slc
Home   |    News
දෙසැම්බර් 24, 2022
තෙවැනි LPL කිරුළත් ජැෆ්නා කිංග්ස් සන්තකයට

sinhala editor

By Chamila Karawita

අවසන් පන්දුවාරය දක්වා තියුණු මුහුණුවරක් ගත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී කලම්බු ස්ටාර්ස් පිලට එරෙහිව කඩුලු 2 ක ජයක් වාර්තා කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම 2022 වසරේ LPL ශූරයින් බවට අද (24 දා) රාත්‍රියේ කිරුළු පැළඳූහ. මෙය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පිට පිටම එල්.පී.එල්. ශූරතාවය දිනා ගන්නා ලද තෙවැනි අවස්ථාව ‌ලෙසින් සටහන් විය.

පන්දු 4 ක් ඉතිරිව තිබියදී ජැෆ්නා කණ්ඩායමේ ශූරතා කුසලාන දිනා ගත් අතර ඒ වෙනුවෙන් එම කුසලාන සමඟ ඩොලර් ලක්ෂයක හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් තුන්කෝටි හත්තෑ ලක්ෂයකට ආසන්න මුදලකටද හිමිකම් කීවේය. අනුශූරතාවයට පත් ඇන්ජලෝ මැතිව්ස්ගේ කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට ශූරතා කුසලානට හිමි මුදලින් භාගයක් හෙවත් ඇමරිකන් ඩොලර් 50,000 ක මුදලක් හිමිවිය.

ජැෆ්නා කණ්ඩායමට තරගය වාසිය සහගත ලෙස පත් කළ ප්‍රධානම නියමුවා වූයේ අවිශ්ක ප්‍රනාන්දුය. ඉනිම ආරැඹි අවිශ්ක 19 පන්දුවාර වන තෙක්ම කඩුල්ල ආරක්ෂා කර ගනිමින් ලකුණු 50 ක් රැස් කරගත්තේය. පන්දු 43 ක් ඒ සදහා වැය කළ දකුණත් පිතිකරුවා ඊට හයේ පහරක් සහ හතරේ පහර 4 ක්ද එල්ල කළේය. මෙම ලකුණු සංඛ්‍යාවත් සමග අවිශ්කගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව තරග 10 කදී ලකුණු 339 ක් වශයෙන් ඉහළ ගිය අතර එය මෙවර තරග වාරයේ පිතිකරුවකු රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් ද සටහන් විය. මෙම දක්ෂතාව ප්‍රධාන කොට ඔහුට තරගාවලියේ දක්ෂතම පිතිකරු සම්මානය ද හිමිවිය.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් සදීර සමරවික්‍රමට එක් වුණු අවිශ්ක ප්‍රනාන්දු, පන්දු 49 කින් ලකුණු 72 ක් එක් කරමින් ජැෆ්නා කිංග්ස් පිල ආරක්ෂාකාරී ඉසව්වකට රැගෙන ගියහ. ඉතා වටිනා ඉනිමක් ක්‍රීඩා කළ සධීර පිටියෙන් ඉවත් වන විට පන්දු 27 කට මුහුණ දෙමින් ලකුණු 44 ක් ලබා ගත්තේ තම ඉනිම හයේ පහරක් සහ හතරේ පහර 6 කින් සරසා ලමිනි.

තරග 9 කට ක්‍රීඩා කළ සදීර මුලු ලකුණු 294 ක් රැස් කරන ලද්දේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 58.80 ක් රඳවා ගනිමිනි. මෙය මෙවර තරගාවලියේ පිතිකරුවකු වාර්තා කරන ලද හොඳම සාමාන්‍ය විය. මෙම දක්ෂතාව ප්‍රධාන කොට තරගාවලියේ වීරයා සම්මානය සදීර ට හිමිවිය.

සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ ඇන්ජලෝ මැතිව්ස් උඩ පන්දුවක් රැක ගැනීම නිසා සදීර පිටියෙන් ඉවත් වූ අතර එහිදී නැවතත් ලකුණු 16 ක් ඇතුළත කඩුලු 4 ක් දවා ගත් ස්ටාර්ස් පන්දු යවන්නෝ යළිත් තරගයට අවතීර්ණ වූහ. මලික් (10, වෙල්ලාලගේ (02), තිසර පෙරේරා (06) සහ මහීෂ් තීක්ෂණ (01) දැවී ගිය පිතිකරුවන් වූහ.

කෙසේ ජයග්‍රහණයට ලකුණු 02 ක් අවශ්‍ය තිබියදී පන්දුවට පහර දීමට පැමිණි වියස්කාන්ත්ය. අවසන් පන්දුවාරය යැවූ කසුන් රජිත වේගය අඩාල කරමින් එවන ලද පන්දුව වයිඩ් ලකුණක් ලෙසින් ඇදී ගිය අතර එය කඩුලු රකින්නාට නිසියාකාරව ග්‍රහණය කර ගැනීමට නොහැකිවීම නිසා තවත් ලකුණකට පැතිමාරු කරගත් පිතිකරුවෝ ජැෆ්නා ජයග්‍රහණය සහතික කළහ.

අවසන් පන්දුවාර 5 දී රැස් කරන ලද ලකුණු 61 ත් සමග නියමිත පන්දුවාර 20 අවසන් වන විට කඩුලු 5 කට ලකුණු 163 ක් රැස් කර ගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමත්විය. කාසියේ වාසිය දිනූ ජැෆ්නා නායක තිසර පෙරේරාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් කලම්බු ස්ටාර්ස් පිලේ පළමු කඩුල්ල පළමු පන්දුවාරයේදීම දවා ගැනීමට තිසර සමත් වුවත්, දෙවැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංකව සහ දිනේෂ් චන්දිමාල් පවර්ප්ලේ පන්දුවාර 6 දී ලකුණු 55 ක් එක් කිරීමට සමත්වූහ.

එතැකින් නොනැවතුණු ඔවුන් දෙපළ එම කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 75 දක්වා ඉහළ දැමුවේ ඒ සදහා පන්දු 53 ක් පමණක් ක්‍රීඩා කරමිනි. දුනිත් වෙල්ලාලගේ විසින් අසලංකව දවා ගැනීමත් සමඟ කලම්බු කණ්ඩායම එතෙක් පවත්වාගෙන ආ ලකුණු ලබා ගැනීමේ වේගයට පහරක් එල්ල නොවූනාම නොවේ. පන්දුවට පහර දීමට පැමිණි රවී බොපරා මන්දගාමී ආරම්භයක් ලබා ගත්තද අධි වේගයෙන් පන්දුවට පහර දෙන පන්දුවාර 4 දී ඔහුගේ පිත්ත ක්‍රියාත්මක විය. කලම්බු ඉනිම අවසන් වන විට බොපාරාගේ ඉනිම සටහන් වූයේ පන්දු 33 කදී ලකුණු 47 ක් වශයෙනි. හයේ පහර 3 ක් සහ හතරේ පහරක්ද ඇතුළත් කිරීමට පරිණත පිතිකරුවා අමතක නොකළේය.

විශිෂ්ඨ ලෙස  පන්දුවට පහර දුන් චන්දිමාල් අර්ධ ශතකයට ලකුණක් තිබියදී දුවද්දී දැවී ගිය අතර මහීෂ් තීක්ෂණගේ පන්දුවක් හමුවේ පහරක් එල්ල කිරීමට යෑමෙන් මැතිව්ස් (12), කඩුල්ල බිඳ ගත්තේය. මෙම සිද්ධීන් නිසා සමඟ කිංග්ස් ඉනිම ආපස්සට ඇදීමක් සිදුවිය. කෙසේ වෙතත්, නබීගේ සහාය ලබා ගත් බොපාරා පන්දු 19 කදී වේගවත් ලකුණු 45 ක් රැස් කරමින් කලම්බු කිංග්ස් පිලට ශක්තිමත් නිමාවක් සහති කළේය. සමන් ඛාන්ගේ 6 වැනි පන්දුවාරයට ග්ලාන්ස් කිරීම් වලින් හතරේ පහර 4 ක් එල්ල කළ චන්දිමාල් ස්ටාර්ස් ඉනිමේ කැපී පෙනෙනම පිතිකරණයට හිමිකම් කීවේය. පන්දු 40 ක් වැය වුණු එ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය. පවර් ප්ලේ පන්දුවාර 6 අවසන් වීමත් සමග පන්දු යැවීමට පැමිණි වියස්කාන්ත් සහ වේල්ලාලගේ ලකුණු 11 ක් පමණක් ලබා දෙමින් පන්දු යැවීම නිසා අසලංක කලබල වූවේය. ඒ අනුව සීමා ඉරෙන් ඉදිරියට පැන පහර එල්ල කිරීමට ගත් සූදානමේදී එය ෂෝට් තර්ඩ්මෑන් කළාපයේ සිටි වියස්කාන්ත්ගේ දෑත් අතර සිර විය. අසලංක දැවි යන විට පන්දු 23 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් පන්දු ලකුණු 31 ක් ලබා සිටියේය.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest