slc
logo
Home   |    News
මාර්තු 23, 2023
නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ යොවුන් ක්‍රිකට් ශූරතාව දිනා ගත්තේය. ජයග්‍රාහී මුවර්ස් පිලට ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චිංතක එදිරිමාන්න හා තරගාවලි ලේකම් කසුන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ අතින් ශූරතා කුසලානය සමග රුපියල් ලක්ෂ 5ක මුදල් ත්‍යාගය පිරිනැමුණු අතර, අනු ශූරයින් බවට පත් වූ රාගම ක්‍රිකට් සමාජයට අනු ශූරතාව සමග රුපියල් ලක්ෂ 3ක මුදල් ත්‍යාගය ප්‍රදානය කෙරුණි.
මෙවර තරගාවලියේ තරග 7කදී ලකුණු 228ක් රැස්කර ගනිමින් හා කඩුලු 34ක් බිදහෙලමින් දැත්වූ දස්කම් මත රාගම ක්‍රීකට් සමාජයේ නායක ඩිලෝන් පීරිස්ට තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය සමග රුපියල් ලක්ෂයක ත්‍යාගය පිරිනැමූ අතර, තරග 5කදී ලකුණු 427ක් ලබාගත් ඒස් කැපිටල් පිලේ සකුණ ලියනගේ තරගාවලියේ හොදම පිතිකරුට හිමි කුසලානය හා මුදලින් රුපියල් 75000ක් ලබා ගත්තේය. එමෙන්ම තරග 6කදී කඩුලු 34ක් බිදහෙලාගත් මුවර්ස් පිලේ තේෂාන් විතූෂන් තරගාවලියේ හොදම පන්දු යවන්නාට හිමි කුසලානය හා රුපියල් 75000ක්, අවසන් තරගයේ වීරයා ලෙස ලකුණු 73ක් ලබාගත් මොහොමඩ් ෂමාස් වෙත කුසලානය සමග රුපියල් 50000ක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිරිනැමුණි.
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද නිමාවට පත් වූ අවසන් මහා තරගයේදී, කාසියේ වාසිය දිනාගත් රාගම පිල සියළු දෙනා දැවී ලකුණු 293ක් ලබාගත් අතර, පළමු ඉනිමේ ජය හඹා ගිය මුවර්ස් ක්‍රීඩා සමාජය ඕවර් 62යි පන්දු 5කට මුහුණදී කඩුලු 9කට ලකුණු 298ක් ලබා ගත්තේය.
රාගම හා මුවර්ස් යන දෙපැත්තටම දෝලනය වූ මේ තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය හඹා ගිය මුවර්ස් පිල එක් අවස්ථාවක කඩුලු 3කට ලකුණු 262ක් ලබා සිටියදී ලකුණු 15ක් තුල කඩුලු 5ක් දවා ගැනීමට රාගම ක්‍රිකට් සමාජයේ නායක ඩිලෝන් පීරිස් හා ශෂික දුල්ෂාන් සමත්වීම ප්‍රබල ලෙස තරගයට අවතීර්ණවීමක් විය. 9 වැනි කඩුල්ලට ලකුණු 15ක සම්බන්ධතාවක් ෂාකූර් රස්නී හා සිසිත මදනායක අතර ගොඩනැගීම යම් සහනයක් විය.
එවිට මුවර්ස් පිල ලකුණු 292කට කඩුලු 9ක්වී තිබිණි. සිසිත මදනායක ලකුණු 12කට දැවී ගිය පසු මුවර්ස් පිලට පළමු ඉනිමේ ජයග්‍රහණය උදෙසා කඩුල්ලක් අතැතිව තවත් ලකුණු 2ක් අවශ්‍යව තිබිණි. නොදැවී ලකුණු 14ක් වාර්තා කළ ෂාකූර් රස්නී දැවැන්ත හයේ පහරක් ඩිලෝන් පීරිස්ගේ පන්දුවකට එල්ල කොට පළමු ඉනිමේ ජයග්‍රහණය සටහන් කර ගැනීමට සමත්වීමත් සමග තරගය නවතා දැමුණි.
මුවර්ස් පිලේ නායක ජනිස්ක පෙරේරා හා මොහොමඩ් ෂමාස් අතර සිවුවැනි කඩුල්ලට ලකුණු 136ක සබඳතාවක් ගොඩනැගීමත්, අංක තුන පිතිකරු ෂොහාන් ඩී ලිවේරා පන්දු 57කදී ලකුණු 72ක වේගවත් අර්ධ ශතකයක් වාර්තා කිරීමත්, වාසි සහගත අවස්ථා දෙකකි. මොහොමඩ් ෂමාස් පන්දු 87කදී හයේ පහර 3ක් හා හතරේ පහර 3ක් සමග ලකුණු 73ක්, ජනිස්ක පෙරේරා පන්දු 128කදී හතරේ පහර 6ක් සමග ලකුණු 72ක් වා‍ර්තා කරමින් ජයග්‍රහණයට මග පාදා දුන්හ.
ෂොහාන් ඩී ලිවේරාගේ ලකුණු 72කට හයේ 2ක් හා හතරේ පහර 7ක් අන්තර්ගතවූ අතර, ලිවේරා සමග එක්වූ ආරම්භක පිතිකරු දිනුක දිල්ෂාන් පන්දු 54කදී ලකුණු 44ක් ලබා දෙවැනි කඩුල්ලට ලකුණු 112ක සම්බන්ධතාවක් ගොඩනැගීම ද කැපී පෙණුනි. රාගම පිලේ ඩිලෝන් පීරිස් කඩුලු 5ක් හා ශෂික දුල්ෂාන් කඩුලු 3ක් බිදහෙලමින් මුවර්ස් පිලට පීඩනය වැඩි කළහ.
පළමු දිනයේදී රාගම ක්‍රිකට් පිලේ මුල් කඩුලු හතර ලකුණු 69කට දැවී ගොස් තිබූ අතර, මැද පෙළ ක්‍රීඩකයන්ගේ ශක්තිය මත එක් අවස්ථාවකදී කඩුලු 6කට ලකුණු 209ක් විය. එහෙත් 6 වැනි හා 7 වැනි කඩුලු දෙක ලකුණු 4ක් තුල දැවී යෑමෙන් රාගම පිලේ ලකුණු වේගය අඩුවී ගියේය.
රාගම පිලේ පිතිකරුවන් අතර, ඉදිරියෙන්ම සිටින රන්මිත් ජයසේන ලකුණු 72ක් ලබා සිටියදී දුවද්දී දැවී යෑම ඔවුනට විශාල පාඩුවක් විය. එමෙන්ම අංක තුන පිතිකරු දුලාජ් බණ්ඩාර ලකුණු 73කදී දැවී යෑමද අවාසිදායක විය. රන්මිත් හා දුලාජ් බණ්ඩාර අතර 5වැනි කඩුල්ලට ලකුණු 93ක සම්බන්ධතාවක් ගොඩනැගුණු අතර රන්මිත් හා ඩිලෝන් පීරිස් අතර, 6 වැනි කඩුල්ලට ලකුණු 47ක සම්බන්ධතාවක් ගොඩනැගුණි.
රන්මිත් ජයසේන පන්දු 117 කදී ලකුණු 72ක වාර්තා කළ අතර, එයට හතරේ පහර 6ක් ඇතුලත් විය. රන්මිත් මෙම තරගයත් සමග තරග 7කදී ශතකයක් හා අර්ධ ශතක 3ක් සමග තරගාවලියේදී ලකුණු 410ක් ලබා ගෙන ඇත. ඔහුගේ වැඩිම ලකුණු ප්‍රමාණය 139ක් වේ.
දුලාජ් බණ්ඩාර හතරේ පහර 5ක් සමග පන්දු 150කදී ලකුණු 73 වාර්තා කළ අතර, ඔහු මෙවර තරගාවලියේ වාර්තා කළ තෙවැනි අර්ධ ශතකය වේ. දුලාජ් මෙම තරගාවලියේදී මෙතෙක් තරග 7කදී අර්ධ ශතක 3ක් සමග ලකුණු 291ක් ලබා සිටී.
රාගම පිලේ නායක ඩිලෝන් පීරිස් පන්දු 46කදී හතරේ 3ක් සමග ලකුණු 27ක් ලබා ගනිද්දී අවසන් පිතිකරුවන් අතරට එක් වූ ශෂික දුල්ෂාන් පන්දු 69කදී හතරේ 3ක් සමග නොදැවී ලකුණු 29වාර්තා කිරීමට සමත් වූවේය. මුවර්ස් පන්දු යවන්නන් අතුරින් තේෂාන් විතූෂාන් කඩුලු 3ක් හා දිනුක දිල්ෂාන් කඩුලු 2ක් බිද හෙලීමට සමත් වූහ. මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වූ මුවර්ස් ක්‍රීඩා සමාජයේ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක යාපනය මැදි විදුහලෙන් පිටියට පිවිසි විතූෂාන් මේ තරගයද ඇතුළුව තරග 6කදී කඩුලු 31ක් බිදහෙලා සිටී.
ජාතික තලයට පිවිසෙන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා උරගා බැලෙන හොදම තරගකාරී අවස්ථාවක් ලෙස සැලකෙන මෙම තරගාවලිය කාණ්ඩ 4ක් යටතේ කණ්ඩායම් 24ක් අතර පැවැත්විණි. ඒ ඒ කාණ්ඩවල මුල් කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. අවසන් පූර්ව වටයේදී මුවර්ස් ක්‍රීඩා සමාජය හා රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිමේ ලකුණු අනුව පිළිවෙලින් එස්එස්සී පිල හා ටැමිල් යූනියන් පිල පරාජය කොට අවසන් මහා තරගයට පිවිසියේය.

රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිමට සියළු දෙනා දැවී ලකුණු 293යි (ඕවර් 101.5) – නුෂාල් ධර්මරත්න 10, දුලාජ් බණ්ඩාර 73, ළහිරු දෙවටගේ 17, රන්මිත් ජයසේන 72, ඩිලෝන් පීරිස් 27, ශෂික දුල්ෂාන් 52, අශේන් ප්‍රනාන්දු නොදැවී 15 ( දිනුක දිල්ෂාන් 19/2, ජනිස්ක පෙරේරා 43/1, ඉම්තියාස් ස්ලාසා 97/1, තේෂාන් විතූෂන් 102/5)

මුවර්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම කඩුලු 9කට ලකුණු 298යි (ඕවර් 62.5) – දිනුක දිල්ෂාන් 44, ෂොහාන් ඩී ලිවේරා 72, මොහොමඩ් ෂමාස් 73, ජනිස්ක පෙරේරා 72, සිසිත මදනායක 12, ෂාකූර් රස්නි නොදැවී 14 (කල්හාර සේනාරත්න 31/1, ඩිලෝන් පීරිස් 102/5, ශෂික දුල්ෂාන් 92/3)

ශ්‍රී ලංකා ක්‍රිකට් තරග සංවිධායක කමිටු ලේකම් කසුන් ප්‍රනාන්දු සහ ජාතික ක්‍රිකට් අංශ ප්‍රධානී චින්තක එදිරිමාන්න මහතා අතින් ඩෙලෝන් පීරිස් තරගාවලියේ වීරයා සම්මානය ලබා ගනිමින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් තරග සංවිධායක කමිටු ලේකම් කසුන් ප්‍රනාන්දු සහ දේශීය ක්‍රිකට් අංශ ප්‍රධානී චින්තක එදිරිමාන්න මහතා අතින් තීෂන් වීතූෂාන් දක්ෂතම පන්දු යවන්නා සම්මානය ලබා ගනිමින්.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් තරග සංවිධායක කමිටු ලේකම් කසුන් ප්‍රනාන්දු සහ ජාතික ක්‍රිකට් අංශ ප්‍රධානී චින්තක එදිරිමාන්න මහතා අතින් සකුණ ලියනගේ දක්ෂතම පිතිකරුවා සම්මානය ලබා ගනිමින්.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest