slc
Home   |    News
සැප්තැම්බර් 2, 2022
අතීත වාර්තා සහ දත්ත වලට හසු නොවුණු අසිතගේ පිතිහරඹය…

sinhala editor

By Chamila Karawita

අතීත වාර්තාවන් සහ සංඛ්‍යා දත්ත වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේදී උපක්‍රම නිර්මාණය කිරීමට බෙහෙවින් භාවිතා කරනු ලබයි. එහෙත් එවැනි වාර්තා කිසිවක් වැදගත්  නොවන අවස්ථාද ක්‍රිකට් ක්‍රීඩාවේ වෙත්. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය අසිත ප්‍රනාන්දුගේ සුවිශේෂී පිතිහරඹය ඊට හොඳම සාක්ෂි සපයයි.

අසිත ප්‍රනාන්දු. 2019 වසරේදී ජාත්‍යන්තර පිටියට අවතීර්ණ වන්නේ දකුණත් වේග පන්දු යවන්නකු ලෙසිනි. පැයට කිලෝ මිටර 140 කට වඩා වැඩි වේගයකින් පන්දු යැවීමට හැකි අසිත ඊයේ සහසභාගිවූයේ සිය මංගල විස්සයි-20 තරගයට විය. වේග පන්දු යවන්නකු ලෙසින් කණ්ඩායමට එක් වුවත් අසිතගේ කර මත පැටවුණේ ආසියානු කුසලානයේ  ශ්‍රී ලංකාවේ ඉදිරිය ද නැතහොත් ගෙදර යන්න වන තීරණාත්මක පන්දු කීපයයි.

ඉහතින් සදහන් කරන ලද අතීත වාර්තාවන් සැලකිල්ලට ගැනීමේදී අසිත ක්‍රීඩා කරනුයේ තම මංගල තරගයටය. එබැවින් ජාත්‍යන්තර විස්සයි-20 තරග පිටියේ ඔහුට අතීත වාර්තා නැත. පළමු පෙළ විස්සයි-20 තරග පිළිබඳව අවධානය යොමු කිරීමේදී තරග 50 කට අසිත ක්‍රීඩා කළ ඇතත් ඔහුගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 5 කටත් වඩා (4.91) අඩුය.

පිතිකරුවන් වශයෙන් ශ්‍රී ලංකාව සතු අවසන් බලාපොරොත්තුව වූ චාමික කරුණාරත්නගේ දැවී යෑමෙන් පසු පිටියට පිවිසෙන අසිතව, තල්මසුන් අතර හාල් මැස්සෙකු සේ බංග්ලාදේශ කණ්ඩායමද සලකන්නට ඇත. ශ්‍රී ලංකා ජයග්‍රහණය සදහා පන්දු 7 කදී ලකුනු 13 ක් ලබා ගත යුතුය. අංක 10 ස්ථානයේ පිතිකරුවකු මෙය පහසුවෙන් කළ හැක්කක්ද…?

චාමික දැවී යෑමත් සමග එතෙක් වේලා හතරේ සීමාව ආසන්නයේ වූ ඩීප් එක්ස්ට්‍රා කවර් කළාපයේ රඳවා සිටි පන්දු රකින්නා ද බංග්ලාදේශ නායකයා යාර 30 සීමාවට ගෙන්වා ගත්තේ, අත්දැකීම් රහිත පිතිකරුවන් බොහෝ විට පහර එල්ල කිරීමට උත්සාහ කරනු ලබන්නේ පා ඉන්න ප්‍රදේශයෙන් බැවින් එම ප්‍රදේශය ආවරණය කර දැමීමටය.

අසිත මංගල පන්දුවට මුහුණ දීමට සිදුවන්නේ, එම තරගය සිය මංගල තරගය කරගත් එබොදත් හොසේන්ටය. වයිඩ් යෝකර් පන්දුව සැබැවින්ම වයිඩ් පන්දුවක් විය. එබැවින් ඉලක්කය පන්දු 7 කදී ලකුණු 12 ක් විය. තරගයට පෙර කණ්ඩායම් දෙක අතර වූ අදහස් හුවමාරුවේදී ඇතිවූ උණුසුමද ක්‍රීඩා පිටිය දක්වා පැමිණි අතර ඩුබායි ක්‍රීඩාංගණයේ සියලුම ප්‍රේක්ෂකාගාර අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී යෑමටද එයම හේතුවක් විය.

තීරණාත්මක 19 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවය. පිට ඉන්නට මදක් ඈතට වන සේ තණතීරුව මැද පතිත කරමින් හොසෙන් එවූ පන්දුවට අසිතගේ පිත්ත ක්‍රියාත්මක වූයේ යාර 30 සීමාව තුළ රඳවා සිටි පන්දු රකින්නන්ගේ ඉහළින් වූ හතරේ සීමාව වෙත හරවා යවමිනි. එතෙක් වෙලා ‘මීයට පිම්බාක්’ මෙන් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් යළිත් සිය ජය ඝෝෂා නඟන්නට පටන් ගත්තේ අසිත ලබා දුන් අනපේක්ෂිත පන්නරය නිසාය.

අවසන් පන්දුවාරයේ ඉලක්කය ලකුණු 08 දක්වා අඩු වුවද නම් දැරූ පිතිකරුවන් නොමැති වීම, නිරායාසයෙන්ම හෘධ ස්පන්ධනය වැඩි කරවන්නක් වූවේය. මෙහෙදි හසන් යැවූ පන්දුව පිළිගැනීමේ වගකීම මහීෂ් තීක්ෂණටය. පා ලකුණක් ලෙසින් පැති හුවමාරු වද්දී නැවතත් අවස්ථාව අසිතටය. ඊළඟ පන්දුවට නැවත්ත ඩීප් මිඩ් විකට සහ ලෝන් ඔ‌්න් කළාපය අතරින් හතරේ සීමාව වෙත පන්දුව යැවූ අසිත එතෙක් වේලා සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව හමුවේ තෙරපෙමින් තිබූ පීඩනය සෑහෙන දුරකට සමනය කර දුන්නේය. එතෙක් වේලා බංග්ලාදේශයේ ජය පතා ක්‍රීඩාංගණයට පැමිණ සිටි බංග්ලාදේශ නරඹන්නන්ගේ හද සසළ කරවූ එම පන්දුවෙන් පසු යවන ලද ඊලග පන්දුවටද තවත් ලකුණු 2 කට අසිත පැති මාරු කර ගත්තේ මුහුණ දුන්  පන්දු 3 න් 10 වැනි ලකුණද ලබා ගනිමිනි. එම ලකුණු 2 සම්පූර්ණ වනවාත්ම සමඟම පන්දු යැවූ මෙහෙදි හසන් සීමා ඉරෙන් ඉදිරියට විත් යවන ලද නීති විරෝධී ලකුණක් ලෙසින් තෙවැනි විනිසුරුගේ සයිරනය නාද වීමත් සමඟ ශ්‍රී ලංකා ජයග්‍රහණය සනිටුහන් වූයේ කඩුලු 2 ක් සහ පන්දු 4 ක් ද ලකුණු පුවරුවේ ඉතිරිව තිබියදිය.

අසිතගේ පිත්තෙන වාර්තා වූයේ ලකුණු 10 ක් පමණක් වුවත් එහි මිල කළ නොහැකි වටිනාකමක් ගැබ්ව තිබිණ. යම් ලෙසකින් එය ලබා ගැනීමට නොහැකි වූයේ නම් ශ්‍රී ලංකාවට සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය පසෙක තබා ඊළඟ ගුවන් යානයෙන්ම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබිණ.

අසිතගේ දක්ෂතාවය, අවසානයේ කැපී පෙනුණද මෙම ජයග්‍රහණය සදහා දර දිය ඇද අය අතර ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ට සහ දසුන් ශානකට හිමි වන්නේ සුවිශේෂීත්වයකි. පන්දු 37 කින් ගොඩනැංවුණු ලකුණු 60 ත් පන්දු 33 කදි ගොඩ නැංවුණු ලකුණු 45 ත් නොවන්නට, අසිතට කිරීමට වෙනත් කටයුත්තක් නොවන්නටද තිබිණ.

සියලු කාරණාවන් ශ්‍රී ලංකාව දෙසට වාසියට හැසිරෙද්දී සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ පළමු තරගයද හෙට (03 දා) දිනයේදී ආරම්භ වනු ඇත. ඒ සමාරම්භක තරගයේදී මුණ ගැසුණු ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය. සාජාහි පැවැත්වීමට නියමිතව තිබෙන මෙම තරගයට අමතරව ශ්‍රී ලංකාව ලබන 06 වැනිදා ඉන්දියානු කණ්ඩඩායම සමඟ ඩුබායි ක්‍රීඩාංගණයේදීද අවසන් තරගයට අද (02 දා) පැවැත්වීමට නියමිත පාකිස්තානය සහ හොංකොං අතර තරගය ජය ගනු ලබන කණ්ඩායම සමග සහසභාගිවනු ඇත.

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest