slc
logo
Home   |    News
ඔක්තෝබර් 23, 2021
ශ්‍රී ලංකා යෞවනයෝ සිව්වැනි ජයත් ලබති

sinhala editor

Chamila Karawita reporting from Dambulla

ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දුවෙන් පන්දුවට වූ උණුසුම සමඟ ඇතිවන අවිනිශ්චිත භාවයේ චමත්කාරය බංග්ලාදේශ සහ ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති සිව්වැනි එක්දින තරගයට ගෙන යමින් බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ අද (ඔක්තෝබර් 23 දා) සමත්වූහ. දක්ෂ ලෙස තරග වැදි දුනිත් වෙල්ලාලගේ ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් සහභාගිවුණු එක්දින තරග 4 න් 4 ම ජය ගත්තේ වත්මන් යොවුන් ලෝක ශූරයින්ට මෙතෙක් සංචාරයේ ජයග්‍රහණයක් වාර්තා කිරිමට කිසිම අවස්ථාවක් ලබා නොදෙමිනි.

ජයග්‍රහණය සඳහා ලකුණු 225 ක ඉලක්කයක් හඹා යෑමේදී එහි පුරෝගාමියා බවට පත් වුණු උප නායක රවීන් ද සිල්වා පන්දු 100 කදී ලකුණු 88 ක් ලබා ගත්තේය. ලකුණු 64 කට කඩුලු 4 ක් බිඳ වැටී තිබියදී ලකුණු 225 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑම වෙනුවෙන් රවීන් ක්‍රීඩා කළ ඉනිම නොවන්නට අවසන් පන්දුවාරයේ තෙවැනි පන්දුවේදී එක් කඩුල්ලක ජයක් ලෙසින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සටහන් වුණු ජයග්‍රහණය ප්‍රතිවාදීන් හට හිමිවනු නොඅනුමානය.

කඩුලු 4 ක් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යෑමට අමතරව අනෙක් අන්තයේ වූ පිතිකරුවන් එකින් එකා දැවී යෑඹ නිසා සියල්ල ශ්‍රී ලංකා පිලේ අවාසියට හිටියේය. එවන් මොහතක මොහොතක සියල්ල විඳ දරා ගනිමින් ඥානාන්විතව පන්දුවට පහර දුන් 18 හැවිරිදි දකුණත් පිතිකරුවා ක්‍රීඩා කළ ඉනිමේ වටිනා කම වචනයෙන් විස්තර කළ නොහැකි තරම්ය.

ජයග්‍රහණයට ලකුණු 13 ක් තිබියදී මොහිදීන් තරික්ගේ පන්දුවක් රවීන් ගේ කඩුල්ල සොයා නොයන්නට ඔහුට තරගයේ ජයග්‍රහණයට අමතරව සිය ඉනිම ශතකය දක්වා පරිවර්තනය කර ගැනීමේ අවකාශයද හොඳන්ම පැවැතිණ. ශතකය අහිමි වුණද ඒ ඉනිම සටන්කාමීත්වය සතු වටිනා ඉනිමක් ලෙසින් සටහන් විය.

ඉනිම ආරම්භයේදී යාර 30 ඇතුළත වූ පන්දු රකින්නන් නරඹන්නන් බවට පත් කරමින් පහර එල්ල කළ රවීන් ද සිල්වා තම ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 9 කින් වර්ණවත් කර ගත්තේය. ශ්‍රී ලංකා ඉනිමේ 7 වැනි පිතිකරුවා ලෙසින් දැවී යෑමට මත්තෙන් ලකුණු 50 කට වැඩි සම්බන්ධතා දෙකකට රවීන් දායකත්වය දැක්වීය. පළමුව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පවන් පතිරාජ සමඟ ලකුණු 55 ක සම්බන්ධතාවයක්ද විනුජ රනුපුල් සමඟ එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51 ක සම්බන්ධතාවයක්ද රවීන් පැවැත්වූහ.

නායක දුනිත් වෙල්ලාලගේ සමඟ ද 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 38 ක සම්බන්ධතාවයක් පැවැත්වූ නාල්නදා විදුහල නියෝජනය කරමින් ජාතික කණ්ඩායමට පැමිණ රවීන් ඔහුගේ පාසලේම ක්‍රීඩකයකු වන විනුජ රන්පුල් සමඟ එක් පවත්වන සම්බන්ධතාවය ශ්‍රී ලංකා පිලට මහත් වටිනා එකක් විය. ජයග්‍රහණයට මත්තෙන් විනුජද ලකුණු 23 කට දැවී ගියද පළමු වතාවට යොවුන් තරග වරම් දිනූ සසංක නිර්මාල් යොවුන් කණ්ඩායමේ ජයග්‍රහණය සනිටුහන් කිරීම වෙනුවෙන් වූ ලකුණ වාර්තා කළේය.

මැද පෙළින් පැමිණි නායක මෙහෙරාබ් හසන් සහ උප නායක අරිෆුල් ඉස්ලාම් එකතුව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 81 ක සම්බන්ධතාවයත් සමඟ නියමිත පන්දුවාර 50 අවසනදී ලකුණු 225 ක ඉලක්කයක් ප්‍රතිවාදීන් වෙත ලබා දීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. ඉනිමේ කොඳු නාරටිය ලෙසින් හැඳින්විය හැකි මෙම සම්බන්ධතාවයේදී නායක හසන් සහ ඉස්ලාම් අර්ධ ශතක වාර්තා කිරීම කැපී පෙනිණ.

ලකුණු 75 ට කඩුලු 3ක් බිඳ වැටී තිබියදී පිටියට පිවිසි මෙහරාබ් හසන් 47 වැනි පන්දුවාරය වෙන තෙක් කඩුල්ලේ රැඳී සිටියේ බංග්ලාදේශ යොවුන් පිලට යෝධ ශක්තියක් වෙමිනි. එතරම් කලබලයක් නොදැක්වූ යොවුන් නායකයා ලබාගත් ලකුණු 52 සඳහා පන්දු 71 කට මුහුණ දුන්නේය. ලකුණු 16 ක් හතරේ පහර වලින් රැස් කරගත් වමත් පිතිකරුවාගේ පිතිකරණ විලාශයම අනුගමනය කළ අනෙක් අන්තයෙන් පන්දුවට පහර දුන් අරීෆුල් අර්ධ ශතකයක් වාර්තා කර ගත්තේ නායකයාට දැවැන්ත ශක්තියක් ලබා දෙමිනි. පන්දු 67 කට මුහුණ දුන් දකුණතින් පන්දුවට පහර දෙන අරිෆුල් ලබාගත් ලකුණු 50 සඳහා හතරේ පහර 3 ක් පමණක් එල්ල කළේය.

ශ්‍රී ලංකා ඉනිමේ වඩාත් විශ්වාසනීයම පන්දු යවන්නා බවට පත්ව සිටින නායක දුනිත් වෙල්ලාලගේ දෙවැනි කඩුල්ල බවට පත්ව අරිෆුල් පිටියෙන් ඉවත්වීමට ප්‍රථම බංග්ලාදේශ නායකයාව දවා ගැනීමට විනුජ රන්පුල් සමත්වූවේය. පසු පෙළින් පැමිණි ටජිබුල් ඉස්ලාම්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය හේතුවෙන් අවසන් පන්දුවාර 2 දී ලකුණු 22 ක් එක් කර ගැනීමට බංග්ලාදේශ පිලට අවස්ථාව උදාවිය. 49 වැනි පන්දුවාරය යැවූ විනුජ රන්පුල්ගේ පන්දු වාරයේදී  තජිබුල් ඉස්ලාම් රැස් කරන ලද ලකුණු 12 ද ඊට අයත් විය.

අද තරගයේදී පළමු වතාවට යොවුන් තරග වරම් දිනා ගත් සසංක නිර්මාල් යවන ලද පළමු පන්දුවේදීම කඩුල්ලක් දවා ගැනීමට සමත්වීම විශේෂත්වයක් විය. බංග්ලාදේශ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාව බිඳ වැටුණු එම දක්ෂතාවයේදී නිර්මාලට කඩුල්ල ලබාදීම වෙනුවෙන් ස්ලිප් ස්ථානයේ සිට වනුජ සහන් රැක ගන්නා ලද උඩ පන්දුව විශීෂ්ඨ ගණයේ විය.

සමස්ථයක් ගත්විට ශ්‍රී ලංකා  යොවුන් පන්දු යවන්නන්ගේ පන්දු යැවීම ස්ථාවර මට්ටමක පැවැති අතර අවසන් පන්දුවාර 40 තෙක්ම බංග්ලාදේශ පිතිකරුවන් රැස්කර ගැනීමට සමත්ව සිටියේ පන්දුවාරයකට ලකුණු 4 කටත් වඩා අඩු සංඛ්‍යාවකි. පළමු තරග වලට ක්‍රීඩා කළ මතීෂ පතිරණගේ ස්ථානය සඳහා ආදේශ කෙරුණු වමත් වේග පන්දු යවන දනාල් හේමානන්දගේ පන්දු යැවීම කැපී පෙනිණ. පිතිකරුවාගේ දෙපසටම දෝලනය වන සේ පන්දු යැවූ හේමානන්ද අංක 3 පිතිකරු වූ නව්රෝස් නබිල්ගේ කඩුල්ල දවා ගත්තේය. කඩුලු දවා ගැනීමට නොහැකි වුවද වනුජ සහන් තම පන්දුවාර 9 ලකුණු 33 කට සීමා කළේය.

අවසන් පන්දුවාරයේදී දවා ගන්නා ලද කඩුලු 2 ත් සමඟ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම කඩුලු ලාභියා වූයේ නායක දුනිත් වෙල්ලාලගේය. පිතිකරුවාට ලකුණු කරා යෑමට අසීරු ස්ථානයන් වල නිරන්තයෙන්ම පන්දුව පතිත කළ වමත් දඟ පන්දු යවන්නා පිතිකරුවාගේ පිටතටත් පිතිකරුවා තුළටත් යොමු කරන පන්දු ඉතා විශිෂ්ඨ මට්ටමේ පැවැතින. බංග්ලාදේශ ඉනිමේ 50 වැනි පන්දුවාරය තම 10 වැනි පන්දුවාරය ලෙසින් අවසන් කරන විට දුනිත් ලකුණු 45 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත්ව සිටියේය. ඒ සමඟම ඔහු දෙරට අතර තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණට පැමිණ සිටියි. තරග 4 කට ක්‍රීඩා කර ඇති දුනිත් කඩුලු 9 ක් බිඳ හෙළා ඇත්තේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 16.22 ක් රඳවා ගනිමිනි. දෙරට අතර පැවැත්වෙන පස්වැනි සහ අවසන් එක්දින තරගය ලබන 25 වැනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest