slc
logo
Home   |    News
අගෝස්තු 24, 2022
අභියෝගාත්මක තරගාවලියක්, ඒත් මගේ කණ්ඩායම මට විශ්වාසයි – දසුන් ශානක

sinhala editor

By Chamila Karawita

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සත්කාරකත්වයෙන් යුතුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් 2022 තරගාවලියට සහභාගිවීම සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් ශ්‍රී ලංකා කණ්ඩාය අද (24 දා) පස්වරුවේදී ඩුබායි නුවර බලා පිටත්ව ගියේය.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ මූලික වටය යටතේ පළමුව අගෝස්තු 27 වැනිදා ඇෆ්ගස්තානයට එරෙහිවත් සැප්තැම්බර් 01 වැනිදා බංග්ලාදේශයට එරෙහිවත් ඩුබායිහිදී තරග වදිනු ඇත. ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණය හැරුණු කොට සාජා ක්‍රීඩාංගණයද තරගාවලිය පැවැත්වෙන අනෙක් ක්‍රීඩාංගණයයි.

ආසියානු කුසලාන තරගාවලිය යනු දැඩි අභියෝගාත්මක තරගාවලියක් වුවත්, ප්‍රතිවාදී කණ්ඩායම් වල දක්ෂතා පිළිබඳව අවධානය යොමු කිරීමට වඩා වඩාත් වැදගත් වන්නේ තම කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා පිළිබඳ විශ්වාස තැබීම බව ශ්‍රී ලංකා විස්සයි-20 නායක දසුන් ශානක සඳහන් කර සිටියේය. ආසියානු කුසලාන තරගාවලියට පිටත්ව යෑමට පෙර  අද (24 දා) පස්වරුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී ශ්‍රී ලංකා විස්සයි-20 නායකයා ඉහත අදහස් පළ කර සිටියේය.

“අනිවාර්යයෙන්ම අභියෝගයක් තියෙනවා. ජාත්‍යන්තර තරගාවලියක් කියන්නේ අභියෝගයක්” යැයි පවසන දසුන්, මූලික වටයේ ඇති අභියෝගය පිළිබඳව මෙසේ අදහස් පළ කර සිටියේය.

“මූලික වටයේදී අපිට හොද තරග 2 ක් තියෙනවා. අපි දන්නවා ඇෆ්ගනිස්තානු ක්‍රීඩකයෝ මොනවගේද විස්සයි-20 තරග වලදී ක්‍රීඩා කරන්නේ. නමුත් මම හිතන්නේ අනිත් කණ්ඩායම් වල දක්ෂතා වලට වඩා අපේ කණ්ඩායමේ දක්ෂතා හොද මට්ටමක තියෙනවා කියලා. මට අපේ කණ්ඩායම ගැන තමයි විශ්වාසය තියෙන්නේ. අපේ ක්‍රීඩකයින්ට උපරිමයටම එන්න පුලුවන් නම් මේ තරගාවලිය ජයග්‍රහණය කරන එක අමාරුවක් නෑ” යි දසුන් සඳහන් කර සිටියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී ඩොලර් මිලියන 6.5 ක ආදායමක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකාව ‘බී’ කාණ්ඩය යටතේ තරග වදිද්දී ඉන්දියාව, පාකිස්තානය සහ සුදුසුක්ම් ලැබීමේ තරගාවලියේ ශූරතාව දිනා ගනු ලබන කණ්ඩායම ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරති.

කණ්ඩායම සතුව නවක ක්‍රීඩකයින් රැසක් සිටින බවත්, ඔවුන්ට ලැබෙන අවස්ථාවෙන් උපරිමය කිරීම සදහා ඔවුන් දැඩි උනන්දුවකින් පසුවන බවද විස්සයි-20 නායකයා අවධාරණය කර සිටියේය.

මෙම තරගාවලියට පෙර පැවැති ආරාධිත විස්සයි-20 තරගාවලියේදී හොද සූදානමක් ලැබුණු බවද මෙම අවස්ථාවේදී ශානක සදහන් කර සිටියේය. ඇෆ්ගනිස්තානට පෙර පැවැත්වෙන පළමු තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම දින 2 ක කාලයක් පුහුණුවීම් වල නිරත වනු ඇත.

“ඇත්තටම පිතිකරුවන්ගෙන් තමයි මේ තරගාවලියට තීරණය වෙන්නේ. මොකද පිතිකරුවන්ට හොද දක්ෂතාවයන්ට එන්න පුලුවන් නම් මං හිතන්නේ අපිට හොඳ පන්දු යැවීමේ බල ඇනියක් සිටිනවා. දුෂ්මන්ත (චමීර) ආබාධයකට ලක් වුණත් වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සි වගේම, විස්සයි-20 තරග අංශයට තරුණ ක්‍රීඩකයින් අසිත ප්‍රනාන්දු ඩිල්ෂාන් මදුශංක වගේ නවකයි දක්ෂතා අතර සිටිනවා. ඒ නිසා මේ තරගාවලිය අපිට හොඳ තරගාවලියක් වෙයි” යැයි දසුන් කියයි.

ඉනිම ආරම්භ කිරීම සදහා කණ්ඩායම තුළ ආරම්භක පිතිකරුවන් තිදෙනෙකි. කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ පැතුම් නිස්සංක ඔවුන් තිදෙනා වන නමුත් මොවුන් තිදෙනාගෙන් එක් අයෙකුට ඇතැම් විට පිතිකරණ ලැයිස්තුවේ පහළට යෑමේ වැඩි ඉඩ කඩක් පවතින බවද ශ්‍රී ලංකා නායක සඳහන් කර සිටියේය.

“තුන් දෙනෙක් ඉන්නවා ඉනිම ආරම්භ කරන්න. ආරම්භ කරන්නේ කවුද කියන එක තවදුරටත් අපි සාකච්ඡා කරනවා. මොකද පැතුම් නිස්සංක පසුගිය කාල වකවානුව තුළ හොඳින් පන්දුවට පහර දුන්නා. ඒ වගේම කුසල් මෙඩිස් සහ ධනුෂ්ක ගුණතිලක. ඉතිං කණ්ඩායම සමබර කිරීම සදහා මොවුන්ගෙන් කාට හරි පල්ලෙහාට යන්න හැකියාවක් තියෙනවා. නමුත් හම්බවෙන ඕනෑම තැනක ක්‍රීඩා කරන්න ක්‍රීඩකයින් සූදානමින් සිටිය යුතුයි” යැයි දසුන් අදහස් දක්වා සිටියේය.

මූළික වටයේ වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණෙන කණ්ඩායම් 4 සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබනු ඇත. එම තරගාවලිය අවසානයේ පෙරමුණට පැමිණෙන කණ්ඩායම් දෙක අතර වන අවසන් මහ තරගය සැප්තැම්බර් 11 වැනිදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

2018 වසරේ පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ආසියානු කුසලාන තරගාවලියක් පවත්වනු ලබන පළමු අවස්ථාව වන්නේද ලබන 27 වැනිදා ආරම්භ වන 15 වැනි ආසියානු කුසලාන තරගාවලියයි. කොවිඩ් වෛරසයේ බලපෑම හේතුවෙන් මෙම තරගාවලිය අවසන් වසර 4 තුළදී පැවැත්වීමට නොහැකිවිණ.

1984 වසරේදී ඇරැඹි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මේ දක්වා පැවැති තරගාවලිවලදී වැඩිම අවස්ථාවක් ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව (07) සමත් වද්දී (1984, 1988, 1990, 1995, 2010, 2016, 2018) ශ්‍රී ලංකාව අවස්ථා 5 කදී ශූරතාව (1986, 1997, 2004, 2008, 2014) දිනාගෙන සිටියි. පාකිස්තානය අවස්ථා 2 කදීද (2000, 2012) ආසියානු ශූරතාවට හිමිකම් කියා තිබේ.

මෑත කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබා සිටින ප්‍රගතිය දෙස අවධානය යොමු කිරීමේදී මෙවර තරගාවලියේදී ශූරතා කුසලාන දිනා ගත හැකි කණ්ඩායම් අතර ඉදිරියෙන්ම සිටින කණ්ඩායමක් ලෙස විචාරකයින් ශ්‍රී ලංකාව හඳුන්වා සිටියි. අවසන් වසර 2 ඇතුළත විස්සයි-20 තරග පිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂතා දැක්වීමට සමත්වීම සිටීම ඊට ආසන්නතම හේතුවයි.

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

USD United States (US) dollar