slc
logo
Home   |    News
නොවැම්බර් 29, 2022
15න් පහළ ප්‍රීමා ක්‍රිකට් ශූරතාව කොළඹ දකුණට

sinhala editor

මෙරට අනාගත ක්‍රිකට් තරු සෙවීම උදෙසා ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව කොළඹ දකුණු පිල දිනා ගැනීමට අද (29 දා) පස්වරුවේ සමත්විය.

මූලික වටයේ අපරාජිතව අවසන් මහා තරගයට පිවිසි කොළඹ උතුර පිල කඩුලු 3කින් පරාජයට පත් කරමින් කොළඹ දකුණු ක්‍රීඩකයෝ මෙම විශිෂ්ට ජයග්‍රහණය වාර්තා කළහ.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් කොළඹ උතුර පිල ඕවර් 50කදී කඩුලු 8කට ලකුණු 148ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ දකුණු පිල ඕවර් 45.5කදී කඩුලු 7කට ලකුණු 151ක් ලබා ජය තහවුරු කර ගත්තේය.

කොළඹ වෙළද සේවා ක්‍රීඩාංගණයේ අද (29) අද පැවැති අවසන් මහා තරගයේ වාර්තා වූ එකම අර්ධ ශතකය රුස් කළ කොළඹ දකුණු පිලේ හිරුක සිල්වා පන්දු 100කදී හයේ පහරක් හා හතරේ පහර 6ක් සමග ලකුණු 61ක් ලබා ගැනීම මෙම තරගයේ ජයග්‍රහණයට ප්‍රබල දායකත්වයක් සැපයීය.

ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි හිරුක හා මැද පෙළ පිතිකරු තෙවිඳු වේවැල්වල 5වැනි කඩුල්ලට ලකුණු 57ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වීම මෙම තරගයේ හැරවුම් ලක්ෂය විය. තෙවිඳු පන්දු 59කදී ලකුණු 20ක් ලබා අනගි සහයක් ලබා දුන්නේය.

කොළඹ දකුණු පිලේ කොෂේන්ද්‍ර ප්‍රනාන්දු පිට පිට හතරේ පහර දෙකක් එල්ල කරමින් තරගයේ නිමාව සනිටුවහන් කළ අතර ජයග්‍රහණය වාර්තා වෙද්දී කොෂේන්ද්‍ර නොදැවී ලකුණු 10ක් හා යසිඳු දිසානායක නොදැවී ලකුණු 9ක් ලබා සිටියහ.

කොළඹ උතුරු පිල ආරම්භයේ සිටම අසීරුවේ දැමීමට කොළඹ දකුණු පන්දු යවන්නන් සමත් වූ අතර, ඔවුන්ගේ පළමු කඩුලු 6ක් ලකුණු 51කට දැවී ගියේය. අනතරුව එක් වූ අංක 7 හා අංක 8 පිතිකරු යුගලය 7වැනි කඩුල්ලට ලකුණු 78ක සම්බන්ධතාවක් එක් කිරීමෙන් ලකුණු පුවරුව අංක තුනකින් සමන්විත විය. රචින්ත සිල්වා පන්දු 73කදී හතරේ 2ක් හා හයේ 2ක් සමග ලකුණු 35ක් ලැබූ අතර, ඔෂධ පමුදිත පන්දු 85කදී හතරේ පහර 4ක් සමල ලකුණු 35ක් වාර්තා කිරීමට සමත් විය.

කොළඹ උතුරු පිලට තර්ජනයක් ගෙනදුන් රෂාන් නවංජන කඩුලු 3ක්, තෙනූෂ යාපා ලකුණු 30කට කඩුලු 2ක් හා හිමරු දේෂාන්, කොෂේන්ද්‍ර පුනාන්දු කඩුල්ල බැගින් බිදහෙලූහ.

අවසන් තරගයේ වීරයා සම්මානය කොළඹ දකුණු පිලේ හිරුක සිල්වා දිනාගත් අතර, තරගාවලියේ දක්ෂතම පිතිකරු තරග 4කදී ලකුණු 162ක් ලැබූ පබසර දිසානායක (දඹුල්ල), තරගාවලියේ හොදම පන්දු යවන්නා තරග 3කදී කඩුලු 8ක් බිදහෙලූ දිනූජ සමරරත්න (කොළඹ උතුර) හා තරගාවලියේ වීරයා ලකුණු 68ක් හා කඩුලු 9ක් බිදහෙලූ දමේෂ් මතිෂාන් (දඹුල්ල) සම්මාන දිනා ගත්හ. 

කොළඹ උතුර පිල කඩුලු 8කට ලකුණු 148යි (ඕවර් 50) තබීත් රිෆ්රිකාර් 13, ෂාන් අබේරත්න 10, රචින්ත ද සිල්වා 45, ඹෂධ පමුදිත 35, අතරේක 15 ( තෙනූෂ යාපා 30/2, රෂාන් නවන්ජන 20/3, හිමරු දේෂාන් 13/1, කොෂේන්ද්‍ර පුනාන්දු 35/1)

කොළඹ දකුණු පිල කඩුලු 7කට ලකුණු 151යි (ඕවර් 45.5) හිරුක සිල්වා 61, ලෂේන් ප්‍රනාන්දු 14, තෙවිඳු වේවැල්වල 20, මෙෂොන් ෆර්ඩිනැන්ඩූ 12 , කොෂෙන්ද්‍ර පුනාන්දු නොදැවී 10 ( කිත්ම සිත්මාල් 21/2, ළහිරු ලක්මාල් 25/2, නවිදු රොද්‍රිගූ 14/1, රසිත් නිම්සර 30/1, ඔෂධ පමුදිත 24/1)

අවසන් තරගයේ වීරයා සම්මානය දිනූ කොළඹ දකුණු පිලේ හිරුක සිල්වා
තරගාවලියේ දක්ෂතම පිතිකරු තරග 4කදී ලකුණු 162ක් ලැබූ දඹුල්ල පිලේ පබසර දිසානායක
තරගාවලියේ හොදම පන්දු යවන්නා තරග 3කදී කඩුලු 8ක් බිදහෙලූ කොළඹ උතුරු කණ්දිඩායමේ දිනූජ සමරරත්න
තරගාවලියේ වීරයා ලකුණු 68ක් හා කඩුලු 9ක් බිදහෙලූ දඹුල්ල කණ්ෂ්ඩායමේ දමේෂ් මතිෂාන් සම්මාන දිනා ගත්හ

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest