ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ 2026 වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ දෙදින ක්‍රිකට් තරගාවලියේ සම ශූරයන් බවට බී.ආර්.සී. සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් හා මලල ක්‍රීඩා සමාජ කණ්ඩායම් අද (06) පත්වූහ. කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගය දෙදින අවසානයේ ප්‍රතිඵලයකින් තොරව නිමාවට පත්වීම හේතුවෙන් කණ්ඩායම් දෙකම සම ශූරයන් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.
ඒ අනුව අනුශූරතාවට පිරිනැමෙන ලක්ෂ 4 ක මුදලත් ශූරතාවට පිදෙන ලකුණු 05 කට මුදලත් දෙපිළ අතර සමව බෙදී යනු ඇත.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් බී.ආර්.සී. කණ්ඩායම පන්දුවාර 100.1ක් තුළ කඩුලු 8ක් දැවී ලකුණු 402ක් රැස් කරමින් ප්‍රබල පළමු ඉනිමක් ගොඩනැගීය.
එහිදී තරුෂ්ක අෂෙල් විශිෂ්ට ශතකයක් වාර්තා කරමින් පන්දු 182කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 8ක් සමඟ ලකුණු 144ක් රැස් කළේය. යසිරු රොද්‍රිගෝ ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 193කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 93ක් ලබා ගත් අතර, ලිත්ම පෙරේරා වේගවත් ලකුණු 62ක් ද, ඉසුරු ප්‍රනාන්දු ලකුණු 39ක් ද රැස් කළහ.
බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම වෙනුවෙන් දුලජ් සමුදිත ලකුණු 53කට කඩුලු 3ක් බිඳ හෙළූ අතර, කවීෂ පියුමාල් සහ තරිඳු නිර්මාල් ගුරුගේ කඩුලු 2 බැගින් දවා ගත්හ.
ලකුණු 403ක ඉලක්කයක් හඹා ගිය බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම දෙවැනි දිනයේ තරගය අවසන් වන විට පන්දුවාර 79ක් තුළ කඩුලු 7ක් දැවී ලකුණු 250ක් ලබා සිටියේය.
එහිදී දිනෙත් පහසර පන්දු 169කදී හතරේ පහර 8ක් සමඟ නොදැවී ලකුණු 57ක් රැස් කරමින් ඉනිම ගොඩනැගූ අතර, නිසල අබේරත්න පන්දු 76කදී හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 54ක් ලබා ගත්තේය. මීට අමතරව මිනෙත් ප්‍රේමරත්න ලකුණු 34ක්, හසිත අමරසිංහ ලකුණු 32ක් සහ අසිත වන්නිනායක ලකුණු 29ක් රැස් කළහ.
බී.ආර්.සී. කණ්ඩායම වෙනුවෙන් සිතුක ගුණවර්ධන ලකුණු 105කට කඩුලු 3ක් දවා ගත් අතර, තරුෂ්ක අෂෙල් සහ විග්නේෂ්වරන් ආකාශ් කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වූහ.
තරගය දෙදින අවසානයේ ප්‍රතිඵලයකින් තොරව අවසන් වූ බැවින් බී.ආර්.සී. සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් හා මලල ක්‍රීඩා සමාජය 2026 වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ දෙදින ක්‍රිකට් තරගාවලියේ සම ශූරයන් ලෙස කිරුළු පැළඳූහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දේශීය තරගාවලි කමිටුවේ සාමාජික ටරින්ද්‍ර කලුපෙරුම සහ ජාතික ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්න මහත්වරුන්ගේ පැවැති ජයසංඛේත ප්‍රධානයේදී අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් බී.ආර්.සී. කණ්ඩායමේ තරුෂ්ක අෂේල් සම්මාන දිනාගත් අතර ඔහුට කුසලානට අමතරව මුදලින් රු. 75,000 ක්ද පිරිනැමිණ.
මීට අමතරව තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා සහ පිතිකරුවන් ලෙසින් පිළිවෙළින් එස්.එස්.සී. කණ්ඩායමේ මල්ෂ ප්‍රනාන්දු සහ කෝල්ට්ස් කණ්ඩායමේ හිරාන් ජයසුන්දර සම්මාන දිනාගත් අතර ඔවුන්ට එම කුසලාන වලට අමතරව රු. ලක්ෂය බැගින් පිරිනැමිණ.
මෙම තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා සම්මානය දිනා ගන්නා ලද්දේ මුවර්ස් ක්‍රීඩා සමාජයේ සඳරු මල්ෂාන් වන අතර ඔහුට එම කුසලාන සමඟ මුදලින් රු. ලක්ෂ එකහමාරක් පිරිනැමිණ.
ලකුණු සාරාංශය
බී.ආර්.සී. – පළමු ඉනිම: 402/8 (පන්දුවාර 100.1)
තරුෂ්ක අෂෙල් 144, යසිරු රොද්‍රිගෝ 93, ලිත්ම පෙරේරා 62, ඉසුරු ප්‍රනාන්දු 39, දුලාජ් සමුදිත 53/3, කවීෂ පියුමාල් 61/2, තරිඳු නිර්මාල් ගුරුගේ 117/2
බ්ලූම්ෆීල්ඩ් – පළමු ඉනිම: 250/7 (පන්දුවාර 79)
දිනෙත් පහසර නොදැවී 57, නිසල අබේරත්න 54, මිනෙත් ප්‍රේමරත්න 34, හසිත අමරසිංහ 32, අසිත වන්නිනායක 29, සිතුක ගුණවර්ධන 105/3, තරුෂ්ක අෂෙල් 19/2, විග්නේෂ්වරන් ආකාශ් 80/2






