමු තරගයේදී නිලකුණු පන්දු 160 ක්, තෙවැනි තරගයේදී නිලකුණු පන්දු 157 ක් සහ සිව්වැනි තරගයේදී නිලකුණු පන්දු 159 ක් සටහන් විය.

 අද තරගයට ශ්‍රී ලංකා යොවුන් පිල වෙනස් කම් 3 ක් සිදු කරමින් අවතීර්ණ වුණු අතර චමිඳු වික්‍රමසිංහ, සදීෂ රාජපක්ෂ සහ සදීෂ් ජයවර්ධනව කැඳවා තිබිණ. එහිදී පෙර තරගයට ක්‍රීඩා කළ හරිඳු ජයසේකර, රයන් ප්‍රනාන්දු සහ ළහිරු දවටගේට සිය ස්ථාන අහිමිවූහ.

තරගාවලි අවසානයේ පැවැති ජය සංකේත ප්‍රදානයේදී තරගාවලියේ වීරයා ලෙස ලකුණු 222 ක් සහ කඩුලු 5 ක් දවා ගත් ෂෙවෝන් ඩැනියන් සම්මාන දිනා ගනු ලැබීය. ඊට අමතරව සෑම තරගයකම තරගයේ වීරයා කවුරුන්ද යන්න ප්‍රකාශයට පත් කරන ලද අතර එහිදී පළමු තරගයේදී ට්‍රෙවීන් මැතිව් (29/4) , දෙවැනි තරගයේදී මෆිජුල් ඉස්ලාම් (75), තෙවැනි තරගයේදී ෂෙවෝන් ඩැනියල් (85*), සිව්වැනි තරගයේදී රවීන් ද සිල්වා (88) සහ පස්වැනි තරගයේදී චමිඳු වික්‍රමසිංහ (102) සම්මානයට පාත්‍ර වූහ.

බංග්ලාදේශ කණ්ඩායම අද (25 වැනිදා) රාත්‍රියේදීම නැවතත් සිය රට බලා පිටත්ව යෑමට නියමිත විය.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest