slc
logo
Home   |    News
ඔක්තෝබර් 21, 2021
සුපිරි ජයකින් ශ්‍රී ලංකාව ‘සුපිරි 12’ වටයට එයි

sinhala editor

By Chamila Karawita

වනිඳු හසරංග සහ පැතුම් නිස්සංක එක්ව ගොඩ නංවන ලද වාර්තා ගත සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාවයත් පන්දු යවන්නන් සිය යුතුකම් කොටස නිසියාකාරව ඉටු කිරීමට සමත්වීමත් සමඟ පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 12 අතර තරග වටයට තේරී පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (ඔක්තෝබර් 20 වැනිදා) දිනයේදී සමත්විය. අයර්ලන්තයට එරෙහිව ලකුණු 70 ක දැවැන්ත ජයක් අත්කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම එම අවස්ථාව විවර කරගත්තේ සුදුසුකම් ලැබීමේ තරග වටයේ නෙදර්ලන්තයට එරෙහි තරගයත් ඉතිරිව තිබියදීය.

ශ්‍රී ලංකාවට එරෙහිව ඔක්තෝබර් 22 වැනිදා පැවැත්වෙන තරගයෙන් නෙදර්ලන්ත කණ්ඩායම ජය ගත්තද ඔවුන්ට සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයට පැමිණීමේ අවස්ථාවක් නොමැත. ඒ අනුව ශ්‍රී ලංකාව සමඟ අවසන් 12 දෙනා අතර තරග වටයට යන කණ්ඩායම කවුරුන්ද යන්න නැමීබියාව සහ අයර්ලන්තය අතර අනිද්දා පැවැත්වෙන තරගයෙන් පසු තීරණය වනු ඇත.

ජයග්‍රහණය සඳහා ලකුණු 172 ක ඉලක්කයක් හඹා යෑමේදී පන්දු රකින්නන්ගේ සහයෝගයක් නොලැබී ගියත් දක්ෂ පන්දු යැවීම හමුවේ අයර්ලන්ත පිල පන්දුවාර 18.3 කදී ලකුණු 101 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය. නැමීබියාවට එරෙහිව පැවැති තරගයේදී තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලද මහීෂ් තීක්ෂණ අද තරගයේදීද ඕවර 4 දී ලකුණු 17 ක් පමණක් ලබා දී කඩුලු 3 ක් දවා ගත්තේය. ඔහුට අනගි සහායක් ලබා දුන් ළහිරු කුමාර සහ චාමික කරුණාරත්නද කඩුලු 2 බැගින් බිඳ හෙළුවද පන්දුවාර 4 ලකුණු 12 කට සීමා කරමින් එක් කඩුල්ලක් දවා ගත් වනිඳු හසරංගට පන්දුවෙන් දක්වන ලද දක්ෂතාවයට අමතරව පිත්තෙන් දක්වන ලද දක්ෂතාවය හේතුවෙන් තරගයේ වීරයා සම්මානය හිමිවිය.

පළමු කඩුලු 3 ලකුණු 32 දී දවා ගත්තද සිව්වැනි කඩුල්ල වෙනුවෙන් නායක ඇන්ඩෘ බලබර්නි සහ කර්ටිස් කැම්පර් එක්ව ලකුණු 53 ක සම්බන්ධතාවක් පැවැත්වූහ. ඒ අතරතුරදී දවා ගැනීම වෙනුවෙන් උඩ පන්දුවක් අයර්ලන්ත නායකයා ලබා දුන්නද එය කවර් පොයින්ට්හි පන්දු රැකී දුෂ්මන්ත චමීර අතින් ගිලිහී ගියේය.  ඒ වන විට බල්බර්නි රැස් කර සිටියේ එක් ලකුණකි. තීක්ෂණ විසින් කැම්පර්ව දවා ගැනීමත් සමඟ එම සම්බන්ධතාව පමණක් නොව අවසන් කඩුලු 7 ම ලකුණු 16 ක් ඇතුළත දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

ලකුණු 08 කට කඩුලු 3 බිඳ වැටී තිබියදී එක්වූ වනිඳු සහ පැතුම් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 123 ක් එක් කරමින් මෙතෙක් එම කඩුල්ල වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකරු වන් යුගලක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කීය. මීට පෙර එම කඩුල්ලේ සම්බන්ධතාව ලෙසින් පැවැතියේ 2011 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ටී.එම්. ඩිල්ෂාන් සහ ජීවන් මෙන්ඩිස් දෙදෙනා අතර පැවැති ලකුණු 104 ක සම්බන්ධතාවය වේ.  එමෙන්ම මෙය විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියකදී සිව්වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර මීට පෙර එහි වැඩිම ලකුණු සංඛ්‍යාව වී ඇත්තේ 2007 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහි තරගයකදී මිස්බා උල්හක් සහ ෂොයෙබ් මලික් එක් කරන ලද නොබිඳුණු ලකුණු 119 ක සම්බන්ධතාව වේ.

මුල්කඩුලු 3 ලකුණු 8 කදී බිඳ වැටී තිබියදී ලකුණු 150 සීමාව ඉක්මවා ගිය පළමු ටෙස්ට් ක්‍රීඩා කරන රට ලෙසින් ශ්‍රී ලංකාව අද දක්වන ලද දක්ෂතාව සටහන් විය. මීට පෙර මෙවන් තත්ත්වයකදී කණ්ඩායමක් වැඩිම ලකුණු රැස් කර ඇත්තේ එංගලන්තයට එරෙහිව 2010 වසරේදී ඔස්ට්‍රේලියාව කඩුලු 6 ක්ද දැවී රැස් කරගත් ලකුණු 147 වේ. එමෙන්ම මෙතරම් අඩු ලකුණු සංඛ්‍යාවකට පළමු කඩුලු 3 දැවී ගිය ශ්‍රී ලංකාවේ පළමු අවස්ථාව ලෙසින්ද මෙය සනිටුහන් විය. මීට පෙර ශ්‍රී ලංකාවේ මුල් කඩුලු 3 බිඳ වැටී ඇති අවම ලකුණු සංඛ්‍යාව වන්නේ 11 කි. ඒ ඔස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට එරෙහිව වේ.  

අර්ධ ශතක ලෙසින් පරිවර්තනය වුණු වනිඳු – පැතුම්ගේ ඉනිම හේතුවෙන් ඕවර 20 අවසන් වන විට කඩුලු 7 කට ලකුණු 171 ක් රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය. ලකුණක් සටහන්ව තිබියදී කුසල් පෙරේරාද, පිට පිට පන්දු දෙකකදී දිනේෂ් චන්දිමාල් සහ අවිෂ්ක ප්‍රනාන්දු දැවී යෑම නිසා ශ්‍රී ලංකාවේ ආරම්භය අසාර්ථක විය. එහෙත් උපක්‍රමයක් ලෙසින් අංක 5 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි වනිඳු හසරංග කළමනාකාරීත්වයේ තබා තිබූ බලාපොරොත්තු අකුරටම ඉටු කරමින් පන්දු 47 කදී වේගවත් ලකුණු 71 ක් ලබා ශ්‍රී ලංකා ඉනිමේ ගැලවුම් කරුවා බවට පත්වූවේය.

පැතුම් නිස්සංකට එක්වූ වනිඳු සිව්වැනි කඩුල්ල වෙනුවෙන් වූ සම්බන්ධතාවයට පන්දු 82 ක් වැය කළේය. පන්දු 38 කදී වාර්තා වුණු වනිඳුගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 10 කින් සමන්විත විය. ඔහුට අනගි සහායක් ලබා දුන් පැතුම් නිස්සංක හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග පන්දු 47 කින් ලකුණු 61 ක් එක් කළේය. විස්සයි-20 දිවියේ මංගල අර්ධ ශතක ලෙසින් මොවුන් දෙදෙනා වාර්තා කරන ලද අර්ධ ශතක සටහන් විය.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest