slc
logo
Home   |    News
නොවැම්බර් 9, 2021
LPL ක්‍රීඩක තෝරාගැන්ම තව හෝරා කීපයකින්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අභිමානවත්ව දෙවැනි වරට පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය’ හෙවත් ‘LPL – 2021’ තරගාවලිය සඳහා වන ක්‍රීඩක තෝරා ගැනීමේ ක්‍රියාවලිය (Player draft) අද රාත්‍රී 8.00 ට ආරම්භ වේ. ශ්‍රී ලාංකිකයින්ට මෙන්ම එතෙර ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට නවමු අත්දැකීමක් ලබා දෙමින් පැවැති පළමු තරගාවලියේ පරිදිම මෙවර තරගාවලියත් කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙනු ඇත. මෙම ක්‍රීඩක තෝරා ගැනීම අන්තර්ජාල සංවාද මාධ්‍යයක භාවිතයෙන් සිදුකෙරෙනු ඇත.  

ක්‍රීඩක ‘වෙන්දේසිය’ ලෙසින් බොහෝ දෙනා හඳුන්වනු ලැබුවද සැබැවින්ම මෙය අයි.පී.එල් තරගාවලියේ ආකාරයේ ‘ලංසු තැබීමකින්’ තොරව සිදුවේ. විදේශීය ක්‍රීඩකයින් 300 දෙනෙකු සහ දේශීය ක්‍රීඩකයින් 300 දෙනෙකුගෙන් සමන්විත සමස්ථ ක්‍රීඩකයින් 600 දෙනෙකු ඇතුළත් ක්‍රීඩක කෙටුම්පත් කිරීමක් (Player draft) ඔස්සේ මෙය පැවැත්වෙනු ඇත. ඒ අනුව ඒ ඒ කාණ්ඩයන් වලට ඇතුළත් කර තිබෙන ක්‍රීඩකයින්ව තරගාවලි සංවිධායකයින් විසින් ලබා දී තිබෙන තෝරා ගැනීමේ අනුපිළිවෙළක් අනුව තෝරා ගැනීම සඳහා කණ්ඩායම් හිමිකාරීත්වයට අවස්ථාව උදාවේ.

ක්‍රීඩකයින් තේරීම

මෙය ප්‍රධාන වශයෙන් දේශීය සහ විදේශීය වශයෙන් කොටස් දෙකකට බෙදෙන වට 20 කින් සමන්විත වේ. විදෙස් ක්‍රීඩකයින්ගේ කාණ්ඩය ක්‍රීඩකයින් 6 දෙනෙකුගෙන් සහ දේශීය කාණ්ඩය ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් වශයෙන් ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත විය යුතුය. මෙහිදී හිමිකරුවන් මතකයේ තබා ගත යුතු ප්‍රධානම කරුණ වන්නේ ක්‍රීඩකයින් තෝරා ගැනීමේ ක්‍රියාවලියේදී එම අවස්ථාවට හිමි වටය ප්‍රතික්ෂේප කිරීමේ අවස්ථාවක් නොමැති වීමය.

එසේම ක්‍රීඩකයින් තෝරා ගැනීමේ ක්‍රියාවලිය සිදුවන අවස්ථාවේදී අදාළ කාණ්ඩයට යටතේ තෝරාගැනීමට හැකියාවක් පවතින්නේ එම කාණ්ඩයට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් පමණි. වෙනත් කාණ්ඩවලට ඇතුළත් ක්‍රීඩකයින් අදාළ කාණ්ඩය යටතේ ලබා ගැනීමේ හැකියාව කණ්ඩායම් හිමිකාරීත්වයට නොමැත. එමෙන්ම කාණ්ඩයකට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින්ගේ කිසිම හේතුවක් මත ඔවුන්ගේ වටිනාකමෙහි වෙනසක් සිදු කිරීමට හිමිකාරීත්වයට කිසිම අයිතිවාසිකමක් නොමැත.

ක්‍රීඩකයින් කාණ්ඩ ගත කිරීම් සියල්ල සිදු කරනු ලබන්නේ තරගාවලි මෙහෙයවනු ලබන අයි.පී.ජී. (IPG) සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පිහිටුවන ලද LPL තරගාවලි කමිටුවක් විසිනි. මෙම කාණ්ඩ ගත කිරීම් සියල්ල ක්‍රීඩකයින් විසින් ලියාපදිංචි කිරීමේදී ඉදිරිපත් කරන ලද තොරතුරු වලට අනුකූලව සිදු කරනු ලබයි. ඒ පිළිබඳ සියළු තොරතුරු ක්‍රීඩක තෝරා ගැනීමට පෙර කණ්ඩායම් වෙත ලබා දීම සිදුකරනු ලබයි.

ක්‍රීඩකයින් රඳවා තබා ගැනීම

ගිය වසරේ ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයින් අතුරින් උපරිම වශයෙන් ක්‍රීඩකයින් 8 දෙනෙකු කණ්ඩායමේ හිමිකාරීත්වයේ අභිමතය පරිදි කණ්ඩායමේ රඳවා තබා ගැනීමට අවස්ථාව පවතියි. දේශීය 4 ක් සහ විදේශී 4 ක් වශයෙන් රඳවා තබා ගත හැකි වන අතර එහිදී සුවිශේෂී (Icon) සහ ඩයමන්ඩ් (Diamond) කාණ්ඩයේ ක්‍රීඩකයින් එක බැගිනුත් සහ කණ්ඩායමට ක්‍රීඩා කරන ලද ඕනෑම ක්‍රීඩකයින් දෙදෙනෙකු වශයෙනුත් රඳවා ගැනීමේ අවස්ථාව හිමිවේ. එහිදී මුල් කාණ්ඩවල ක්‍රීඩකයින් තෝරාගැනීමේ හැකියාව පවතින්නේ මෙම ක්‍රීඩක තෝරා ගැනීමේදී තෝරා නොගන්නේ නම් පමණි. කෙසේ වෙතත් මෙවර තරගාවලියේදී මූලික කාණ්ඩයට නම් කර සිටින ක්‍රීඩකයකු එම කාණ්ඩය යටතේ කණ්ඩායම් හිමිකාරීත්වය විසින් තෝරා නොගත හොත් ඔහුට  එක් කාණ්ඩයක් හෙවත් ඊට පහළ කාණ්ඩයට යෑමේ අවස්ථාව ලබාදීමට තරග සංවිධායකයින් අවස්ථාව ලබා දී තිබේ.

කිසියම් කණ්ඩායමක් පසුගිය වර ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයින් රඳවා තබා ගැනීමට අදහසක් නොමැත්තේ නම් කණ්ඩායම් හිමිකාරීත්වය විසින් අවම වශයෙන් වෙන්දේසිය දිනට දින 3 කට පෙර තරගාවලි බලධාරීන්ට දැනුම් දී තිබිය යුතු වේ. ඒ අනුව රඳවා තබා ගැනීමට පියවර නොගනනු ලබන සෑම ක්‍රීඩකයකුම ක්‍රීඩක තෝරා ගැනීමේ ක්‍රියාවලිය සඳහා ඉදිරිපත් කෙරෙනු ඇත.

ක්‍රීඩකයින් කාණ්ඩගත කොට ඇති ආකාරය

ප්‍රධාන වශයෙන්ම ක්‍රීඩකයින් කාණ්ඩ 4 ක් යටතේ වර්ග කර තිබෙන අතර ඊට අමතරව නැගී එන සහ අතිරේක වශයෙන් කාණ්ඩ දෙකකට ක්‍රීඩකයින් ඇතුළත් කර සිටිති.

කාණ්ඩයදේශීයවිදේශීයඑකතුව
සුවිශේෂී ක්‍රීඩකයින් (Icon Player)112
දියමන්ති ක්‍රීඩකයින්  (Diamond Player)    112
රන් ක්‍රීඩකයා (Gold Player)336
ක්ලැසික් ක්‍රීඩකයා (Classic Player)              314
නැගී එන ක්‍රීඩකයින් (Emerging Player)22
දේශීය අතිරේක (Supplementary)44
මුළු එකතුව14620

පළමු වට දෙකම සුවිශේෂී ක්‍රීඩකයින් (Icon) තේරීමේ කාණ්ඩයේ දේශීය (Gold Local) සහ විදේශීය (Gold Overseas) ක්‍රීඩකයින් තේරීම වෙනුවෙන් පැවැත්වෙන අතර අනතුරුව ඩයමන්ඩ් (Diamond)  කාණ්ඩයේ දේශීය සහ විදේශීය ක්‍රීඩකයින් තේරීම සිදු කරනු ඇත. එහිදී සුවිශේෂී සහ ඩයමන්ඩ් (Diamond)  කාණ්ඩවල දේශීය ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ඒ ඒ කාණ්ඩවලට ඇතුළත් කරන ලද ලැයිස්තුවෙන් පමණක් ක්‍රීඩකයින් රඳවා ගැනීම හෝ තෝරා ගැනීම සිදුකළ හැකිය.

සුවිශේෂී (Icon) සහ ඩයමන්ඩ් (Diamond) කාණ්ඩයට ඇතුළත් විදේශීය ක්‍රීඩකයින් දෙදෙනා ක්‍රීඩක තෝරා ගැනීම වෙනුවෙන් වූ ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කර තිබෙන ක්‍රීඩක ලැයිස්තුවට හෝ ඊට පිටතින් තෝරා ගැනීමේ හැකියාව හිමිකාරීත්වයට පවතියි. එහිදී  පිටතින් ක්‍රීඩකයින් රඳවා ගැනීමට කණ්ඩායම් හිමිකාරීත්වය බලාපොරොත්තු වන්නේ නම් ඔවුන් පිළිබඳ වූ තොරතුරු සහ සහභාගිත්වය පිළිබඳව තහවුරු කරන ලද සාක්ෂි සමඟ තරග බලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතු වේ. මේ සඳහා වන මූලික සුදුසුකම ලෙසින් තමා පුරවැසි භාවය දරනු ලබන රටේ ජාතික කණ්ඩායම නියෝජනය කිරීම හෝ එරටේ ක්‍රිකට් ක්‍රීඩාව කරවනු ලබන ආයතනයේ දැනට ලියාපදිංචිව සිටින ක්‍රීඩකයකු විය යුතුය.

එම වට දෙකෙන් පසු පිළිවෙළින් ගෝල්ඩ් (Gold) කාණ්ඩය යටතේ විදේශීය ක්‍රීඩකයින් තිදෙනකු සහ දේශීය ක්‍රීඩකයින් තිදෙනෙකු තෝරා ගැනීමේ අවස්ථාව හිමිවේ. එහිදී ක්‍රීඩකයින්ට පිරිනමනු ලබන මූලම්‍යය අගය අනුව ක්‍රීඩකයින් කාණ්ඩ ගත කර දක්වා තිබේ. Classic කාණ්ඩය යටතේ විදේශීය ක්‍රීඩකයකුට පමණක් අවස්ථාව උදාවද්දී දේශීය ක්‍රීඩකයින් තිදෙනෙකු තෝරා ගැනීම සිදුකරනු ඇත.

මෙහිදී සැලකිල්ලට ගනු ලැබිය යුතු කරුණක් වන්නේ සුවිශේෂී (Icon) සහ ඩයමන්ඩ් (Diamond) කාණ්ඩ හැරුණු විට ඉතිරි කාණ්ඩ සඳහා තෝරා ගනු ලබන විදේශීය ක්‍රීඩකයින් අවම තරමින් ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටක් හෝ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සහාකාර සාමාජිකත්වය හිමි රටක් විසින් සංවිධානය කරනු ලබන විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියකට ක්‍රීඩා කර තිබිය යුතුය.

නැගී එන තරුණ ක්‍රීඩකයින් (Emerging) දෙදෙනකු තෝරා ගැනීම සඳහා වන වටය 15 වැනි සහ 16 වැනි වටවලදී සිදුකෙරෙන අතර ඒ සඳහා දේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකුට අවස්ථාව හිමිවේ. ඔවුන් 2021 වසරේ දෙසැම්බර් මස 01 වැනිදා වන විට වයස අවුරුදු 23 නොඉක්මවිය යුතු වේ. එමෙන්ම ඔවුන් කිසිදු ආකාරයේ අන්තර්ජාතික තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ නොතිබිය යුතුය. එසේ වුවද 2021 වසරේ ජනවාරි 01 වැනි දින සිට ජාතික සංචිතයට තේරී පත්වී ඇතත් එම කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව නොලද ක්‍රීඩකයකුට මෙම කරුණ අදාළ නොවනු ඇත.

ක්‍රීඩකයින් තෝරා ගැනීමේ ක්‍රියාවලියේ අවසන් තරග වටය එළැඹෙන්නේ සප්ලිමෙන්ටරි (Supplementary) හෙවත් අතිරේක කාණ්ඩය වේ. එම කාණ්ඩය යටතේ ක්‍රීඩකයින් සිව් දෙනෙකු තෝරා ගැනීමට හැකියාව උදාවන අතර ඔවුන් ආබාධ තත්ත්වයන්, කොවිඩ් අවධානම් තත්ත්වයන් සහ හදිසි ඉවත්වීම් වැනි අවස්ථාවලදී සිදුවන ක්‍රීඩක පුරප්පාඩුවන් වලදී එම හිදැස පිරවීමට මෙම ක්‍රීඩකයින් යොදා ගැනීමේ අවස්ථාව කණ්ඩායම් හිමිකාරීත්වයට උදාවේ.

තෝරා ගැනීමේ පිළිවෙළ

අහඹු ලෙස සිදුකරන තෝරා ගැනීමකින් අනතුරුව පළමු වටයේ ක්‍රීඩකයින් තේරීමේ ක්‍රියාවලියේ අනුපිළිවෙළ තෝරා ගනු ලැබෙන අතර එය ක්‍රීඩක තෝරා ගැනීමට පෙර ප්‍රකාශයට පත් කරනු ඇත. ඒ අනුව පළමු වටයේ අවසන් අවස්ථාව හිමිවූ කණ්ඩායම ඊළඟ වටයේ සිට මුල් අවස්ථාව හිමිවෙමින් පසුපසට ගමන් කරනු ඇත. ඒ අනුව ඉතිරි වට 18 ම පැවැත්වෙනු ඇත.

ක්‍රීඩකයින් තෝරා ගැනීම සඳහා ඒ ඒ කාණ්ඩවල ප්‍රමුඛතාවය අනුව මිනිත්තු 2 සිට මිනිත්තු එකහමාරක කාලයක් හිමි වන අතර එම කාල සීමාවේදී ක්‍රීඩකයකු තෝරා ගැනීමට අසමත් වන්නේ නම් ඒ අවස්ථාව ඊළඟට තෝරා ගැනීමට සූදානමින් සිටින කණ්ඩායමට හිමිවේ. එම වටය අවසන් වූ වහාම හිමිවන අතිරේක කාල සීමාවේදී අසමත්වූ කණ්ඩායමට අවශ්‍ය ක්‍රීඩකයා තෝරා ගැනීමේ අවස්ථාව උදාවේ. ඒ හරුණු කොට වෙන්දේසිය අතරතුර පැන නගිනු ලබන සියළු ගැටලුකාරී තත්ත්වයන්හි අවසන් තීරණ ගැනීමේ සර්ව බලය  තරගාවලි බලධාරීන් සතු වේ.

අවසන් 11 දෙනාගේ සංයුතිය

එක් තරගයකට ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩකයින් 11 දෙනාගෙන් විදේශීය ක්‍රීඩකයින් උපරිම ක්‍රීඩකයෙන් සිවු දෙනෙකු වන අතර අවමය ක්‍රීඩකයින් දෙදෙනෙකු දක්වා ක්‍රීඩා කරවීමට කණ්ඩායම් කළමනාකාරීත්වයට අවස්ථාව හිමිවේ.

මෙම තරගාවලිය දෙසැම්බර් මස 05 වැනිදා සිට 23 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණවලදී පැවැත්වෙන අතර මූලික වටයේ තරග 20 කොළඹදීද අවසන් පූර්ව ඇතුළු අවසන් මහ තරග වටය හම්බන්තොටදීද පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]

Pin It on Pinterest

USD United States (US) dollar