slc
Home   |    News
අගෝස්තු 4, 2022
ආසියානු කුසලානේදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන හයහමාරක ආදායමක්

sinhala editor

By Chamila Karawita

ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධව ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුව හැකි සෑම උත්සාහයක්ම ගත් නමුත්, තරගාවලියේ විකාශන අයිතිය හිමි සමාගමේ  සේවකයින් වෙනුවෙන් වන රක්ෂණාවරණ ආයතනය ඒ සඳහා එකඟත්වය පළ නොකිරීම,  මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණාත්මක සාධකය වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා අවධාරණය කර සිටියේය.

‌ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය හිමිවීම සම්බන්ධව අද (03 දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ලේකම්වරයා ඉහත අදහස් පළ කර සිටියේය. මෙම මාධ්‍ය හමුව සඳහා වන ප්‍රධාන මේසයේදී ලේකම් මොහාන් මහතා සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතාද අසුන්ගෙන සිටියේය.

“අපි සෑහෙන්න උත්සාහ කළා මේ තරගාවලිය ලංකාවේ පවත්වන්න. නමුත් ඔවුන් එක්ක ඝට්ටනයකට යන්න උවමනා වුණේ නෑ. බොහොම සුදහදතාවයෙන් අපි කටයුතු කළේ. විශේෂයෙන් සඳහන් කරන්න ඕන අපේ සභාපති ශම්මි සිල්වා මහතා. ඔහුගේ උත්සායය. අනිත් අයව උනන්දු කරවලා තරගාවලිය ලංකාවේ පවත්වන්න ඔහු සෑහෙන්න උත්සාහයක් ගත්තා. නමුත් විකාශන අයිතිය හිමි රූපවාහිනි ආයතනයේ  කාර්යය මණ්ඩලය රක්ෂණය කර තිබෙන රක්ෂණාවරණ ආයතනය කැමැති වුණේ නෑ ඔවුන්ට ඒ රක්ෂණාවරණය ලබා දෙන්න. ඒක තමයි තීරණාත්මක සාධකය වුණේ” යැයි මොහාන් ද සිල්වා මහතා සදහන් කර සිටියේය.

යම් ලෙසකින් ජූලි මසදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ පරිදි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට හැකියාව තිබුණේ නම් එය මෙම තරගාවලියට ධනාත්මක ආකල්පයක් එක් කරවීමට හේතු කාරණාවක් වීමට ඉඩ තිබූ බවත් සඳහන් කර සිටි ක්‍රිකට් ලේකම්වරයා, එය කල් දැමීමට සිදුවීම ශ්‍රී ලංකාව මුහුණ දුන් විශාලතම පසුබෑම බවයි.

ආසියානු කුසලාන තරගාවලියට පෙර ජූලි සහ අගෝස්තු මාසවලදී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණි. ‌මෙම තරගාවලිය පැවැත්වීමට හැකි වූයේ නම් ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයින් විශාල පිරිසක් ‌එම තරගාවලිය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙණ බවත්, ඒ හරහා ශ්‍රී ලංකාව ආරක්ෂිත බව ආසියානු ක්‍රිකට් කවුන්සිලයට, සෙසු සාමාජික රටවල් මෙන්ම විකාශන ආයතනයට එත්තු ගැන්වීමට හොඳ අවස්ථාවක් ශ්‍රී ලංකාවට හිමිව තිබූ බවද මොහාන් ද සිල්වා මහතා වැඩිදුරටත් කරුණු අනාවරණය කර සිටියේය.

“ප්‍රධානම පසුබැසීම තමයි එල්.පී.එල්. තරගාවලිය කල්දාපු එක. අපිට ඒ තරගාවලිය පවත්වාගෙන යන්න පුලුවන් වුණා නම් මං හිතන්නේ නෑ මෙච්චර ප්‍රශ්නයක් පැන නගියි කියලා. නමුත් ආසියානු ක්‍රිකට් කවුන්සිලයට මුදල් ලබා ගන්නේ මේ වගේ තරගාවලියකින්. අවුරුදු 3 කින් විතර මේ තරගාවලිය පවත්වලා තිබුණේ නැති නිසා එයාලටත් මුදල් අවශ්‍යයි. නමුත් එයාලා උත්සාහ කළා මේ තරගාවලිය ලබා දෙන්න. ඒත් මේ ආකාරයේ ලොකු තරගාවලියක් ශ්‍රී ලංකාවේ පවත්වන කොට එහි අවධානම ගැන බොහෝ සාමාජික රටවල අවධානය යොමු වුණා. තරගාවලිය අතරතුරදී යම් විදියකින් මොකක් හරි අකරතැබ්බයක් වුණොත් එහෙම ඔවුන් අපිට කොස් කියාවි. එහෙම වුණොත් ඒ රටවලටත් විශාල මුදල් අලාභයකට මුහුණ දීමට සිදුවෙනවා” යැයිද ලේකම්වරයා වැඩිදුරටත් කරුණු පැහැදිළි කර සිටියේය.

කෙසේ වෙතත් අගෝස්තු 27 වැනිදා සිට සැප්තැම්බර් මස 11 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිතව තිබෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක අයිතිය ශ්‍රී ලංකාවට හිමිවීම සතුටට කරුණක් බවද ලේකම්වරයා මෙහිදී සඳහන් කර සිටියේය.

 “ඇත්තටම මේ තරගාවලිය ලංකාවේ පැවැත්වුවා නම් අපිට තරගාවලිය පැවැත්වීමේ ගාස්තුව හැටියට ඩොලර් මිලියන දෙකහමාරක් එයාලා ලබා දෙනවා. ඒ වගේම තරගාවලියේ ලාභයෙන් ලැබෙන කොටස අඩුම ගානේ මිලියන දෙකහමාරත් තුනත් අතර තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් දැන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීම නිසා එයාලා අපිට ඩොලර් මිලියන දෙකහමාරක් සම්පූර්ණයෙන්ම දෙනවා. ඊට අමතරව ටිකට් සල්ලි වලින් තව ඩොලර් මිලියන එකහමාරක් අපිට දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. ඊටත් අමතරව තරගාවලියේ ආදායමේ කොටසෙන් තවත් ඩොලර් මිලියන 2.5 ත් 3 ත් අතර මුදලක් අපිට ලැබෙනවා. ඒ අනුව සම්පූර්ණ ආදායම විදියට ඩොලර් මිලියන 6.5 ක් විතර අපි මේ තරගාවලියෙදි ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා” යැයි මොහාන් ද සිල්වා මහතා අදහස් දක්වා සිටියේය.

‌මෙවන් මුදලක් ශ්‍රී ලංකාවට හිමි වුවද තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නොහැකිවීම විශාල පාඩුවක් බවද ලේකම් වරයා සඳහන් කර සිටියේය. “මෙවැනි අවස්ථාවක මෙවැනි තරගාවලියක් පවත්වලා ප්‍රේක්ෂකයින් පිට රටවලින් ගෙනවානම් ලංකාවට ලැබෙන ප්‍රසිද්ධියයි, මූල්‍යමය වශයෙන් ලැබෙන ප්‍රතිලාබයි හුඟක් වැඩියි. ජනාධිපතිතුමා වගේම ක්‍රීඩා ඇමැතිතුමාත් ගොඩක් මහන්සි වුණා මේ තරගාවලිය ලංකාවට ගන්න. ක්‍රීඩා ඇමැතිතුමා නිරන්තරයෙන්ම අපිව දිරිමත් කළා කොහොම හරි තරගාවලිය ලංකාවට ලබාගන්න කියලා” කියලා යැයි සඳහන් කළ මොහාන් ද සිල්වා මහතා, “ඇත්තටම සමහර රටවල් අපි ගැන බොහොම අනුකම්පවකුත් තිබුණා. නමුත් මූල්‍යමය වශයෙන් ආසියානු ක්‍රීකට් කවුන්සිලයට මුදල් අවශ්‍යයි. බැරි වෙලාවත් මේක පවත්වලා මෙහේ මොකක් හරි වුණා නම් ඉදිරි අවුරුදු 2-3 ට ලොකු බලපෑමක් වෙන්න තිබුණා. ඒ නිසා තමයි එයාලා තීරණය කළේ. කොහොම වුණත් අපිට තරගාවලිය පැවැත්වීමේ අයිතිය ලබාදීමත් ලොකු වරප්‍රසාදයක්. ඒක හින්දා තමයි මෙච්චර මුදලක් අපිට ලැබෙන්නේ. නැත්නම් අපිට ලැබෙන්නේ ලාභයේ බෙදීම විතරයි. මිලියන දෙකක් දෙකහමාරක් විතරයි. ඒ අතින් බැලුවහම මේ රටට ඩොලර්ස් එනවා මිලියන හයහමාරක් විතර. ඒ වරප්‍රාදය අපිට තියෙනවා” යැයි වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

“ඇත්තටම බැලුවොත් ඔව්. අපිට තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවස්ථාව උදා වුණා නම් රට ගැන ලෝකයට යන පණිවිඩිය ඉතා විශාලයි. ඒ වගේම තරගාවලිය නැරඹීම සදහා විදෙස් රටවල ප්‍රේක්ෂකයින් පැමිණීම හරහා එය රටට ආර්ථික වශයෙන් වාසියක් වෙන්න තිබුණා” යි අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා  යම් ලෙසකින් ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමේදී කිසියම් හේතුවක් නිසා එය අවලංගු කිරීමට සිදු වුවහොත් එය ශ්‍රී ලංකාවට දරුණු ප්‍රතිවිපාක ගෙන දීමට ද ඉඩ තිබූ බවද අවධාරණය කර සිටියේය.

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest