By Chamila Karawita
ශ්‍රී ලංකාව කඩුලු 6 කින් ජය ගනු ලැබූ තෙවැනි එක්දින තරගය පැවැති තණතීරුවම අද (21 දා) පැවැත්වෙන සිව්වැනි එක්දින තරගය සඳහා යොදා ගැනීම නිසා එහි වැඩි වාසි ලබා ගැනීමේ අරමුණු කොට ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රධාන දඟ පන්දු යවන්නන් සිවුදෙනෙකු සමඟින් අවතීර්ණව සිටියි.
ඔස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදීද ශ්‍රී ලංකා නායක දසුන් ශානක කාසියේ වාසිය පරාජයට පත්වූ නමුත් පළමුව පන්දුවට පහර දීමේ වාරය ශ්‍රී ලංකාවට පිරිනැමීමට ඔස්ට්‍රේලියානු නායක ඇරන් ෆින්ච් තීරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා නායකයා මෙවර තරගාවලිය යටතේ පැවැති 7 වැනි තරගයේදීද කාසියේ වාසිය පරාජයට පත්වීම කැපී පෙනෙයි.
තරග 5 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණේ පසුවන අතර අද තරගය ජයගතහොත් තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජයගැනීමේ අවස්ථාව සත්කාරකයින්ට උදාවනු ඇත. එසේ වුවහොත් වසර 30 කට පසු ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් සිය මවුබිමේදී පරාජයට පත් කරන ලද පළමු අවස්ථාව ලෙසින් මෙම තරගාවලිය ඉතිහාස ගත වනු ඇත.
ආබාධයක් හේතුවෙන් අවසන් තරග 2 ට ක්‍රීඩා නොකළ වනිඳු හසරංග පූර්ණ සුවය ලබා කණ්ඩායමට එක්ව සිටීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ශක්තිය වැඩි කරවන්නක් වී තිබේ. දඟ පන්දු බල ඇණියේ ප්‍රධානියා බවට වනිඳු පත්වද්දී, ඔහු වෙනුවට පෙර තරග 2 ට ආදේශ කළ ජෙෆ්රි වැන්ඩර්සිවද කණ්ඩායමට එක් කිරීම කැපී පෙනෙයි. ඊට අමතරව වමතින් දඟ පන්දු යවන දුනිත් වේලලාලගේ මෙන්ම මහීෂ් තීක්ෂණ දඟ පන්දු බල ඇණිය ශක්තිමත් කරන සෙසු පන්දු යවන්නන් දෙදෙනා වෙයි. මේ අතර ධනංජය ද සිල්වාද දඟ පන්ද යවන්නකු ලෙසින් පෙර තරග වලදී කැපී පෙනෙන කාර්යය භාරයක් ඉටු කිරීම, ශ්‍රී ලංකා නායකයාට පන්දු යැවීමේදී ඕනෑ තරම් විකල්ප ඉතිරිව තිබේ. වළලු කරට ආශ්‍රිතව වේදනාවක් ඇතිවීම හේතුවෙන් වේග පන්දු යවන දුෂ්මන්ත චමීර අද තරගයේ තේරීම් සඳහා ඇතුළත් නොවුණු බැවින්, චාමික කරුණාරත්නට සහ දසුන් ශානකට වේග පන්දු යැවීමේදී වැඩි වගකීමක් හිමිවනු ඇත.
තෙවැනි එක්දින තරගයේ පන්දුවට පහර දෙමින් සිටියදී මස් පෙරැළීමේ යෑමේ ආබාධයකට ගොදුරු වුණු කුසල් මෙන්ඩිස් යළිත් පූර්ණ සුවය ලබමින් අද තරගයේදී අංක 3 පිතිකරුවාගේ වගකීම ඉටු කිරීම වෙනුවෙන් සැදී පැහැදී සිටියි.
තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැඳී සිටීමට නම් ජයග්‍රහණය තීරණාත්මක මෙම තරගයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම එක් වෙනස්කමක් සිදුකරමින් අවතීර්ණව සිටියි. තෙවැනි තරගයට ක්‍රීඩා කරන ලද ජායි රිචර්ඩ්සන් වෙනුවට අද තරගයේදී පැට් කමින්ස්ව කැඳවීමට ඔස්ට්‍රේලියානු කලමනාකාරීත්වය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාව – 1. නිරෝෂන් දික්වැල්ල, 2. පැතුම් නිස්සංක, 3. කුසල් මෙන්ඩිස්, 4. ධනංජය ද සිල්වා, 5. චරිත් අසලංක, 6. දසුන් ශානක (නායක), 7. චාමික කරුණාරත්න, 8. වනිඳු හසරංග, 9. දුනිත් වෙල්ලාලගේ, 10. ජෙෆ්රි වැන්ඩර්සි, 11. මහීෂ් තීක්ෂණ. ඔස්ට්‍රේලියාව – 1. ඩේවිඩ් වෝනර්, 2. ඇරන් ෆින්ච් (නායක), 3. මිචෙල් මාෂ්, 4. මානස් ලබුෂේන්, 5. අලෙක්ස් කේරි, 6. ට්‍රෙවිස් හෙඩ්, 7. ග්ලෙන් මැක්ස්වෙල්, 8. කැමරන් ග්‍රීන්, 9. පැට් කමින්ස්, 10. මැට් කුලේමන්, 11. ජොෂ් හෙසල්වුඩ්.