slc
logo
Home   |    News
පෙබරවාරි 10, 2022
කැන්ගරුවන්ට එරෙහි සටනට ‘සිංහයෝ’ සැරසෙති

sinhala editor

තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා ඔට්‍රේලියාව බලා පිටත්ව ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගය සඳහා හෙට (11 දා) දිනයේදී විස්සයි-20 ලෝක ශූරයින් වන ඔස්ට්‍රේලියානු කණ්ඩායම මුණ ගැසෙයි. විස්සයි-20 තරග පිටියේ ලකුණු පාරාදීසයක් බඳු සැලකෙන සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පව. 1.40 ට ආරම්භ වනු ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ලෝක කුසලාන තරගාවලියෙන් පසු දෙපිළ මුණ ගැසෙන පළමු අවස්ථාව වන්නේ හෙට ආරම්භ වන තරගය වේ. අදාළ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමෙන් පසු ගෙවී ගිය මාස 9 ක කාලයකින් පසු ඔස්ට්‍රේලියානු පිල විස්සයි-20 තරගයකට සහභාගාවන පළමු තරගාවලිය වන්නේ හෙටින් ආරම්භ වන විස්සයි-20 තරගාවලිය වේ.

මෙම තරගාවලිය සඳහා ප්‍රහාරාත්මක පිතිකරු ඩේවිඩ් වෝනර් සහ මිචේ මාෂ් විවේක ගන්වා තිබෙන අතර ඒ වෙනුවෙන් බිග් බෑෂ් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින බෙන් මැක්ඩර්මට් සහ ජොෂ් ඉංග්ලිෂ්ට අවස්ථාව ලබා දී තිබේ. ඉංග්ලිෂ් කඩුලු රකින්නකු වුවද මැතිව් වේඩ් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සතුවීම නිසා කඩුලු රැකීමේ කාර්යය වේඩ් විසින් සිදුකරනු ඇත.

හෙට තරගය පිළිබඳව අදහස් දක්වා සිටින වැඩ බලන පුහුණුකරු රොමේෂ් රත්නායක මහතා, අයහපත් කාගගුණික තත්ත්වය මත තරගාවලියට පෙර හොඳින් පුහුණුවීම් කටයුතු සිදුකිරීමට අවස්ථාවක් නොලැබුණත් තම කණ්ඩායම හෙට තරගය සඳහා හොඳ සූදානමකින් සිටින බවයි.

“අපිට පුහුණුවීම් සඳහා ලොකු අවස්ථාවක් හම්බවුණේ නෑ. ලැබුණු ටික වේලාවෙන් අපි හොඳට කළා. ටිකක් කියලා මම අදහස් කළේ වැස්ස. එළියේ පුහුණුවීම් කරන්න හම්බ වුණේ අඩුවෙන්. නමුත් ඒ කිසි දෙයක් මම නිදහසට කරුණු විදියට දෙන්නේ නෑ” යැයි සඳහන් කර සිටි රත්නායක මහතා, “කවුරු හරි හිතන්න ඉඩ තියෙනවා පිතිකරුවකු නම් තරගයට පෙර බෝල 200 ක් ගහන්න ඕන කියලා. ඒ‍කෙ ඇත්තක් තියෙනවා. ඒත් එක්කම මම කියන්න කැමැතියි එහි අනික් පැත්තකුත් තියෙනවා. මම හිතනවා අපිට බෝල විස්සයික් වගේ ගහල හොඳ පුහුණුවක් ලබා ගන්නත් පුලුවන් කියලා. දැන් කාලෙ හැටියට හුඟක් වෙලාවට අපිට කරන්න වෙන්නේ ඒ වගේ දේවල්. මානසිකවම අපි එතන ඉන්නවානම් අපිට ලෑසිත් වෙන්න පුලුවන්. මම බලලන්නේ හැම ක්‍රීඩකයෙකුම මානසිකව ශක්තිමක් කරන්න.  මගෙන් කවුරු හරි ඇහුවොත් එයාලා සූදානම් ද කියලා. ඔවු හෙට තරගයට ඔවුන් හොඳ සූදානමකින් ඉන්නේ” යැයි වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ලෝක කුසලාන තරගාවලියේදී දෙරට මුන ගැසුණු අවස්ථාවේදී ඔස්ට්‍රේලියානුවන් ජය වාර්තා කිරීමට සමත් වුවත් වනිඳු හසරංගගේ පන්දුවලට මුහුණ දීමේදී තරමක පසුබෑමක් පෙන්නුම් කළේය. ඔහු සිය පන්දුවාර 4 අවසන් කරනු ලැබුවේ ලකුණු 22 කට කඩුලු 2 ක් වශයෙනි. එබැවින් හෙට තරගයේදීද වනිඳු හමුවේ ඔස්ට්‍රේලියානු පිතිකරුවන් ඉතාමත් පරෙස්සම් සහගතව අවතීර්ණ වනු ඇත.

තරගයට පැය 24කට පෙරම හෙට තරගයට ක්‍රීඩා කරනු ලබන අවසන් 11 ඔස්ට්‍රේලියානු නායකයා ප්‍රකාශ කර සිටි අතර එයට වේග පන්දු යවන්නන් තිදෙනෙකු ඇතුළත්ව සිටින. මිචෙල් ස්ටාර්ක්, ජොස් හෙසල්වුඩ් සහ පැට් කමින්ස් ඔවුන් වූ බැවින් හෙට තරගයේදී තණතීරුව වේග පන්දු යවන්නන්ට උචිත ආකාරයෙන් සකස්වෙනු ඇත. කෙසේ වෙතත් පා දඟ පන්දු යවන්නා වන ඇඩම් සම්පාටද කණ්ඩායමේ ස්ථානයක් වෙන්වී තිබීම මත තණතීරුවේ යම් සහයෝගයක් පා දඟ පන්දු යවන්නන් කෙරෙදිද තබා තිබෙන බවට අනුමාන කළ හැක. එබැවින් දකුණත් පිතිකරුවන් 10 දෙනෙකුගෙන් සමන්විත වන ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව වනිඳු හසරංගට කිසියම් බලපෑමක් කිරීමේ වැඩි හැකියාවක් පවතියි.

“තණතීරුව බැලුවහම ටිකක් තණකොල තියෙනවා. ඒක ප්‍රශ්නයක් කරගන්න හොඳ නෑ අපි. තණකොල තිබුණට ඒක වෙනස්. ඉපිලෙන්න ඉඩ තියෙනවා හිමීට එන්න ඉඩ තියෙනවා. අපිට මැද හම්බවුණාද සෙල්ලම් කරන්න ඒක ඒවගේම වෙන්න පුලුවන් හෙට හම්බවෙන තණතීරුව. මම හිතන්නේ ඒක අපි ප්‍රශ්නයක් කරගන්න හොඳ නෑ. ලෑස්තවෙන්න හම්බ වුණ ටික වෙලාවෙන් අපි හොඳට ලෑස්තිවෙලා ඉන්නේ. එයාලට එක්ක අපි හොඳ තරගයක් දෙන්න සූදානමින් සිටිනවා” යැයි තණතීරුවෙන් එල්ල විය හැකි බලපෑම පිළිබඳ විමසීමේදී රත්නායක මහතා සඳහන් කර සිටියේය.  

ඔස්ට්‍රේලියානු මහද්වීපයේ මෙතෙක් ශ්‍රී ලංකාව තරග කර තිබෙන විස්සයි-20 තරග 9 දී වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් ලියැවී ඇත්තේ ශ්‍රී ලංකාව ඉදිරියේය. එය ජයග්‍රහණ 5 ක් ලෙසින්. සත්කාරකයින් වුවද ඔස්ට්‍රේලියානු පිල ජය ගැනීමට සමත්ව සිටින්නේ තරග 4 ක් පමණි. මෙම පරතරය හෙට තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට යම් මානසික අස්වැසිල්ලක් වන්නේද යන්න කරන ලද විමසීමේදී රත්නායක මහතා පිළිතුරු දුන්නේ මෙවැන්නකි.

“එයාලා එන්නේ වර්ල්ඩ් චැම්පියන්ස්ලා හැටියට. ඒක ප්‍රශ්නයක් නොවෙයි අපිට. අපිට වැදගත් වන්නේ ඒ වෙලාවේ අපි මොනවද කරන්නේ කියන එක ගැන. ඒ මොහොතේ දිනන්නයි අපිට ඕන. ඒ මොහොතවල් කීපයක් දින්නොත් තමයි අපි තරගය ජයග්‍රහණය කරන්නේ. ඒ ප්‍රතිශතකය වැඩි කරගන්නයි අපි හිතාගෙන ඉන්නේ. අපි කතා කරන්නෙත් ඒ ගැන. ඉතිහාසය සංසන්දනය කරනවාට වඩා වැදගත් වෙන්නේ හෙට තරගයේදී හොඳට ක්‍රීඩා කරන එකයි.” යනුවෙනි.

කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස කටයුතු කිරීමට නියමිත වූ කුසල් මෙන්ඩිස්ට කොවිඩ් වෛරසය ආසාධනයවී තිබීම හේතුවෙන් හෙට තරගයට ක්‍රීඩා කිරීම මඟ හැරෙනු ඇත. ඒ අනුව කඩුලු රැකීමේ කාර්යය දිනේෂ් චන්දිමාල් විසින් සිදුකිරීමට නියමිතය. හෙට තරගයේදී වේග පන්දු උපදේශකවරයකු ලෙස කණ්ඩායමට එක්ව සිටින ලසිත්මාලිංගගෙන් ලැබුණු සහයෝගයද ඉතාමත් ඉහළ මට්ටමක පැවැති බවද රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම – පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක, චරිත් අසලංක, අවිෂ්ක ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම – ඇරන් ෆින්චි (නායක), බෙන් මැක්ඩර්මට්, ජොස් ඉංග්ලිෂ්, ස්ටීවන් ස්මිත්, ග්ලෙන් මැක්ස්වේ, මාකස් ස්ටෝයිනිස්, මැතිව් වේඩ්, පැට් කමින්ස්, මිචෙල් ස්ටාර්ක්, ඇඩම් සම්පා, ජොස් හෙස්ල්වුඩ්.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest