slc
logo
Home   |    News
අප්‍රේල් 10, 2023
දුශාන් හේමන්ත ටෙස්ට් පිලට නම් කරයි

sinhala editor

අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ඨ දස්කම් දැක්වීමට සමත්ව සිටින පා දඟ පන්දු යවන්නකු වන දුශාන් හේමන්තව එක් කිරීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ක්‍රීඩකයින් 15 දනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට රමේෂ් මෙන්ඩිස්, ලසිත් ඇඹුල්දෙණිය සහ ප්‍රභාත් ජයසූරිය යන ක්‍රීඩකයින් හේමන්තට අමතරව එක්ව සිටින දඟ පන්දු යවන්නෝ වෙති. එංගලන්ත ලයන්ස් පිලට එරෙහි පැවැති එක්දින තතරගාවලියේදී කඩුලු 11 ක් දවා ගත් හේමන්ත එම තරගාවලිය ශ්‍රී ලංකා ‘ඒ’ පිලට දිනා දීමට වැඩිම මෙහෙවරක් ඉටු කිරීමට සමත්වූ පන්දු යවන්නා වූවේය. තරග 3 කදී කඩුලු 11 ක් දවා ගත් දුශාන්ගේ එම දක්ෂතාවය නිසාම තරගාවලියේ වීරයා සම්මානයෙන්ද හේ පිදුම් ලැබුවේය.

‌බී. ආර්. සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරන දුෂාන් හේමන්ත නිමාවට පත් වුණු නැෂනල් සුපර් ලීග් සිව්දින සහ එක්දින තරගාවලියේදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරමින් දස්කම් අතරට පැමිණියේය. 27 හැවිරිදි වියේ පසුවන දකුණත් පා දඟ පන්දු යවන්නා පළමු පෙළ තරග 44 කදී කඩුලු 5 බැගින් දවා ගත් අවස්ථා තුනක්ද ඇතුළුව කඩුලු 98 ක් බිද දැමීමට සමත්ව සිටියි. ඊට අමතරව එක්දින තරග 58 කදී කඩුලු 64 ක් දවා ගැනීමට සමත්ව හේමන්ත පිතිකරුවකු  වශයෙන්ද දායකත්වයක් දැක්විය හැකි ක්‍රීඩකයෙකි.

නවසීලන්ත තරග සංචාරය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටි නිරෝෂන් දික්වැල්ලට කණ්ඩායමේ ස්ථානය අහිමිව තිබේ. ඔහු වෙනුවට කඩුලු රැකීම සඳහා නිශාන් මදුශ්ක සහ සදීර සමරවික්‍රම වෙත ලබා දීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ. ගෙවී ගිය වසර 2 කට ආසන්න කාල සීමාවේදී පිතිකරුවක් ලෙස උපරිම දක්ෂතා අතරට පැමිණීමට සදීර සමත්ව සිටියි.

ඊට අමතරව නවසීලන්ත තරග සංචාරයට සහභාගි වුණු ඔෂධ ප්‍රනාන්දුට ස්ථානය අහිමිව තිබෙන අතර ඉනිම ආරම්භ කිරීමේ වගකීමද නිශාන් මදුශ්කට පැවැරී තිබේ. නවසීලන්ත තරග සංචාරයට පෙරාතුව එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැති තරගාවලියේදී තරග 3 කදී ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා කළ නිශාන් ඉනිම 5 කදී ලකුණු 514 ක් ලබා ගනිමින් තේරීම් කමිටුවේ අවධානය දිනා ගත්තේය. එම තරගාවලියේදී මදුශ්කගේ ලකුණු ලබා ගැනීම සටහන් වූයේ 150*, 01, 241, 22 සහ 100 වශයෙනි. නවසීලන්තයට එරෙහිව ටෙස්ට් වරම් දිනාගත් නිශාන් මදුශ්ක අංක 7 ස්ථානයෙන් පන්දුවට  පහර දෙමින් ඉනිමේ ලකුනු 19 ක් සහ 39 ක් වශයෙන් ලකුණු රැස් කළේය.

දිගින් දිගටම ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළ ළහිරු කුමාර සහ කසුන් රාජිතව මෙම තරගාවලියේදී විවේක ගැන්වීමට තීරණය කර තිබේ. වේග පන්දු යවන්නන්ට එතරම් සුභදායක නොවන ගාල්ල තනතීරුවේදී ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ විට ක්‍රීඩා කරනු ලබන්නේ එක් වේග පන්දු යවන්නකු හෝ දෙදෙනකු වීම නිසා ඒ වෙනුවෙන්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු සහ මිලාන් රත්නායක කණ්ඩායමට එක් කර තිබේ.

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ටෙස්ට් තරගාවලිය අප්‍රේල් මස 16 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර ඒ සඳහා වන අයර්ලන්ත පිල අප්‍රේල් 09 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණියේය.

ටෙස්ට් ලෝක ශූරතාවලියට ඇතුළත් නොවන තරගාවලියක් වන මෙම තරගාවලියේ දෙවැනි තරගය අප්‍රේල් මස 25 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම – දිමුත් කරුණාරත්න (නායක), කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, සදීර සමරවික්‍රම, කමිදු මෙන්ඩිස්, නිශාන් මදුශ්ක, දුශාන් හේමන්ත, රමේෂ් මෙන්ඩිස්, ලසිත් ඇඹුල්දෙණිය, ප්‍රභාත් ජයසූරිය, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee