slc
logo
Home   |    News
ජනවාරි 30, 2022
ක්‍රීඩා ඇමැතිවරයාගෙන් ක්‍රිකට් ආයතනයට ‘මල් මිටක්’

sinhala editor

By Chamila Karawita

සෑම අංශයක් පිළිබඳවම අවධානය යොමු කරමින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම උදෙසා ශම්මි සිල්වා මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය ගනු ලබන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසින් වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව ජයග්‍රහණ කරා යෑමට හැකියාව ලැබී තිබෙන බව පවසා සිටින ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, ඒ පිළිබඳව ක්‍රිකට් සභාපතිවරයා ඇතිළු පිරිස අගය කළ යුතු බවද සඳහන් කර සිටියේය.

රට පුරා ක්‍රිකට් නැංවීම උදෙසා පාසල් 650 කට මිලියන ගණනක් වටිනා ක්‍රිකට් ක්‍රීඩා උපකරණ බෙදාදීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයකදී ක්‍රීඩා අමාත්‍යවරයා ඉහත අදහස් පළ කර සිටියේය.

ඡන්ද අපේක්ෂාවෙන් පමණක් ක්‍රිකට් ආයතනය උදව් කරන බවට තිබුණු චෝදනා සියල්ල ශම්මි සිල්වා මහතාගේ පරිපාලනය යටතේ වෙනස්වී තිබෙන බවද සඳහන් කර සිටි ක්‍රීඩා අමාත්‍යවරයා  ක්‍රිකට් ක්‍රීඩාවේ නියුතු වූවන්ට පමණක් උදව් කිරීමට මැදිහත් වී තිබෙන බවද සඳහන් කර සිටියේය.

“අද ශම්මි සිල්වා මහතා ඇතුළු පාලක මණ්ඩලය ඉතාමත් හොඳට සියළු අංශ පිළිබඳව අවධානය යොමු කරලා වැඩ කටයුතු සිදුකරගෙන යනවා. පාසල් අංශය, පුහුණු අංශය වගේම පරිපාලනය සියල්ල හොඳින් සම්බන්ධීකරණය කරලා ලොකු වැඩපිළිවෙළක් සිදුකරගෙන යනවා. මං හිතන්නේ ඒ ප්‍රතිඵල තමයි අද ජයග්‍රහණවලට යන්න යන්න පුලුවන් මාවත අපේ රටේ නිර්මාණය වෙලා තියෙන්නේ” යැයි නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේය.

“වෙනදා තිබිච්ච චෝදනාව තමයි ක්‍රිකට් බෝඩ් එක උදව් කරන්නේ ඡන්දේ තියෙන තැන් වලට විතරයි කියලා. අද එහෙම නෑ. අද ක්‍රිකට් ගහන තැන්වලට විතරයි අපි උදව් කරන්න මැදිහත් වෙන්නේ. සෙල්ලම් කරනවානම් අපිට පිට්ටනි හදන එක ප්‍රශ්නයක් නෑ. හැබැයි පිට්ටනියක් හැදුවොත් සෙල්ලම් කරනවා කියන මතයේ මම නෑ. සෙල්ලම් කරන තැනකට පිට්ටනියක් හදලා දෙන්න අපි දෙපාරක් කල්පනා කරන්නේ. ඒ හින්දා විශේෂයෙන් පාසල් පද්ධතිය තුළ පාසල් පන් හයසීයකට භාණ්ඩ ලැබෙනවා කියන්නේ ඒ පාසල් පද්ධතිය තුළ දක්ෂ ක්‍රීඩකයින්ට ඉදිරියට එන්න අවකාශ නිර්මාණය වෙනවා. මොකද මේ ක්‍රීඩකයෝ තමයි 15 න් පහළ සංචිතවලට පළාත් මට්ටමෙන් ගොඩ නැගෙන්නේ. හැම දරුවෙක්ටම දක්ෂතාවය සහ කැපවීම තියෙනවා නම් අනාගතයේ ජාතික කණ්ඩායමට යන්න මාවත නිර්මාණය වෙලා තියෙනවා” යැයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.

වර්තමාන ක්‍රීඩාව තාක්ෂණය මත ගොඩ නැගෙමින් පවතින බවත්, එබැවින් පාසල් මට්ටමේ සිටම ක්‍රීඩාව කරගෙන යෑම සඳහා අධ්‍යාපනයට වැඩි අවධානයක් යොමු කිරීම ඉතාමත් වැදගත් බවද මෙම අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේය. මෙය පිළිගැනීමට කිසිවකු කැමැත්ත නොදක්වන නමුත් යථාර්ථය එය බවද ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු පැහැදිළි කර සිටියේය.

“අපිට ලොකු ම අභියෝගය තමයි උගත්කමත් සහ බුද්ධියෙන් යුතු ක්‍රීඩකයින් අවම වීම. නූතන සමාජය තුළ ක්‍රීඩාවෙන් ඉහළට යන්න නම් හොඳ අධ්‍යාපනයක් තිබිය යුතුයි. මොකද අද ක්‍රීඩාව,  තාක්ෂණයත් එක්ක උපරිමයෙන්ම බද්ධ වෙලා ඩේටා වලින් තමයි ක්‍රීඩාව ඉදිරියට යන්නේ. මේක පිළිගන්න කවුරුත් කැමැති නැති වුණත් යථාර්ථය එයයි”.

“ඔබේ ක්‍රීඩා විලාශය පිළිබඳව, ඔබේ ඉරියව් පිළිබඳව, ඔබ හදාගත යුතු කාරණ පිළිබඳ, මේ සියල්ල අද තාක්ෂණයත් එක්ක බද්ධ වෙලා තියෙන්නේ. ඒ හින්දා ඔබ පාසලේ පොත පත හරියට හැදෑරුවේ නැත්නම් ඒ තාක්ෂණයත් එක්ක බද්ධ වීම තුළ හයිලි ටෙක්නිකල් ස්කිල්ස් වලට යනකොට යම් පසුබෑමකට ලක් වෙන්න සිද්ධ වෙයි. ඒ හින්දා පාසල් පොත පත කියන කාරණය ඉතාමත් වැදගත්. ඒ අධ්‍යාපනයටත් මුල් තැන දෙන ගමන් ඔබ හොඳ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවක් බවට පරිවර්තනය වන්න. ඒ තුළ මේ රට නියෝජනය කරන අනාගත ලෝක කුසලාන හිමිකරුවන් බවට පත්වන්නැයි” යැයිද එම අවස්ථාවට පැමිණ සිටි පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

වයස අවුරුදු 13 න් සහ 15 න් පහළ පාසල් කණ්ඩායම් සඳහා මෙම ක්‍රීඩා උපකරණ බෙදාදීම සිදුවූ අතර එයට ක්‍රිකට් පිති 3 ක්, හිස් ආවරණ 2 ක්, පා ආවරණ කට්ටල 3 ක්, අත් ආවරණ කට්ටල 3 ක්, කඩුලු රැකීම සඳහා යොදා ගනු ලබන අත් ආවරණ සහ පා ආවරණ කට්ටලයක් උපකරණ බෑගයට ඇතුළත් විය.

වැඩිදුරටත් අදහස් දක්වා සිටි ක්‍රීඩා අමාත්‍ය වරයා මෙසේ අදහස් දක්වා සිටියේය. “ක්‍රීඩාව දියුණු වෙන්න නම් අපි දැකපු දෙයක් තමයි මව් සංගම් සහ පාසල් සංගම් අතර තියෙන්න ඕන සම්බන්ධතාවය ශක්තිමත් වෙන්න ඕන. ඒ ප්‍රධාන සංගමයත් පාසල් සංගමයත් අතර තියෙන අන්‍යෝන්‍ය අවබෝධය ශක්තිමත් වෙන්න ඕන. ඒ වගේම ජාතික කණ්ඩායම නි‍යෝජනය කරන ක්‍රීඩකයෝ බිහි වෙන්න නම් ජාතික සැලස්මත් එක්ක පාසල් පද්ධතිය අනුගත වෙන්න ඕන. මම සතුටු වෙනවා ශම්මි සිල්වා මැතිතුමත් පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් (වත්තුහේවා) මැතිතුමා ඇතුළු පාසල් ක්‍රිකට් සංගමයත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් ඒ දිගු කාලීන සැලුසුමකට, අවබෝධයකට ඇවිල්ලා පාසල් ක්‍රීඩාව නංවාලන්න ගන්නා උත්සාහය පිළිබඳව” යි ක්‍රීඩා ඇමැතිවරයා සඳහන් කළේය.

“ජය පරාජය අවසන් ප්‍රතිඵලය වෙන්න පුලුවන්. හැබැයි අපි මැච් එකට යන්නේ දිනන්න. මම විශ්වාස කරනවා පාසල් පද්ධතිය තුළින් ජයගහණය කරන මානසිකත්වයක් හැදුවොතින් ඒ තුළ ජාතික සංචිතවලට එනකොට ඒ මානසිකත්වය මත ජයග්‍රහණවලට අපි යන්න පුලුවන් කියන කාරණය. විශේෂයෙන්ම පාසල් පද්ධතියේ ඉඳන් ක්‍රීඩකයින්ගේ විනය අපි හදන්න ඕන. ක්‍රීඩකයගේ විනය ගැන කතා කරනෙකාට ඒක ක්‍රීඩා කරන අවස්ථාවේදී, පුහුණුවීම් නම් පුහුණුවීම් කරන අවස්ථාවේදී සහ ඔහුගේ පෞද්ගලික ජීවිතය තුළ ඒ කැපකිරීම, ඒ විනය කියන කාරණය අපි ආරක්ෂා කර ගන්න ඕන. පාසල් මට්ටමේ තමයි ඒක හදන්න පුලුවන්” යැයි විනය පිළිබදව නාමල් රාජපක්ෂ මහතා අදහස් දක්වා සිටියේය.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව යළි නඟා සිටුවීම සඳහා ශම්මි සිල්වා මහතා සමඟ අරවින්ද ද සිල්වා, මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනය යන මහත්වරුන් එක්ව කටයුතු කරන බවත් සඳහන් කර සිටි ක්‍රීඩා අමාත්‍යවරයා,  මේ සියලු දෙනාගේම ආගමනයෙන් අවසානයේ ලෝක කුසලාන ජයග්‍රහණය කරා ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන යෑම බව පැවැසීය.

මෙම ක්‍රීඩා භාණ්ඩ බෙදාදීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ගරු ශම්මි සිල්වා මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපතිවරුන් වන රවීන් වික්‍රමරත්න සහ තිලක් වත්තුහේවා මහත්වරුන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතාද, ශ්‍රී ලංකා ක්‍රිකට් උප භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද මහතා සහ විධායක කමිටු සාමාජිකයකු වන සමන්ත දොඩන්වල මහතා සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ උප සභාපතිවරයකු වන ඔෂාර පණ්ඩිතරත්න යන මහත්වරුද මෙම උපකරණ බෙදාදීමේ අවස්ථාවට සහභාගිවූහ.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]
  • ශ්‍රී ලංකා කාන්තාවෝ කඩුලු දහයකින් ස්කොට්ලන්තය පරාජය කරයි
    ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර සෙනසුරාදා (27) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පැවැති කාන්තා ලෝක කුසලාන විස්සයි 20 සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • කොළඹ පරදා ගාල්ල අපරාජිතව අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයෙන් කඩුලු 10ක පූර්ණ ජයග්‍රහණයක් ලබාගත් […]
  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee