slc
Home   |    News
නොවැම්බර් 24, 2021
ශ්‍රී ලංකාව ඉක්මනින් ලකුණු රැස් කරයි

sinhala editor

Chamila Karawita reporting from Galle

පන්දුවාර 59 ක් තරගයට අහිමි වුණු පළමු ටෙස්ට් තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට අභියෝගාත්මක ඉලක්කයක් ලබා දීමේ අරමුණින් පන්දුවට පහර දෙන දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා පිතිකරුවෝ පළමු ඉනිමට වඩා දෙවැනි ඉනිමේ ලකුණු ලබා ගැනීම ඉක්මන් කළහ. පන්දුවාරයකට ලකුණු 4 කට ආසන්න වේගයක් (3.56 ක්) රඳවා ගනිමින් පන්දුවට පහර දුන් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස් දිවා විවේකය සඳහා තරගය නිමා කරන විට සිව්වැනි ඉනිමේ අභියෝගය ලකුණු 240 දක්වා ඉහළ දැමූහ.

වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා අද දිනයේදීද පන්දුවාර 7 ක් අහිමි වූ අතර එය තෙවැනි දිනයේදී අහිමිවූ පන්දු වාර 52 ත් සමඟ සමස්ථ තරගයටම පන්දුවාර 59 ක් අහිමිව තිබේ. ටෙස්ට් ලෝක ශූරතාවලියේදී වැඩි ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීම සඳහා හොඳම අවස්ථාවක් නිර්මාණය වී තිබෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලේ අවාසියට තිබෙන එකම කරුණ වන්නේද අයහපත් කාලගුණය වේ. ඒ පිළිබඳව හොඳින්ම දත් ශ්‍රී ලංකා පිතිකරුවෝ දිවා ආහාරයට තරගය නතර කරද්දී කඩුලු 2 ක් දැවී ලකුණු 84 ක් ලබා සිටිති.

තරගයේ එකම ශතක ලාභියා වූ දිමුත් කරුණාරත්න දෙවැනි ඉනිමේදීද සාර්ථකම වෙමින් තරමක් ආක්‍රමණශීලී පිති ප්‍රහාරයක නිරත වූවේය. දිවා ආහාරය සඳහා තරගය නිමා කරන විට පන්දු 65 කට මුහුණ දුන් ශ්‍රී ලංකා නායකයා ලකුණු 42 ක් ලබා සිටියේය. ඔහුට අනගි සහායක් ලබා දුන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 16 ක් ලබා සිටියේය.

පා ඉන්න දෙසට වැඩි වශයෙන් පන්දුව යැවීමට රුචියක් දැරූ දිමුත් ලකුණු 34 ක් ලබා සිටියදී දවා ගැනීමට හොඳම අවස්ථාවක් ලැබුණත් විනිසුරු විමසීමේ තීරණය අභියෝගයට ලක් නොකිරීම නිසා තවදුරටත් පිටියේ රැඳී සිටීමට වාසනාවන්ත විය. රකීම් කෝන්වෝල් විසින් එවන ලද පන්දුවට ස්වීප් පහරක් එල්ල කිරීමට යෑමේදී එය ඉදිරි පාදයේ වැදී කරන ලද ඉල්ලීම රුචිර පල්ලයගුරුගේ මහතා විසින් නිෂ්ප්‍රභා කර සිටියේය. එය කඩුල්ල තුළ පතිත වූ පන්දුවක්ද යන්න කොදෙව් නායකයා විසින් කඩුලු රකින්නාගෙන් කරන ලද විමසීමේදී ජොෂුවා දා සිල්වා එයට ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා කෝන්වෝල්ට කඩුල්ල දවා ගැනීමට තිබූ අවස්ථාව අහිමිවූවේය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දින උදෑසනම බටහිර ඉන්දීය කොදෙව් පිලේ අවසන් කඩුල්ල දවා ගැනීමට ප්‍රවීන් ජයවික්‍රම සමත්වීමත් සමඟ ලකුණු 156 කින් පළමු ඉනිම පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවිය.

අවසන් වරට 2020 මාර්තු මස 06 වැනි දින පල්ලකැලේ පැවැති ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අවසන් විස්සයි-20 තරගයෙන් පසු ගෙවී ගිය දින 628 කාලයකට පසු ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩාංගණයට ගොස් නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට උදාවී තිබෙන මෙම තරගාවලියේදී ෂෙනන් ගේබ්‍රියල්ගෙ කඩුල්ල දවා ගැනීමත් සමඟ ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට ප්‍රවීන් ජයවික්‍රම සමත්විය.

බලාපොරොත්තු වූ පරිදිම දිනය ආරම්භයේ සිටම නව පන්දුව ලබා ගැනීමට ශ්‍රී ලංකා නායකයා තීරණය කළද නව පන්දුවේ වගකීම හිමිවූයේ වමත් දඟ පන්දු යවන්නන් දෙදෙනාටය. ඒ අතරින් පෙරමුණ ගත් ආධුනික වමතා, ජයවික්‍රම ෂෙනන් ගේබ්‍රියල්ගේ කඩුල්ල දවා ගනිමින් සිය පන්දු යැවීම ලකුණු 40 කට කඩුලු 4 ක් ලෙසින් සටහන් කර ගත්තේය. ඒ අනුව කොදෙව් ඉනිමේ දැවී ගිය කඩුලු 10 න් කඩුලු 9 ක්ම දඟ පන්දු යවන්නන් විසින් දවා ගැනීම කැපී පෙනුණි. අද දිනයේදී කොදෙව් පිලට එකතු කර ගත හැකි වූයේ ලකුණු 06 ක් පමණක් වන අතර යොමුවුණු පන්දු 29 න් 18 ක්ම ජොෂුවා දා සිල්වා මුහුණ දුන්නේය. නොදැවී සිය අන්තය ආරක්ෂා කරගන්නා විට ජොෂුවා පන්දු 94 කදී ලබා සිටියේ ලකුණු 15 ක් පමණි.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest