slc
Home   |    News
ජූනි 28, 2022
19 න් පහළ සුපිරි පළාත් ශූරතාව කොළඹ දකුණට

sinhala editor

මූලික වටය යටතේ පැවැති බොහෝමයක් තරග ඉතාම තියුණු මුහුණුවරක් ගෙන පැවැතියත් අවසන් මහ තරගයේදී කොළඹ උතුරු පිතිකරුවන් දක්වන ලද දුර්වල පිතිහරඹය හේතුවෙන් අවුරුදු 19 න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට වනුජ සහන්ගේ නායකත්වයෙන් යුතු කොළඹ දකුණ කණ්ඩායම සමත්විය. ඒ සමඟම ඔවුනට ශූරතා කුසලාන සමඟ මුදලින් රුපියල් ලක්ෂ 3 ක ත්‍යාග මුදලක් හිමිවිය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති මෙම අවසන් මහ තරගය මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති අතර එහිදී ලකුණු 91 ක පහසු ඉලක්කයක් හඹා ගිය කොළඹ දකුණ කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී තරගය ජය ගනිමින් මෙවර තරගාවලියේ ශූරයින් බවට පත්විය.

කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැති මෙම සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ සහභාගි වුණු තරග 4 න් 3 බැගින් ජය ගනිමින් අවසන් කොළඹ දකුණ සහ කොළඹ උතුරු කණ්ඩායම් අවසන් මහ තරග වරම දිනාගත්හ. මූලික වටයේ දෙපිළ මුණ ගැසුණු අවස්ථාවේදී ජය වාර්තා කිරීමට කොළඹ උතුරු කණ්ඩායම සමත් වුවත් කොළඹ දකුණු කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා නිසා අවසන් මහ තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට කොළඹ දකුණ කණ්ඩායම සමත්විය.

කොළඹ දකුණ කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ දකුණත් වේග පන්දු යවන කැනිස්ටන් ගුණරත්නම් ලකුණු 14 කට කඩුලු 5 ක් ද වමතින් වේග පන්දු යවන බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ දනාල් හේමානන්ද ලකුණු 25 කට කඩුලු 4 ක් ද දවා ගනිමින් සිය කණ්ඩායම පහසු ජයග්‍රහණයක් කරා රැගෙන ගියහ. මෙහි විශේෂත්වය වූයේ කොළඹ උතුරු කණ්ඩායමේ දැවී ගිය කඩුලු 10 න් 9 ක්ම වේග පන්දු යවන්නන් දවා ගැනීමට සමත්වීම වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු අංශයේ නියුතු චමිල ගමගේ මහතා ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන ලද කොළඹ දකුණු කණ්ඩායමේ සහාය පුහුණුකරුවන් ලෙස වසන්ත විජේසූරිය සහ චමින්ද තොටගමුව යන මහත්වරු කටයුතු කළහ.

පන්දු යැවීමේදී දක්වන ලද දක්ෂතා හේතුවෙන් කැනිස්ටන් ගුණරත්නම් අවසන් මහ තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලබමින් ඒ සදහා ලබා දුන් රුපියල් 50,000 ක මුදලටද හිමිකම් කීවේය. ඔහු මෙම තරගාවලියේ තරග 5 කදී කඩුලු 14 ක් බිඳ හෙළීමට සමත්ව සිටින්නේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 7.93 ක් රඳවා ගනිමිනි.

මීට අමතරව තරගාලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් ශාන්ත පීතර විදුහලේ වනුජ සහන් ද (තරග 5 යි ඉනිම 5 යි කඩුලු 11 යි සාමාන්‍ය 11.45) දක්ෂතම පිතිකරුවා සම්මානය කුරුණෑගල මලියදේව විදුහලේ රිෂී අධිෂ්ඨාන් විසින්ද (තරග 4 යි ලකුණු 220 යි සාමාන්‍ය 55.00) සහ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් කොළඹ නාලන්ද විදුහලේ විනුජ රන්පුල්ද (පිත්තෙන් – තරග 5 යි ඉනිම 4 යි ලකුණු 130 යි සාමාන්‍ය 32.50, පන්දුවෙන් – තරග 5 යි ඉනිම 5 යි කඩුලු 9 යි සාමාන්‍ය 12.22) සම්මාන දිනාගත්හ.

තරගාවලියේ ජය සංකේත ප්‍රධාන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික, මධ්‍යම පළාත් ක්‍රිකට් සංගමයේ ලේකම් ජානක පතිරණ සහ ශ්‍රී ලංකා ක්‍රිකට්හි දේශීය ක්‍රිකට් තරග අංශ ප්‍රධානී චින්තක ‌එදිරිමාන්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී දක්ෂතම පිතිකරු සහ පන්දු යවන්නා වෙනුවෙන් රුපියල් 50,000 බැගින්ද තරගාවලියේ වීරයා සඳහා රුපියල් 75,000 ක මුදලක් ලබා දීමට පියවර ගෙන තිබුණි. ශූරතාව දිනූ කණ්ඩායමට අමතරව අනුශූරතාවට පත් කන්ඩායමටද මුදලින් රුපියල් ලක්ෂ 2 ක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

දිස්ත්‍රික් මට්ටමින් පැවැති තරගාවලියෙන් අනතුරුව කොළඹ දකුණ, කොළඹ උතුර, මහනුවර, ගාල්ල සහ දඹුල්ල යන පළාත් කණ්ඩායම් වල සහභාගිත්වයෙන් මෙම සුපිරි පළාත් තරගාවලිය පැවැත්විණ. එළැඹෙන අගෝස්තු මසදී ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම එංගලන්තයේ දී සහභාගිවීමට නියමිත තරග සංචාරය සඳහා වන තේරීම් මෙම තරගාවලියේ දක්ෂතා අනුව සිදුකිරීමට නියමිතය.

අවසන් මහ තරගයේ වීරයා – කැනිස්ටන් ගුණරත්නම්

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – වනුජ සහන්

තරගාවලියේ දක්ෂතම පිතිකරුවා – රිෂී අධිෂ්ඨාන්

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා – විනුජ රන්පුල්

කොළඹ උතුර පන්දුවාර 30.1 කදී සියලු දෙනා දැවී ලකුණු 90 යි – රවීන් ද සිල්වා 21, මිනෙත් කරුණාරත්න 17, විනුජ රන්පොල් 12, කැනිස්ටන් ගුණරත්නම් 14/5, දනාල් හේමානන්ද 25/4)

කොළඹ දකුණ පන්දුවාර 1.5 කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 94 යි – සිනෙත් ජයවර්ධන 40*, සදීෂ රාජපක්ෂ 37, තරිඳු අමරසිංහ 14*)

අවසන් මහ තරගයේ වීරයා – කැනිස්ටන් ගුණරත්නම් (කොළඹ උතුර)
තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – වනුජ සහන් (කොළඹ දකුණ)
තරගාවලියේ දක්ෂතම පිතිකරු – රිෂී අධිෂ්ඨාන් (දඹුල්ල)
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා – විනුජ රම්පුල් (කොළඹ උතුර)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest