slc
logo
Home   |    News
නොවැම්බර් 22, 2021
දඟ පන්දුව හමුවේ කොදෙව්වෝ අසීරුතාවයක

sinhala editor

Chamila Karawita reporting from Galle

නම් දැරූ දඟ පන්දු යවන්නන් දෙදෙනාට කළින් දක්ෂතා අතරට පැමිණි තුන් ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් පන්දු 25 ක් ඇතුළත කොදෙව් පිතිකරුවන් තිදෙනකුම දවා ගැනීමට සමත්වීම නිසා නොසිතූ අවධානමකට බටහිර ඉන්දීය කොදෙව් පිල මුහුණ දී සිටියි. එම කඩුලු 3 දවා ගැනීමේදී කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමේ අවස්ථාවකටද පැමිණි රමේෂ්ගේ සුපිරි පන්දු යැවීම නිසා ශ්‍රී ලංකාව ලබා දුන් ලකුණු 386 ට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින කොදෙව් කණ්ඩායම දෙවැනි දිනට තරගය නිමා කරද්දී ලකුණු 113 ක් ඇතුළත කඩුලු 6 ක් අහිමි කරගෙන සිටියි.

පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමෙන් වැළකී සිටීමට නම් තවත් ලකුණු 74 ක් පමණක් කොදෙව් කණ්ඩායමට අවශ්‍යව පවතින නමුත් ඉනිම අභිබවා යෑමට ඉතිරි පිතිකරුවන් සිව්දෙනාට ලකුණු 273 ක් ලබා ගැනීමේ අභීයෝගයට මුහුණ දීමට සිදුව තිබේ. ගැටළුව පවතින්නේ දෙවැනි දිනය අවසන් වන විටම තණතීරුව තියුණුවට දඟ කැවීමට පටන් ගෙන තිබීමයි.

තෙවැනි පන්දුවාරයේදීම බ්ලැක්වුඩ්ව දවා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව පැවැතියද විනිසුරු විමසීමේ තීරණය භාවිතා නොකිරීම නිසා එහි වාසනාව ආරම්භක පිතිකරුවා සතු විය. දුෂ්මන්ත චමීර එවන ද පන්දුවට කඩුල්ල මුවා කළේ යැයි කරන ලද ඉල්ලීමේදී විනිසුරු නිෂ්ප්‍රභ කර සිටීමේදී එය තෙවැනි විනිසුරුගෙන් විමසීමට ශ්‍රී ලංකා නායකයා මැළිවිය. ඒ සඳහා කඩුලු රකින දිනේෂ් චන්දිමාල්ගෙන් කරන ලද විමසීමේදී පිළිතුර උදාසීනවීම නිසා ලකුණු 09 දී නිමාවීමට තිබූ පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 46 දක්වා දීර්ඝ විය.

කඩුලු දඩයමේදී ලසිත් ඇඹුල්දෙණිය ඉක්මන් වූවේය. ලද වාසනාවෙන් නිසි ප්‍රයෝජන නොගත් බ්ලැක්වුඩ් (20) කොදෙව් ඉනිමේ දැවී ගිය පළමු පිතිකරුවා විය. එම කඩුල්ල දවා ගැනීමත් සමඟ 12 වැනි ටෙස්ට් තරගයේදී සිය 50 වැනි ටෙස්ට් කඩුල්ලද ඇඹුල්දෙණියගේ නම ඉදිරියෙන් සනිටුහන් විය.

සිය ජ්‍යෙෂ්ඨයා කොටු පවුර අන්තයෙන් පන්දු යවද්දී ක්‍රීඩාගාර අන්තයෙන් පන්දු යැවූ අනෙක් වමතා, ප්‍රවීන් ජයවික්‍රම ද පන්දුව තියුණුව දඟ කවමින් කොදෙව් පිතිකරුවන් අන්ද මන්ද කලේය. තියුණු ලෙස දඟ කැවීමකින් යුක්තව යවන ලද පන්දුවෙන් බෝනර්ගේ කඩුල්ල ජයවික්‍රම දවා ගනු ලැබීය. ප්‍රධාන දඟ පන්දු යවන්නන් දෙදෙනා පන්දුයැවීම නිසා දකුණත් පිට දඟ පන්දු යවන්නා වන රමේෂ් මෙන්ඩිස්ව කැඳවීම 32 වැනි පන්දුවාරය දක්වා ශ්‍රී ලංකා නායකයා ප්‍රමාද කළේය. පන්දුව දුන් පළමු පන්දුවාරයේදීම සාර්ථක ඵල නෙළා දුන් රමේෂ් නායක ක්‍රෙග් බ්‍රැත්වයිට්ගේ කඩුල්ල දවා ගත්තේය. මංගල ටෙස්ට් වරම් දිනූ ජෙරම් සොලොසානෝ ‘කම්පනයට’ පත්වීම නිසා ඔහු වෙනුවට කණ්ඩායමට ආදේශ කෙරුණු ෂායි හෝප් රමේෂ්ගේ දෙවැනි ගොදුර බවට පත්වූවේය.

තරගාවසානයට පන්දුවාර 2 ක් ඉතිරිව තිබියදී රොස්ටන් චේස්ගේ කඩුල්ලද දවාගත් රමේෂ් මෙන්ඩිස් සිය කඩුලු මල්ල ලකුණු 23 කට 3 ක් ලෙසින් තර කර ගත්තේය. රමේෂ්ගේ දක්ෂතාව නිසා කොදෙව් අවසන් කඩුලු 6 ම ලකුණු 56 කදී බිඳ වැටිණ.

ඉලක්කය ලකුනු 500 කට එහා ලකුණු සංඛ්‍යාවක් වුවද අවසන් කඩුලු 7 ම ලකුණු 105 කදී දවා ගැනීමට රොස්ටන් චේස් ප්‍රමුඛ බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන් සමත්වීම නිසා ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 400 කට ලකුණු 14 ක් අඩුවෙන් හෙවත් ලකුණු 386 කදී නිමාවට පත්විය.

ශ්‍රී ලංකා ඉනිම නිමාවට පත් කිරීමේදී තරගය ඇරැඹි පළමු පැයේදී ශතක ලාභී දිමුත් කරුණාරත්ව සහ අර්ධ ශතක ලාභී ධනංජය ද සිල්වාගේ කඩුලු දවා ගනිමින් නැවතත් තරගයට අවතීර්ණවීමට කොදෙව් කණ්ඩායම සමත්විය. මොවුන් දෙදෙනාට අමතරව තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් නම් කෙරුණු රමේෂ් මෙන්ඩිස්ද දිවා ආහාරයට පෙර දැවී යෑම මීට වඩා ලකුණු සංඛ්‍යාවක් කරා ශ්‍රී ලංකා පිලට යෑමට තිබූ අවස්ථාව අහිමිවීමට හේතු විය.

පිටියට පිවිසි අවස්ථාවේදී එතරම් විශ්වාසයකින් යුතුව පන්දුවට පහර දීමට අපොහොසත් වුවද ශ්‍රී ලංකා ඉනිමේ 8 වැනි පිතිකරුවා ලෙසින් දිනේෂ් චන්දිමාල් දැවී යන විට ලකුණු 45 ක් රැස් කරගෙන සිටියේය. වේග පන්දු යවන ෂෙනන් ගේබ්‍රියල් විසින් එවන ලද කෙටි පන්දු වැළකදී තරමක් අපහසුතාවයෙන් මුහුණ දුන්නද පිටියේ ස්ථාවරත්වය ගොඩ නඟා ගැනීමට චන්දිමාල් සමත්වූවේය. පසු පෙළ පිතිකරුවන්වද ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහර දීමට චන්දිමාල් දරන ලද උත්සාහයේදී එල්ල කරන ලද රිවර් ස්වීප් පහරක් වැරැදී යෑම නිසා අර්ධ ශතකයට ලකුණු 3 ක් තිබියදී චන්දිමාල් කඩුල්ල අහිමි කර ගත්තේය.

ඉනිමේ අවාසනාවන්තම දැවී යෑම ලෙස සටහන් වූයේ ධනංජය ද සිල්වාගේ දැවී යෑමය. ලකුණු 56 ක් ලබා සිටියදී ඉනිම ඇරඹූ ධනංජයට පිත්ත කඩුල්ල වැදීම (හිට් විකට්) හේතුවෙන් අද දිනයේදී රැස් කරගත හැකි වූයේ ලකුණු 5 ක් පමණි. ෂෙනන් ගේබ්‍රියල් එවන ලද පන්දු පසුපස පාදයේ ආරක්ෂිත පහරක් එල්ල කළද එය කඩුල්ල සොයා යන බවක් පෙනුණි. ඒ අවස්ථාවේදී සැණෙකින් පන්දුව වෙත හැරුණු ධනංජය පන්දුව කඩුල්ලෙන් පැත්තකට යැවීම වෙනුවෙන් පිත්ත හුවා දැක්වූවේය. පළමු වතාවේදී පන්දුව පිත්තේ නොවැදුණු හෙයින් දෙවැනි වරටත් පන්දුව පැත්තකට යැවීම වෙනුවෙන් ධනංජය ගත් උත්සාහයේදී පිත්තෙන් කඩුල්ල බිඳ වැටිණ.

සිදුවූ අතපසුවීම පිළිබඳව අදහාගත නොහැකි වූ දකුණත් පිතිකරුවා මඳ වේලාවක් පිත්ත තුරුළු කරන් නිසොල්මනේ සිටීමෙන් පිළිබිඹු වූයේ අතපසුවීඹ පිළිබඳව දැඩි පශ්චත්තාපයට පත්වූ බවකි. අකමැත්තෙන් වුවද ධනංජයගේ ඉනිම ලකුණු 61 කදී නිමාවට පත්වූයේ පන්දු 95 කට මුහුණ දීමෙන් පසුවය.

ඊයේ දිනයේදී සිය 13 වැනි ශතකය වාර්තා කරගත් නායක කරුණාරත්න අද දිනයේදී ලකුණු 150 පෙනි පෙනී දැවී ගියේය. දිගු ඉනිම් වලට නම් දරා සිටින දිමුත් අද දිනයේදී 7 වැනි වතාවටත් ලකුණු 140 සීමාව ඉක්මවා රැස් කර ගත්තේය. මිනිත්තු 434 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි දිමුත් ස්ටම්ප් කිරීමකට හසුව දැවී ගියේය. පහර එල්ල කරද්දී දිමුත්ගේ පාදය සීමා ඉරෙන් යන්තමින් ඉදිරියට ගොස් තිබියදී උපරිම ඵල නෙළා ගත් කඩුලු රකින ජොෂුවා ද සිල්වා  කඩුල්ල බිඳ දැම්මේය. මුහුණ දුන් 300 වැනි පන්දුවේදී දැවී ගිය දිමුත් තම ඉනිම හතරේ පහර 15 කින් වර්ණවත් කරගෙන සිටියේය.

ඉනිමේ අවසන් පිතිකරුවන් දෙදෙනා වුණු වමත් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය සහ ප්‍රවීන් ජයවික්‍රම එම කඩුල්ල වෙනුවෙන් ලකුණු 25 කින් ලකුණු පුවරුව පෝෂණය කළහ. වැඩි වගකීම ගනිමින් පන්දුවට පහර දුන් ඇඹුල්දෙණිය රොස්ටන් චේස් හමුවේ එල්ල කරන මනරම් හයේ පහර ශ්‍රී ලංකා කඳවුරෙන් වාර්තා වුණු එකම හයේ පහරද වූවේය.

ශ්‍රී ලංකා ඉනිම හමාර කිරීම වෙනුවෙන් වූ ඇඹුල්දෙණියගේ කඩුල්ල දවා ගැනීමත් සමඟ තෙවැනිවතාවටත් කඩුලු 5 ක් දවා ගැනීමට රොස්ටන් චේස් සමත්වූවේය. දකුණතින් පා දඟ පන්දු යවන චේස් ලකුණු 83 කට කඩුලු 5 දවා ගනිද්දී වමතින් දඟ පන්දු යැවූ ජොමෙල් වොරිකන් ලකුණු 87 කදී කඩුලු 3 ක් දවා ගත්තේය. හෙට (23 වැනිදා) තරගයේ තෙවැනි දිනයයි.

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee