slc
logo
Home   |    News
නොවැම්බර් 21, 2021
ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවකට මුල පුරයි

sinhala editor

By Chamila Karawita reporting form Galle

දඟ පන්දු යවන්නන්ගේ පාරාදීසයක් බඳු ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (21 දා) බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ඇරැඹි පළමු ටෙස්ට් තරගයේ දිවා ආහාරය සඳහා තරගය නිමා කරන විට මන්දගාමී වුවත් සාර්ථක අඩිතාලමක් එක් කිරීමට ආරම්භක පිතිකරුවෝ සමත්වූහ. උදෑසන වරුව සඳහා වෙන්වූ පන්දුවාර 27 දී  ශ්‍රී ලංකාව ලකුණු 61 ක් ලබා සිටින්නේ කිසිවකු නොදැවීය.

ඒ අතරින් ලකුණු 32 ක් ලබා ගත් නායක දිමුත් කරුණාරත්න වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියේය. පන්දු 75 කදී ලබාගත් එම ඉනිම මනරම් කවර් ඩ්‍රයිව් පහරකින් සහ පුල් පහරකින් ලබාගත් හතරේ පහර 2 ඇතුළුව හතරේ පහර 3 ක් එල්ල කර තිබුණේය. ළහිරු තිරිමාන්න නොමැතිවීම නිසා පිතිකරණ අනුපිළිවෙළේ උසස්වීමක් ලබා සිටින පැතුම් නිස්සංක නායකයාට අනගි සහායක් ලබා දෙමින් ලකුණු 25 ක් ලබා සිටියි. පන්දු 90 කට මුහුණ දී තිබූ නිස්සංක සිය ඉනිමට හතරේ පහර 2කින් වර්ණවත් කර ගත්තේය.

පළමු කඩුල්ලේ සම්බන්ධතාවය බිඳ දැමීම සඳහා කොදෙව් නායක ක්‍රේග් බ්‍රැත්වයිට් පන්දු යවන්නන් හය දෙනෙකු යොදා ගත් අතර විනිසුරු විමසීම වෙනුවෙන් ඉනිමකට හිමි අවස්ථා 3 න් 2 ක්ද අහිමික කරගත්තේය. මෙම තරගයේදී කොදෙව් පිල වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගත් ජෙරමි සොලසානෝට නම් පළමු දිනය සුභදායක එකක් නොවීය. පිතිකරු තුළට දඟ කැවී එන පන්දුවට උඩ පන්දුවක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සොලසානෝව ෂෝට් ලෙග් ස්ථානයේ රඳවා සිටියදී දිමුත් කරුණාරත්න එල්ල කරන පහර සොලසානෝගේ හිසේ වැදුණා පමණක් නොව ඔහුව වහාම රෝහල් ගත කිරීමට සිදුවිය. ජොමෙන් වොරිකන් තණතීරුවේ මැද වැදී ආ දුර්වල පන්දුවට එල්ල කරන ලද වේගවත් පහර සොලසානෝගේ හිස් ආවරණයේ වැදුණද පහරේ වේගවත් භාවය හේතුවෙන් ඔහු බිම ඇද වැටිණ. කෙසේ වෙතත් වෛද්‍ය කණ්ඩායමේ සහයෝගය ඇතිව සොලසානෝව රෝහල් ගත කිරීමට පියවර ගත් අතර එහිදී ඔහු ස්කෑන් පරීක්ෂණයකට භාජනය වී තිබේ.

තරගයේ තීරණයට තීරණාත්මකම සාධකයක් වන පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා නායකයා වාසනාව උදා කරගත්තේ කාසියේ වාසිය දිනා ගැනීම නිසාය. දඟ පන්දු යවන්නන්ට වඩාත් උචිත තණතීරුවේදී 6 වැනි පන්දුවාරයේ සිට දඟ පන්දු යවන්නන් උපයෝගී කර ගැනීමට කොදෙව් නායකයා තීරණය කළේය. එහිදී පන්දුව රකීම් කෝන්වෝල්ට ලබා දුන් අතර නව පන්දුවෙන් වුවද ඉතා හොඳ දඟ කැවීමක් ලබා ගැනීමට ඔහු සමත්විය.

ලකුණු 14 ක් ලබා සිටි දිමුත් කරුණාරත්නගේ පිත්තේ පිටත දාරයේ වැදුණු පන්දුව ස්ලිප් ස්ථානයේ පන්දු රැකි ජෙරමි බ්ලැක්වුඩ් වෙත උඩ පන්දුවක් ලෙසින් ඇදී ගියද එය ගිලිහී යෑමෙන් තවදුරටත් පිටියේ රැඳී සිටීමට ශ්‍රී ලංකා නායකයා වාසනාවන්ත වූවේය.

තරගයට පෙර ශ්‍රී ලංකා නායකයා සඳහන් කළ ක්‍රීඩකයින් එකොළොස් දෙනාම අද තරගයට ක්‍රීඩා කරද්දී දෙපිළම ප්‍රධාන දඟ පන්දු යවන්නන් හය දෙනා බැගින් අවතීර්ණ වී සිටීම කැපී පෙනෙයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් වමත් දඟ පන්දු යවන්නන් දෙදෙනා වන ලසිත් ඇඹුල්දෙණිය සහ ප්‍රවීන් ජයවික්‍රමද ක්‍රීඩා කරද්දී දකුණත් පිට දඟ පන්දු යවන්නා ලෙස රමේෂ් මෙන්ඩිස් කණ්ඩායමට පැමිණ  සිටියි. ඔවුන්ට අමතරව දඟ පන්දු යවන්නකු ලෙස ධනංජය ද සිල්වාවද උපයෝගී කර ගැනීමට ශ්‍රී ලංකා නායකයාට අවස්ථාව උදාවී තිබේ. කොදෙව් කණ්ඩායම උත්තුංග දේහදාරී රකීම් කෝන්වෝල්, රොස්ටන් චේස් සහ ජොමෙල් වොරිකන් සිය ප්‍රධාන දඟ පන්දු යවන්නන් ලෙසින් යොදා ගෙන තිබේ.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව පන්දුවාර 27 කදී ලකුණු 61 යි – (දිමුත් කරුණාරත්න 32*, පැතුම් නිස්සංක 25*)

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee