slc
Home   |    News
අප්‍රේල් 26, 2023
ශ්‍රී ලංකා පිතිකරුවෝ රිසි සේ ලකුණු රැස් කරති

sinhala editor

CHAMILA KARAWITA REPORTING FROM GALLE

අයර්ලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය සම්පූර්ණයෙන්ම පිතිකරුවන්ගේ රජ දහනක් කරගත් දිමුත් කරුණාරත්න, නිශාන් මදුශ්ක සහ කුසල් මෙන්ඩිස් තිදෙනා අයහපත් කාලගුණය හේතුවෙන් තරගය තේ පානයට පෙර නතර කර දමනා විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව එක් කඩුල්ලකට ලකුණු 357 ක් දක්වා ඉහළ දැමූහ. එම ලකුණු රැස් කිරීමේදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මෙතෙක් පිතිකරුවන් යුගලක් පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තා කරන ලද හොදම සම්බන්ධතාවයේ වාර්තාවද තමන් සතු කර ගැනීමට දිමුත් සහ නිශාන් දෙදෙනා සමත්වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම ක්‍රීඩා කරනුයේ අයර්ලන්ත පිල පළමු ඉනිම වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 492 ට පිළිතුරු ඉනිම ලෙසිනි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් කඩුලු 9 ක් අතැතිව පසුපසින් සිටින්නේ ලකුණු 135 කිනි.

දිවා භෝජනයට පන්දු 2 ක් තිබියදී දිමුත් කරුණාරත්න කඩුල්ල අහිමි කර ගත්තද සිය තෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින නිශාන් මදුෂ්ක තරගය නිමා කරන විටත් නොදැවී ලකුණු 149 ක් ලබා සිටියේය.

අයර්ලන්ත ඉනිමේ එකම පන්දුවාරය යැවූ හැරී ටෙක්ටර් හමුවේ එල්ල කරන ලද දැවැන්ත හයේ පහරත් සමග මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ නිශාන් මදුෂ්ක දිනය අවසන් වන විට පන්දු 234 කට මුහුණ දී සිටියේ හයේ පහරක් සහ හතරේ පහර 18 කින් තම ඉනිම සරසා ගනිමිනි.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 129 ක අඛණ්ඩ සම්බන්ධතාවක් පැවැත්වීමට දායකත්වය ලබාදෙමින් සිටින කුසල් මෙන්ඩිස් පන්දු 96 කදී ලකුණු 83 ක් ලබා සිටින්නේ පළමු පෙළ තරගයකට හෝ ක්‍රීඩා නොකරමින් ටෙස්ට් වරම් දිනා සිටින මැතිව් හැම්ප්‍රිස්ගේ පන්දුවාරයේදී පිට පිට එල්ල කරන ලද හයේ පහර 3 ද සමඟිනි. එම හ‌යේ පහර 3 ට අමතරව තවත් හයේ පහර 2 ක් ද සිය ඉනිමට ඇතුළත් කළ මෙන්ඩිස් හතරේ පහර 7 කින්ද තම ඉනිම ශක්තිමත් කරගත්තේය.

කර්ටිස් කැම්පර්ගේ පන්දුවකට එල්ල කරන ලද පුල් පහර වැරදී යෑම නිසා ලකුණු සැණකෙළියක් වූ ගාල්ල තණතීරුවට අකමැත්තෙන් හෝ සමුදීමට දිමුත් කරුනාරත්නට සිදුවිය. ඒ සමඟම පළමු කඩුල්ලේ ලකුණු 228 ක වාර්තාගත සම්බන්ධතාව නිමාවට පත්විය. පන්දු 133 කට මුහුණ දුන් නායකයා දැවි යන විට ලකුණු 115 ක් ලබා සිටියේය. මෙම පළමු කඩුල්ලේ සම්බන්ධතාව ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ සටහන් වුණු පස්වැනි ද්විත්ව ශතක සම්බන්ධතාව ලෙසින්ද සටහන් විය.

මෙය දිමුත්ගේ ටෙස්ට් තරග දිවියේ 16 වැනි ශතකය ලෙසින් සටහන් විය. ගාල්ල ක්‍රීඩාංගණයේදී ලබාගත් 6 වැන්න ලෙසින් සටහන් වුණු මෙම ශතකය ඔහුගේ තරග දිවියේ වේගවත්ම ටෙස්ට් ශතකය ලෙසින්ද සටහන් විය. මීට පෙර දිමුත් ලබා ගත් ශතක අතර 2021 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ජොහැන්නස්බර්ග්හිදී පන්දු 123 කදී වාර්තා කරන ලද ශතකය වේගවත්ම ශතකය ලෙසින් සටහන් ව තිබුණේය.

පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 194 ඉක්මවාලීමත් නිශාන් සහ දිමුත් දෙදෙනා විසින් බිද හෙළන ලද්දේ වසර 2000 දී දකුණු අප්‍රිකානු පිලට එරෙහිව මාවන් අතපත්තු සහ සනත් ජයසූරිය දෙදෙනා විසින් රැස් කරන ලද ලකුනු 193 ක සම්බනධතාවයයි. එම ටෙස්ට් තරගය ලෝක පූජිත පිතිකරු කුමාර් සංගක්කාරගේ මංගල ටෙස්ට් තරගය ලෙසින් සටහන් විය.

දිනය ආරම්භයේ සිටම වේගයෙන් ලකුණු රැස් කිරීමේ කාර්යයෙහි නිරත වුණු ආරම්භක පිතිකරුවන් දළ ලකුණු වේගය ලකුණු 5 කට ආසන්නයේ රඳවා ගැනීමට සමත්විය. එය ඇතැම් විටෙක වර්තමාන ටෙස්ට් තරග රටාවේ පෙරැලිකාර සලකුණක් ලෙසින් සැලකෙන ‘බස්බෝල්’ පිතිකරණ රටාව සිහි ගන්වන්නක් වුවේය.

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest