slc
logo
Home   |    News
සැප්තැම්බර් 8, 2022
ආසියානු කිරුළේ අවසන් සටනට ‘පෙර පුහුණුව’

sinhala editor

ආසියානු ශූරතාවේ හිමිකරුවන් කවුරුන්ද යන්න තේරීම වෙනුවෙන් පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4 දෙනා අතර තරග වටයේ අවසන් තරගය සඳහා ශ්‍රී ලංකාවත් පාකිස්තානයත් හෙට (08 දා) ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මුණ ගැසෙනු ඇත. ‌හෙට තරගයට පෙර කණ්ඩායම් දෙකම අවසන් මහ තරග අවස්ථාව වෙන්කර ගැනීමට සමත්වසිටින හෙයින් හෙට තරගය, අවසන් මහ තරගය සඳහා වන පෙර පුහුණු තරගයක් ලෙසින් යොදා ගැනීමේ හැකියාව ඇත.

ශ්‍රී ලංකාව හෙට දිනයේදී පාකිස්තානය මුණ ගැසෙන්නේ මෙවර තරගාවලිය යටතේ පළමු වතාවට වේ. සමාරම්භක තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්තාන කණ්ඩායම හමුවේ අනපේක්ෂිත පරාජයක් ලැබුවද සෙසු සියලුම තරග ජය ගනිමින් අවසන් මහ තරග අවස්ථාව උදා කර ගනිද්දී පාකිස්තානු පිලද පළමු වටයේදී ඉන්දියාව හමුවේ පමණක් පරාජයට පත්ව හෙට තරගයට අවතීර්ණ වේ. ශ්‍රී ලංකාව පළමු තරගය පරාජයට පත් වුවද සුපිරි කන්ඩායම් 4 අතර තරග වටයේදී දෙපිළම හෙට තරගයේදී මුණ ගැසීම කැපී පෙනෙයි.

මෙම තරගයේ ප්‍රථිඵලය ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය සඳහා කිසිදු බලපෑමක් නොකරන බැවින් හෙට දිනයේදී දෙපිළම සිය බර අවි විවේක ගන්වනු ඇති බව අපේක්ෂා කළ හැක. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිලේ චරිත් අසලංකට නම් හෙට තරගය හොඳම අවස්ථාවක් බවට පත්ව සිටින්නේ මෙතෙක් පැවැති සෑම තරගයකදීම ලකුනු අතරට පැමිණීමට ඔහු අසමත්වීම නිසාය.

කන්ඩායමේ පිතිකරුවන් සමස්ථයක් ලෙස ගැනීමේදී අසලංක හැරුණු කොට සෙසු සියල්ලෝම ලකුණු අතරට පැමිණ සිටීම ශ්‍රී ලංකාවට සුභ ලකුණක් වේ. එබැවින් හෙට තරගයේදී කෙසේ හෝ අසලංක ලකුණු අතරට පැමිණිමට සමත් වුවහොත් ඔහුට අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන් කර ගැනීමට එය මනා පිටිවහළක් වෙනු ඇත. මේ අතර ධනංජය ද සිල්වා මෙන්ම අෂේන් බණ්ඩාරගෙන්ද කණ්ඩායමට ලබා ගත හැකි සේවය කුමක්ද යන්න හෙට දිනයේදී අත්හදා බැලීමට කලමනාකාරීත්වය පියවර ගත හොත් එය පුදුමයට කරුණක් නොවනු ඇත.

එසේ වුවත් හෙට තරගය පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු පුහුණුකරු වන පියල් විජේතුංග මහතා සඳහන් කර සිටියේ වෙනස්කම් පිළිබඳව අද පස්වරුව වන තෙක් තීරණය කර නොතිබූ නමුත් පාකිස්තානු පිතිකරුවන්ගේ දුර්වලතා හඳුනාගැනීම සඳහා හැකි උපරිම උත්සාහය ගනු ලබන බවයි.

“ඇත්තටම මෙය තවත් එක් තරගයක් විදියට ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. වෙනස්කම් ගැන කිව්වොත් තවම ඒ ගැන මුකුත් තීරණය කරලා නෑ. තේරීම් කමිටුව, පුහුණුකරු සහ නායකයා එකතු වෙලා ඒ ගැන හෙට උදේ වෙනකොට තීරණයක් ගනියි. අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ පාකිස්තානු පිතිකරුවන්ගේ දුර්වලතා හඳුනාගන්න. ඒක අවසන් මහ තරගයේදී අපේ පන්දු යවන්නන්ට හොඳ පිටිවහලක් වේවි” යැයි විජේතුංග මහතා අදහස් දක්වයි.

හෙට තරගයට පෙර දෙපිළම සුපිරි කන්ඩායම් 4 අතර තරග වටයේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත්ව සිටියි. පළමු මුණ ගැසීමේදී ඇෆ්ගනිස්තානය හමුවේ ලකුණු 105 කට සීමා වුවද දෙවැනිවතාවේදී ලකුණු 176 ක් හඹා යමින් ශ්‍රී ලංකාව තරගයේ ජය වාර්තා කිරීමට සමත්වූයේ සාජා ක්‍රීඩාංගණයේදී කණ්ඩායමක් හඹා ගිය ඉහළතම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවත සියතට ගනිමිනි.

එමෙන්ම ප්‍රතිවාදී පාකිස්තානු කණ්ඩායම ඉන්දියාවට එරෙහිව ලකුණු 182 ක් හඹා යමින් ජය වාර්තා කිරීම, කණ්ඩායම් දෙකම හඹා යෑමේදී උපරිම දක්ෂතාවයන් අතර සිටින බවට නීර්ණය කිරීමට හොඳම මිණුම් දණ්ඩකි.

දෙරට අතර විස්සයි-20 තරග ඉතිහාසය ගැන අවධානය යොමු කිරීමේදී 21 වතාවක් දෙපිළ මුණ ගැසී තිබෙන අතර ඉන් වැඩි ගෞරව අත්කර ගැනීමට පාකිස්තානය සමත්ව තිබේ. අවස්ථා 13 කදී පාකිස්තානුවන් ජය වාර්තා කරද්දී 8 වතාවක් පමණක් ශ්‍රී ලංකාව විසින් පාකිස්තානය පරාජයට පත් කර තිබේ. ආසියානු කුසලාන අතීතය ගෙන බැලීමේදී අවසන් වතාවට දෙපිළ මුණ ගැසුණේ 2014 වසරේ පෑවති තරගාවලියේදී වේ. එම තරගාවලියේදී පාකිස්තානු පිලට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කරමින් පස්වැනි වතාවටත් ආසියානු ශූරයින් බවට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ශ්‍රී ලංකා සංචිතය – දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, වනිදු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සි, ප්‍රවීන් ජයවික්‍රම, චාමික කරුණාරත්න, ඩිල්ෂාන් මදුශංක, මතීෂ පතිරණ, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුශාන්.

පාකිස්තානු සංචිතය – බාබර් අසාම් (නායක), මොහොමඩ් රිසාවාන්, ෆකාර් සමන්, ඉෆ්තිකාර් අහමඩ්, කුස්දිල් ෂා, අසීෆ් අලී, ශදාබ් ඛාන්, මොහොමඩ් නවාස්, නසීඹ් ෂා, හාරිස් රවුෆ්, මොහොමඩ් හස්නෙයින්, උස්මාන් කාදර්, හයිඩර් අලී, හසන් අලී, ශනවාස් දහානි.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar