slc
Home   |    News
නොවැම්බර් 25, 2021
පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

sinhala editor

Chamila Karawita reporting from Galle

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පස්වැනි දිනය දක්වා දිඟ හැරුණු පළමු තරගයේදී ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍යව පැවැතියේ ප්‍රතිවාදීන්ගේ කඩුලු 4 ක් දවා ගැනීම පමණි. එය අත්පත් කර ගැනීමේදී පස්වැනි දිනය කොදෙව්වන්ට පමණක්ම එරෙහි සටනක් නොවූවේය. ‘වැස්ස වළාහක දෙවියන්’ සමඟද ශ්‍රී ලංකාවට ඔට්ටුවීමට සිදුවිය. ඒ සියල්ල පරදවා ‘සෝබර්ස් – තිසේරා’ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 187 ක අති විශිෂ්ඨ ජයක් අද (25 දා) අත්කර ගත්තේය.

සැබැවින්ම එය ආශ්චර්යයකි. කොයි මොහොතේ හෝ පහළට ඇද හැළීමට මාන බලමින් උදෑසන සිටම වැහි වළාකුළින් බරව තිබූ ගාල්ල අහස් කුස, ලසිත් ඇඹුල්දෙණිය විසින් කොදෙව් ඉනිමේ අවසන් පිතිකරුවා වුණු ෂෙනන් ගේබ්‍රියල්ගේ කඩුල්ල දවා ගන්නා තෙක්ම කාරුණික වූවේය. කෙසේ වෙතත් ජයග්‍රහණය සමරා ක්‍රීඩකයින් පිටියෙන් ඉවතට ඒමට මත්තෙන්ම ගිගුරුම් සහිත වර්ෂාව ක්‍රීඩාංගණයට ඇද හැළුණේ ‘වැස්ස වළාහක දෙවියන්ද’ දිමුත් ඇතුළු පිරිවරේ ජයග්‍රහණයට ආශිර්වාදයක් වූ බවට ඉඟි ලබා දෙමිනි.

කෘමා බෝනාර් ශ්‍රී ලංකා ජයග්‍රහණය ප්‍රමාද කළ කොදෙව් ඉනිමේ ප්‍රධානියා විය. පන්දු 173 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි බෝනාර්, ලසිත් ඇඹුල්දෙණියගේ පස්වැනි කඩුල්ල වෙමින් ගේබ්‍රියල් දැවී යන විටත් ටෙස්ට් තරග දිවියේ තෙවැනි අර්ධ ශතකය (68) සම්පූර්ණ කර ගෙන සිටියේය. ලෝක ටෙස්ට් ශූරතාවලි ප්‍රසාද ලකුණු සටහනේ අංක 1 ස්ථානයට පැමිණීමට මාවත විවර කර දුන් මෙම ජයග්‍රහණයේදී කොදෙව් දෙවැනි ඉනිමද ලකුණු 160 දී නිමාවට පත්විය.

පස්වැනි දිනට අවතීර්ණ වද්දී කඩුලු 6 ක් දවා ගෙන සිටියද අවසන් කඩුලු 4 දවා ගැනීම සදහා පන්දුවාර 53.3 ක් යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සිදුවිය. තරග ආරම්භයේ සිට වඩාත් පරෙස්සම් සහගතව පන්දුවට පහර දුන් බෝනාර් සහ ජොෂුවා දා සිල්වා 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 100 ක සම්බන්ධතාවයක් එක් කළහ. ඒ අතරතුර දවා ගැනීම සඳහා මොවුන් දෙපළම අවස්ථාව බැගින් ලබා දුන් නමුත් පැතුම් නිස්සංක අතින් එම වටිනා උඩ පන්දු ගිලිහී ගියේය.

කොදෙව් දෙවැනි ඉනිමේ ඉදිරි පෙළ කඩුලු 4 ක් දවා ගත් රමේෂ් මෙන්ඩිස්ට අද දිනයේදී එකම කඩුල්ලක් හෝ දවා ගැනීමට නොහැකි විය. ජොෂුවා ද සිල්වා ලබා දුන් උඩ පන්දුව ලෙග් ස්ලිප් ස්ථානයේ සිටි පැතුම් නිස්සංක අතින් ගිලිහී යෑම නිසා පළමු වතාවට කඩුලු 5 ක් දවා ගැනීමට රමේෂ් මෙන්ඩිස්ට තිබූ හොඳම අවස්ථාව අහිමි වූවේය.

එපමණක් නොව ලකුණු 23 දී නිමාවට පත්වන්නට තිබූ ජොෂුවාගේ ඉනිම තෙවැනි අර්ධ ශතකය දක්වා ඉහළ දමා ගැනීමට හැකියාව ලැබීමත් සහ තරගයේ ජයග්‍රහණය පමා වීමටත් හේතුකාරක විය. දිනයේ දැවී ගිය කඩුලු 4 න් 3 ක් දවා ගත් ලසිත් ඇඹුල්දෙණිය සිව්වැනි වතාවටත් කඩුලු 5 ක් දවා ගත්තේය. මෙම තරගයේදී කොදෙව් පිලේ දැවී ගිය කඩුලු 20 න් 19 ක්ම දඟ පන්දු යවන්නන් විසින් දවා ගනිද්දී ඉන් 18 ක් ප්‍රධානම දඟ පන්දු යවන්නන් තිදෙනා වන සහ මෙන්ඩිස් (7), ඇඹුල්දෙණිය (6) සහ ජයවික්‍රම (5) බෙදා ගත්හ.

එහෙත් දිවා ආහාරයට මිනිත්තු 25 කට පමණ පෙර ජොෂුවාව දවා ගැනීමත් සමඟ යළිත් තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉතිරි කඩුලු 3 ම හෝරාවකට ආසන්න කාලයක් ඇතුළතදී දවා ගත්හ.

‘සෝබර්ස් – තිසේරා’ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ශ්‍රී ලංකා පිල පෙරමුණ ගෙන සිටියි. දෙරට අතර ක්‍රියාත්මක දෙවැනි ටෙස්ට් තරගය නොවැම්බර් 29 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest