slc
logo
Home   |    News
මාර්තු 30, 2023
6 වැනි තරගයේදී කළම්බු පිල ජයග්‍රාහී මාවතට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ මූලික වටය යටතේ හය වැනි තරගය ලෙසින් සහභාගිවුණු ගෝල් පිලට එරෙහි තරගයේදී ලකුණු 72 ක ජයක් වාර්තා කළ කලම්බු කණ්ඩායම මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට අද (30 වැනිදා) සමත්වූවේය. මෙවර තරගාවලියේ තරග 5කට සහභාගීවී තරග 3ක පරාජය වැළද සිටි කළම්බු පිල තරග දෙකක් විසදුමකින් තොරව අවසන් කළ අතර, අද සහභාගී වූ 6 වැනි තරගයේදී මුල්ම ජය වාර්තා කිරීමට සමත්වීම විශේෂත්වයකි.

කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩා පිටියේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ගෝල් පිල මුලින් පන්දුවට පහරදීමට නිපුන් ධනංජය පෙරටු කොටගත් කළම්බු පිලට ආරාධනා කළ අතර, එහිදී කළම්බු පිතිකරුවන් සියළු දෙනා දැවී ලකුණු 225ක් වාර්තා විය. පළපුරුදු පන්දු යවන්නෙකු වූ නුවන් ප්‍රදීප්ගේ පන්දු හමුවේ ගෝල් ආරම්භය කඩා වැටුණු හෙයින් සියලු දෙනා දැවී ලකුණු 154කට සීමා විය.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ නුවන් ප්‍රදීප් මෙම තරගයේදී කඩුලු 3ක් බිදහෙලූ අතර, නුවන්ගේ පන්දු ඉදිරියේ ගෝල් ආරම්භක පිතිකරුවන් වූ සොහාන් ඩී ලිවේරා (ලකුණු 19) හා විශාද් රන්දික (ලකුණු 9) ලකුණු පුවරුව 29ක් වෙද්දී ක්‍රීඩාගාරයට පියමන් කළහ. දිනේෂ් චන්දිමාල් ලකුණු 10කට දවා ගැනීමට උදිත් මධුෂාන් සමත් වූ අතර, වෙනදා ලකුණු අතරට පැමිණෙන පසිඳු සූරියබණ්ඩාරට හිස ඔසවන්නට නුවන් ප්‍රදීප් ඉඩ නොදුණි. ගෝල් මුල් කඩුලු හතරම ලකුණු 47ක් වෙද්දී දැවී යෑම පීඩනය වැඩිවීමට හේතුවකි.

පැතුම් කුමාර පන්දු 32කදී හතරේ පහර 2ක් සමග ලකුණු 22ක්, සුමින්ද ලක්ෂාන් පන්දු 28කදී හතරේ 3ක් සමග ලකුණු 26ක්, කවිෂ්ක අංජුල පන්දු 33කදී හතරේ පහර 2ක් සමග ලකුණු 21ක් හා අකිල ධනංජය පන්දු 32කදී ලකුණු 27ක් ලබා ගැනීම හැර ගෝල් පිතිකරුවන් ලකුණු අතර නොවුණි.

කළම්බු ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 14ක් ලබා සිටියදී හා දෙවැනි කඩුල්ල ලෙස අංක තුන පිතිකරු ක්‍රිෂාන් අංජුල ලකුණු 5ක් ලබා සිටියදී දවාගෙන ගෝල් පන්දු යවන්නෝ මුල් අවස්ථාවේ තරජන එල්ල කළහ. එවිට ලකුණු පුවරුව කඩුලු 2කට ලකුණු 39ක් වූ අතර, සිතාර ගිම්හාන හා දුෂාන් විමුක්ති එක්ව තෙවැනි කඩුල්ල ලකුණු 71ක් දවා රැගෙන ආහ. සිතාර ගිම්හාන ලකුණු 44ක් ලබා සිටියදී දවා ගැනීමට රමේෂ් මෙන්ඩිස් සමත් වූවේය. නිපුන් ධනංජය පැමිණි විගසම ලකුණු නොලබා ක්‍රීඩාගාරයට යැවීමට අකිල ධනංජය සමත්වීමෙන් ලකුණු වේගය තරමක් අඩාල විය.

කළම්බු පිලේ කඩුලු 5ක් ලකුණු 102කට දැවීගොස් තිබියදී දුෂාන් විමුක්ති හා සචිත ජයතිලක අතර 6 වැනි කඩුල්ලට වාර්තා වූ ලකුණු 92ක සම්බන්ධතාව ඉනිමේ කැපී පෙණෙන පිතිකරණය විය. අවශ්‍යම අවස්ථාවේ ලකුනු අතරට පැමිණි දුෂාන් පන්දු 89කදී හතරේ පහර 2ක් සමග ලකුණු 46ක් ලබාගත් අතර, සචිත පන්දු 74කදී හයේ පහර 2ක් හා හතරේ පහර 5ක් සමග ලකුණු 58ක් ලබා ගැනීමෙන් කලම්බු පිලට ශක්තියක් විය. කළම්බු පිලට තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වූ මිලාන් රත්නායක ප්‍රමුඛ පන්දු බළ ඇණිය අවසන් කඩුලු 4 ලකුණු 31ක් තුලදී දවා ගැනීමෙන් කළම්බු ඉනිම නිමාවට පත් විය. පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ලකුණු 34 ක් ඇතුළත කඩුලු 3 ක් දවා ගැනීමට සමත්වූ දුශාන් විමුක්ති තරගයේ වීරයා සම්මානයෙන් නම් කෙරිණ. ගෝල් පිලේ ආරම්භක පන්දු යැවූ මිලාන් රත්නායක කඩුලු 4ක්, කවිෂ්ක අංජුල කඩුලු 2ක් හා තිලංග උදේශන කඩුලු 2 ක් බිදහෙලා ගැනීමට සමත් විය.

තරගයේ වීරයා  – දුශාන් විමුක්ති

කළම්බු – සියළු දෙනා දැවී ලකුණු 225 (ඕවර් 48) අවිශ්ක ප්‍රනාන්දු 14, සිතාර ගිම්හාන 44, දුෂාන් විමුක්ති 46, අශේන් බණ්ඩාර 19, සචිත ජයතිලක 58, දේව් විජේසුන්දර 16 (මිලාන් රත්නායක 37/4, කවිෂ්ක අංජුල 54/2, තිලංග උදේශන 45/2, රමේස් මෙන්ඩිස් 23/1, අකිල ධනංජය 23/1

ගෝල් – සියළු දෙනා දැවී ලකුණු 154යි (ඕවර් 39.4) සොහාන් ඩී ලිවේරා 19, දිනේෂ් චන්දිමාල් 10, පැතුම් කුමාර 22, සුමින්ද ලක්ෂාන් 26, කවිෂ්ක අංජුල 21, අකිල ධනංජය 27 ( නුවන් ප්‍රදීප් 31/3, දුෂාන් විමුක්ති 34/3 උදිත් මධුෂාන් 15/2, ප්‍රභාත් ජයසූරිය 36/1, නිප්නු ධනංජය 10/1

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar