CHAMILA KARAWITA REPORTING FROM GALLE
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දින දිවා භෝජනය සඳහා තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින අයර්ලන්ත කණ්ඩායම ලකුණු 400 කඩඉම ආසන්නයට පැමිණ සිටියේය. කඩුලු 6 කට ලකුණු 399 ක් ලෙසින් සටහන් වුණු එම ලකුණු සංඛ්‍යාව අයර්ලන්ත කණ්ඩායමක් ටෙස්ට් ඉනිමකදී වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් ද සටහන් විය.
2018 වසරේ පාකිස්තානයට එරෙහිව පැවැති මගල ටෙස්ට් තරගයේදී ලබා ගත් ලකුණු 339 මීට ඉහත අයර්ලන්ත කණ්ඩායමේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය. උප නායක පෝල් ස්ටර්ලිංග්ගේ මංගල ශතකය ද සමඟ අයර්ලන්තය එම කඩඉම පහසුවෙන්ම පසුකර ගියහ.
මස්පිඬු රෙැළීම නිසා ලකුණු 74 දී තාවකාලිකව ඉනිම නතර කොට විවේක ගත් ස්ටර්ලිංග් ලෝකන් ටකර් (80) දැවී යෑමත් සමඟ යළි පිටියට පිවිසියේය. ලකුණු ලබා ගැනීමට වඩා කඩුල්ල ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහර දීමට වැඩි ප්‍රවණතාවක් දැක්වූ ස්ටර්ලිංග් ශතකය සඳහා ලබා ගත් ලකුණු 26 සදහා පන්දු 38 ක් වැය කළේය.
කෙටි පන්දුවලට පහර දීමට ස්ටර්ලිං දක්වනු ලබන දුර්වලතාව වටහා ගත් ශ්‍රී ලංකා නායකයා පා ඉන්න දෙසින් පන්දු රකින්නන් පස් දෙනෙකු යෙදවූයේ කොයි මොහොතක හෝ එම දුර්වලතාවයෙන් ඔහුගේ කඩුල්ල දවා ගැනීමටය. එහෙත් වැඩි කලබලයක් නොපෙන්වූ දකුණත් පිතිකරුවා පා ඉන්න දෙසින් නොව ඩීප් පොයින්ට් කළාපයට ඉහළින් පන්දුව හයේ සීමාවට යවමින් ශතකය සම්පූර්ණ කරගත්තේය. එය අයර්ලන්ත පිතිකරුවකු ශතකයක් වාර්තා කරන ලද තෙවැනි අවස්ථාව ලෙසින්ද සනිටුහන් විය.
ශතකය සම්පූර්ණ කරගත්තද ශ්‍රී ලංකාවේ සැලසුම එලෙසින්ම ක්‍රියාත්මක විය. දිගින් දිගටම යොමු කරන ලද කෙටි පන්දු නිසා විශ්වාස බිඳ ගත් ස්ටර්ලිංග් අවසානයේ දිමුත් එළන ලද උගුලේ හසුවූයේ එල්ල කරන ලද පුල් පහර ඩීප් ෆයින්ලෙග්හි පන්දු රැකී ධනංජය ද සිල්වාගේ දෙඅත් අතර සිරවීමෙනි. පන්දු 185 කට මුහුණ දී සිටි ස්ටර්ලිංග් දැවී යන විට ලකුණු 103 ක් ලබා ගත්තේ ඉන් 4 ක් හයේ පහර ලෙසින්ද 9 ක් හතරේ පහර ලෙසින්ද සටහන් කර ගනිමිනි.
ස්ටර්ලිංග් පිටියට පිවිසීමට පෙර ලෝකන් ටකර් සහ කර්ටිස් කැම්පර් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 89 ක් එක් කළේ දෙදෙනාම අර්ධ ශතක වාර්තා කරගනිමිනි. බැල්බර්නි සමඟ වාර්තා ගත සම්බන්ධතාවක් පැවැත්වූ ස්ටර්ලිං අද දිනයේදී කැම්පර් සමඟ එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64 ක් එක් කළහ.
උදයවරුවේ ලකුණු 80 කින් ලකුණු පුවරුව ඉහළ දමා ගැනීමට අයර්ලන්ත පිතිකරුවන් සමත් වද්දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් සමත්වූයේ කඩුලු 2 ක් පමණක් දවා ගැනීමටය. එහිදී පළමු කඩුල්ල විශ්ව ප්‍රනාන්දු විසින් දවා ගනිද්දී ස්ටර්ලීංග්ගේ කඩුල්ල අසිත ප්‍රනාන්දු විසින් දවා ගත්තේය.