slc
logo
Home   |    News
අප්‍රේල් 3, 2023
දික්වැල්ලගේ වේගවත් ශතකයෙන් කැන්ඩි ජය ලබයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී මූලික වටයේ අවසන් තරගයක් ලෙස පැවැති කළම්බු – කැන්ඩි අතර තරගයෙන් කැන්ඩි පිල ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 48කින් ජය වාර්තා කළේය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් කළම්බු නායක නිපුන් ධනංජය කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදී කඩුලු 7කට ලකුණු 271ක් රැස්කර ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි ක්‍රීඩකයෝ ඕවර් 40.3කදී කඩුලු 4කට ලකුණු 244ක් රුස්කර තිබියදී අයහපත් ආලෝක තත්ත්වය හමුවේ තරගය නතර කෙරුණි. එවිට කැන්ඩි පිල ඕවරයකට දළ ලකුණු ලබා ගැනීමේ වේගය 6.02ක් ලෙස රදවා ගෙන තිබිණි. කෙසේ වුවද තරගය නතර කරද්දී ඩක්වර්ත් ලුවිස් න්‍යායයට අනුව කැන්ඩි පිල ඉදිරියෙන් සිටි බැවින් ඔවුන්ගේ ජයග්‍රහණය ප්‍රකාශ විය.

කැන්ඩි ලකුණු වේගය වැඩි කිරීමට ප්‍රධාන වශයෙන් දායකත්වය සැපයූවේ නායක නිරෝෂන් දික්වැල්ල විසිනි. ආරම්භක පිතිකරු දික්වැල්ල පන්දු 81කදී හයේ 4ක් හා හතරේ පහර 12ක් සමග ලකුණු 103ක් ලබා ගැනීම කදිම පිටු බලයක් විය. තරගය නතර කරද්දී පන්දු 68කදී හයේ පහරක් හා හතරේ පහර 3ක් සමග නොදැවී ලකුණු 53ක් ලබා ගැනීමට ළහිරු උදාර සමත් වූවේය.

කළම්බු පිලේ අශේන් බණ්ඩාර ශතකයට ලකුණක් අඩුව තිබියදී ලකුණු 99කට දැවී යෑම කාගේත් කතාබහට ලක්විය. 24 හැවිරිදි අශේන් බණ්ඩාර පන්දු 99කදී මෙම ලකුණු ප්‍රමාණය කළම්බු පිලට එක්කළ අතර, ඒ සදහා හයේ පහර 3ක් හා හතරේ පහර 7ක් අන්තර්ගත කළේය. කළම්බු පිලේ අවසන් තරගය මෙය වූ අතර, අශේන් බණ්ඩාර අද දිනය වෙද්දී තරගාවලියේ වැඩිම ලකුණු ලැබූ පිතිකරු ලෙසද තම නාමය එක්කර ගත්තේය. ඔහු මෙවර නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ තරග 8කට සහභාගීවී ඉනිම 7කදී ලකුණු 419ක් ලබා ගත්තේය. තරගාවලියේ මූලික වටයේදී ගෝල් පිලට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී ලකුණු 101ක් වාර්තා කළ අතර, ජැෆ්නාට එරෙහිව පල්ලේකැලේදී හා කොළඹ ආර්. ප්‍රෙමදාස ක්‍රීඩාංගණයේදී පිළිවෙලින් ලකුණු 60ක් හා ලකුණු 69ක් ලබා ගැනීමට අශේන් බණ්ඩාර සමත් වූවේය.

කළම්බු පිලේ මුල් කඩුලු 3ක් ලකුණු 25කට දැවීගොස් සිටි අතර, දුෂාන් විමුක්ති හා අශේන් බණ්ඩාර එක්ව 4 වැනි කඩුල්ලට ලකුණු 73ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. 5 වැනි කඩුල්ලට අශේන් බණ්ඩාර සමග එක්වූ නිපුන් ධනංජය ලකුණු 114ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර ධනංජය පන්දු 78කදී හයේ පහරක් හා හතරේ පහර 3ක් සමග ලකුණු 62ක් එක් කළේය. සචිත ජයතිලක ලකුණු 15ක් හා ඉසිත දේව් විජේසුන්දර නොදැවී ලකුණු 19ක් ගෙන පසුපෙළ ශක්තිමත් කළහ.

කන්ඩායම් 5ක් සහභාගී වූ මෙම තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණගත් දඹුල්ල හා ජැෆ්නා අතර අවසන් මහා තරගය මේ 6 වැනිදා විදුලි ආලෝක ධාරා මැද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කළම්බු – කඩුලු 7ක් දැවී ලකුණු 271යි (ඕවර් 50)
අශේන් බණ්ඩාර 99, දුෂාන් විමුක්ති 31, නිපුන් ධනංජය 62, සචිත ජයතිලක 15, ඉසිත දේව් විජේසුන්දර නොදැවී 19 ( නිපුන් රන්සික 32/3, අම්ෂි ද සිල්වා 59/2, වනුජ සහන් 44/1 )

කැන්ඩි – අයහපත් ආලෝක තත්ත්වය හමුවේ තරගය නතර කරද්දී කඩුලු 4ක් දැවී ලකුණු 244 (ඕවර් 40.3) – නිරෝෂන් දික්වැල්ල 103, ඹෂධ ප්‍රනාන්දු 19, සදුන් වීරක්කොඩි 32, ළහිරු උදාර නොදැවී 53, අහන් වික්‍රමසිංහ නොදැවී 26 ( උදිත් මධුෂාන් 27/2, ලක්ෂිත මානසිංහ 35/1, දුෂාන් විමුක්ති 66/1)

Active filters

Recent Posts

  • පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවන්ට පහසු ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමට හිමි දෙවැනි ඇඟ උණුහුම් කිරීමේ තරගයෙන් සැමෝවා කණ්ඩායමට එරෙහිව ලකුණු 76 ක ජයක් […]
  • සිංහ – කැංගරු සටනට තව එක්දින තරගයක් එක් වෙයි
    ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය යටතේ කළින් ප්‍රකාශයට පත් කළ පරිදි එක්දින තරගයක් වෙනුවට එක්දින තරග දෙකක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර සිටියි. ක්‍රිකට් […]
  • පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවෝ පරාජය වෙති
    ජනවාරි මස 18 වැනිදා සිට මැලේසියාවේදී පැවැත්වීමට නියමිත දෙවැනි වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පළමු […]
  • කණ්ඩායමේ දුර්වලතා ඉක්මනින්ම සකස් කරනවා – සනත් ජයසූරිය
     නවසීලන්තයේ පැවැති ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි 20 සහ එක්දින ක්‍රිකට් තරගාවලියන් දෙකේ දී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දක්නට ලැබුණු ඇතැම් දුර්වලතාවයන් ඉක්මනින්ම යළි සකස් කර ගැනීමට පියවර ගන්නා […]
  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee