slc
logo
Home   |    News
දෙසැම්බර් 22, 2022
ගෝල් පරදවන්න පරිනතභාවයත් පළපුරුද්දත් උදව් වූවා ඇන්ජලෝ මැතිව්ස්

sinhala editor

ගෝල් ග්ලැඩියේටර්ස් පරාජය කිරීමට අවස්ථාව උදා වූයේ තමන් පරිනතභාවය සහ පළපුරුද්ද උපයෝගී කරගනිමින් කළ ක්‍රීඩා විලාශය නිසා යැයි කළම්බු ස්ටාර්ස් නායක ඇන්ජලෝ මැතිව්ස් බදාදා (21) තරගයෙන් පසුව ප්‍රකාශ කළේය.

කසුන් රාජිත, සුරංග ලක්මාල් සහ මොහමඩ් නබී මේ තරගයේ දී දක්ෂ ලෙස පන්දු යැවීමෙන් ප්‍රබල ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 108කට සීමා කරගැනීමට අවස්ථාව උදා වූ බව පවසන මැතිව්ස් මේ පන්දු යවන්නන් අතුරින් රාජිත වඩාත් තර්ජනාත්මක වූ නිසා පවර්ප්ලේ ඕවර හයෙන් තුනක්ම ඔහුට ලබාදුන් බව ද කීය.

පන්දු යැවීමේ දී ඉනිම අවසාන භාගයේ දී මොහමඩ් නබී විශිෂ්ට මෙහෙවරක යෙදුණු බව කී කළම්බු නායකයා මේ පන්දු යවන්නන් කැන්ඩි ෆැල්කන්ස්ට ද අභියෝගයක් වනු ඇතැයි තමා විශ්වාස කරන්නේ යැයි ද කීය.

“ජයග්‍රහණය කරා යාමට අපට ලැබුණු 109ක ඉලක්කය ඉතා පහසු කාර්යයක් යැයි ඕනෑම කෙනෙකුට සිතෙනවා.  ඒත් එදා තණතිල්ලේ ඊට ළඟාවීම එතරම්ම පහසු කාර්යයක් වූයේ නෑ.  විශේෂයෙන් ම වෙනදා පෙන්වන තම දක්ෂතා පෙන්වීමට අවස්ථාව නොලැබුණත් රවී බෝපාරා සමග ජයග්‍රහණය තෙක් නොදැවී ක්‍රීඩා කිරීමෙන් අපට කඩුලු හතක පහසු ජයග්‍රහණයක් හිමිවූවා.  රවී මේ ඉනිමේ දී වේගයෙන් හොඳින් ම ලකුණු රැස් කළා.  යම් කිසි පිතිකරුවකු හොඳින් පන්දුවට පහරදෙන විට ඊට සහයවීම අනෙක් පිතිකරුගේ කාර්යයක්.  මේ ජයග්‍රහණයට පරිනත භාවය සහ පළපුරුද්ද බලපෑවා” යැයිද ද කළම්බු නායකයා පැවසීය.

කළින් තිබූ ආබාධ කිසිවක් තමාට දැන් නොමැති බව කී ඇන්ජලෝ මැතිව්ස් මීට පෙර තරගයට ඔහු ක්‍රීඩා නොකළේ ධනංජය ලක්ෂාන්ට කණ්ඩායමට ඇතුලුවීමට අවස්ථාවක් ලබාදීමට යැයි ද කීය.  “ධනංජය ලක්ෂාන් දක්ෂම තරුණ ක්‍රීඩකයෙක්.  ඔහුට අවස්ථාවක් දිය යුතුයි.  මා සෑමවිටම පෞද්ගලිකත්වයට වඩා ගරු කරන්නේ කණ්ඩායමේ එකමුතු භාවයට සහ හැඟීම්වලටයි.  අපගේ කණ්ඩායමේ විදේශීය ක්‍රීඩ‍කයනුත් ඔවුනට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස අපගෙන් ඉල්ලා සිටියා.  ඒ සියල්ල සළකා මීට පෙර තරගයේ දී තමාගේ අවස්ථාව ලක්ෂාන්ට සැළසුවා” යැ කළම්බු නායකයා පැවසීය.

කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට සහ කලම්බු ස්ටාර්ස්ට බ්‍රහස්පතින්දා (22) රාත්‍රී තරගය ඉතාම වැදගත් වන අතර, කණ්ඩායම් දෙකට මෙය අවසාන පූර්ව තරගයක් වී ඇතැයි කී කළම්බු නායකයා දක්ෂ ක්‍රීඩකයන් රැසකින් සමන්විත වන කැන්ඩි කණ්ඩායම කිසිසේත් පහසුවෙන් සැලකිය යුතු නොවන බව කීය.

“එම තරගයේ දී හොඳින්ම ක්‍රීඩා කරන කණ්ඩායමටයි ජය අත්වන්නේ. එම වාසිය බ්‍රහස්පතින්දා රාත්‍රී අපට හිමිවේ යැයි සිතනවා” යැයිද මැතිව්ස් පවසයි.  නිරෝෂන් දික්වැල්ල ඇතුලු ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ආබාධයට ලක්වූවත් බෝපාරා දැන් පෙර පරිදි දක්ෂතා අතර සිටින බව ද ඔහු පවසයි.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee