slc
Home   |    News
මැයි 9, 2022
නිශාන් මධුශ්කගෙන් සටන්කාමි ලකුණු 269 ක්

Sri Lanka Cricket

ශ්‍රී ලංකා නැගිඒන කණ්ඩායමේ දකුණත් පිතිකරු 22 හැවිරිදි නිශාන් මධුෂ්ක ලකුණු 269ක් රැස් කිරීමට සමත්වීමත් සමඟ කෙන්ට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනට තරගය අද (8) නිමා කරන විට කඩුලු හයකට ලකුණු 573ක් ලබා ගනිමින් ප්‍රබල තත්ත්වයක පසුවීමට ශ්‍රී ලංකා නැගී ඒන කණ්ඩායම සමත්ව සිටියේය.

ශ්‍රී ලංකා නැගී ඒන කණ්ඩායම මේ වනවිට කෙන්ට් ප්‍රථම ඉනිමට වඩා ලකුණු 22ක් පමණක් පිටුපසින් සිටින අතර ඉතිරිව ඇති කඩුලු හතරට ප්‍රබල පිතිකරුවන් දෙදෙනෙකු වන සංතූෂ් ගුණතිලක (නොදැවී 09) සහ දිලුම් සුධීර (නොදැවී 00) කඩුල්ලේ රැදී සිටිති.

දක්ෂ කඩුලු රකින්නෙකු ලෙසද නමක් දිනා සිටින අංක තුන පිතිකරු නිශාන් මධුෂ්ක අද තම හොඳම ඉනිම ලෙස ලකුණු 269ක් රැස්කළේ පන්දු 392කට මුහුණදී හතරේ පහර 37ක් සහ හයේ පහර දෙකක්ද එල්ල කරමිනි. මධුෂ්කගේ මීට පෙර පළමු ශ්‍රේණියේ තරගයක ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 169කි. මොරටු විදුහල නියෝජනය කරමින් ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ පිලට මීට වසර තුනකට පෙර ක්‍රීඩා කළ නිශාන් මධුෂ්ක ඉන්දීය 19න් පහළ පිල සමඟ ඉනිමක ලකුණු 104ක් රැස්කරමින් ද දක්ෂතා පෙන්වා තිබේ.

කෙන්ට් ප්‍රාන්තය සමඟ අලංකාර ඉනිමක් කැන්ටබරි ක්‍රීඩාංගණයේදී නිශාන් මධුෂ්ක ක්‍රීඩා කරද්දී කෙන්ට් කණ්ඩායම රැස්කළ ලකුණු 595 ආසන්නයට යාමට මධුෂ්කට දෙවන සහ තෙවන කඩුලු සඳහා ලසිත් කෲස්පුල්ලෙගෙන් (136) සහ නුවනිඳු ප්‍රනාන්දුගෙන් (99) ලැබුණේ විශාල සහයකි.

සංවර්ධන කණ්ඩායමේ දෙවැනි කඩුල්ලට මධුෂ්ක සහ කෲස්පුල්ලෙ ලකුණු 294ක්ද (පන්දු 383යි) තෙවන කඩුල්ලට මධුෂ්ක සහ නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 171ක්ද (පන්දු 204) රැස්කරන අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 479ක් ලබා පසුවූයේ ප්‍රබලම තත්ත්වයකය. ශ්‍රී ලංකා ඉනිමට ශතක දෙකක් අයත්වූ අතර තෙවැන්න ලෙස නුවනිඳුට එය අවාසානාවන්ත ලෙස අහිමිවූයේ ලකුණකිනි. (99) නුවනිඳු පන්දු 108කට මුහුණදී හතරේ 14ක් සහ හයේ දෙකක් සමඟ ලකුණු 99ක් ලබා සිටියදී දැවීගියේ තෙවන පිතිකරු ලෙසනි.

දෙවන දින (7) තරගය නිමවන විට කඩුල්ලක් දැවී ලකුණු 201ක් ලබාසිටි ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම අද (8) දිනය තුළදී පන්දුවාර 90කදී පිතිකරුවන් පස්දෙනෙකු දැවී තවත් එක්කළ ලකුණු සංඛ්‍යාව 372කි.

මෙදින දිවා ආහාරයට මිනිත්තු පහක් තිබියදී ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ ලකුණු 136කට දැවීගියේ ජස්කාර් සිං ගේ පන්දුවකට ලකට් උඩපන්දුවක් අල්ලාගැනීමෙනි. දිවා ආහාරය වන විට සංවර්ධන කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 313ක් ලබා පසුවූයේ ප්‍රබල තත්ත්වයකය. ලසිත් කෲස්පුල්ලේ පන්දු 179කට මුහුණදී හතරේ පහර 14ක් සහ හයේ පහර දෙකක් සමඟ ලකුණු 136ක් ලබාසිටියදී දැවීගියේ ජස්කාර් සිං ගෙ පන්දුවකට ලකට් උඩපන්දුවක් අල්ලා ගැනීමෙනි.

ලංකා මැදපෙළ පිතිකරුවන් ධනංජය ලක්ෂාන් (24) අෂේන් බණ්ඩාර (09) අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවීයද්දී අංක තුන පිතිකරු නිශාන් මධුෂ්ක මැදපෙළ හුදකලා සටනක නිරතවෙමින් ඔහුට යා හැකිව තිබූ ලකුණු 300 සීමාවද අහිමිව හයවන පිතිකරු ලෙස දැවීගියේ මුළු ලකුණු 572දීය.

කැන්ටබර්හි ශාන්ත ලෝරන්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ සිව්දින ක්‍රිකට් තරගයේ අවසාන දිනය සඳුදා (9) වන අතර ලංකා කණ්ඩායමේ මීළඟ සිව්දින තරගය 13 වැනිදා සදම්ප්ටන්හි රෝස්බෝල් ක්‍රීඩාංගණයේදී හැම්ප්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම  සමඟ ඇරැඹේ.

කෙන්ට් පළමු ඉනිම කඩුලු 8ට 595යි – (ඩැරන් ස්ටීවන්ස් 168, ජෝර්ජ් ලින්ඩෙ 107, බිලී මීඩ් නොදැවී 106, හැරී පොඩ්මෝ 56, ජෝ ඩෙන්ලි 35, යසිරු රුද්‍රිගෝ 90/2, ධනංජය ලක්ෂාන් 106/2, උදිත් මධුෂාන් 109/2යි)

ශ්‍රී ලංකා නැගීඒන කණ්ඩායම කඩුලු 6ට 573 (පන්දුවාර 131යි) – නිශාන් මධුෂ්ක 269, ලසිත් කෲස්පුල්ලේ 136,‍ නුවනිඳු ප්‍රනාන්දු 99, ධනංජය ලක්ෂාන් 24, ජෝර්ජ් ලින්ඩෙ 106/2, හැරී පොඩ්මො 115/1, මැක්ස් ලකට් 73/1, ජස්කරාන් සිං 99/1, මාකස් ඕ රියොඩන් 26/1යි)

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest