slc
logo
Home   |    News
අප්‍රේල් 28, 2023
ඉනිමක ජයකින් ශ්‍රී ලංකාව 100 වැනි ටෙස්ට් ජය ලබයි

sinhala editor

CHAMILA KARAWITA REPORTING FROM GALLE

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී අයර්ලන්ත පිල ඉනිමක සහ ලකුණු 10 ක පරාජයකට ඇද දැමූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙරට ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 100 වැනි ටෙස්ට් ජයග්‍රහණය සනිටුහන් කර ගැනීමට අද (28 දා) පස්වරුවේ සමත්විය. 1982 වසරේ මංගල ටෙස්ට් තරගයට සහභාගිවූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම 100 වැනි ජයග්‍රහණය ලබා ගන්නා ලද්දේ සිය 311 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමිනි.

මෙම ජයග්‍රහණයත් සමග අවම ටෙස්ට් තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කරමින් ටෙස්ට් ජයග්‍රහණ 100 ක් ලද ආසියානු කණ්ඩායම බවටද ශ්‍රී ලංකා පිල අද දිනයේදී පත්විය. මෙතෙක් ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග අතරින් තරග 119 ක් ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබෙන අතර තරග 92 ක් ජය පැරදුමෙන් තොරව අවසන් කරගෙන තිබේ.

මෙම සුවිශේෂී කරුණට අමතරව අද දිනයේ සිදුවූ තවත් කැපී පෙනෙන සිදුවීමක් වූයේ ලොව අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකට සහභාගිවෙමින් කඩුලු 50 ක් දවා ගත් දඟ පන්දු යවන්නා ලෙසින් ප්‍රභාත් ජයසූරිය ලෝක වාර්තාවක් තැබීමට සමත්වීමය.

ජයසූරිය ලෝක වාර්තාවක් පිහිටුවද ඉනිමක පරාජයෙන් ගැලවීම සදහා ලකුණු 212 ක් ලබා ගැනීමේ අභියෝගය කර පින්නාගෙන පිටියට පිවිසි අයර්ලන්ත පිලට වැඩිම හානියක් සිදුකරන ලද්දේ රමේෂ් මෙන්ඩිස් විසිනි. දැවී ගිය කඩුලු 10 න් කඩුලු 5 ක් රමේෂ් මෙන්ඩිස්ගේ නමින් සටහන් වද්දී වේග පන්දු යවන අසිත ප්‍රනාන්දු කඩුලු 3 ක් බිඳ හෙළීය. මෙය රමේෂ් මෙන්ඩිස් විසින් කඩුලු 5 ක් දවා ගන්නා ලද සිව්වැනි අවස්ථාව ද විය.

මොවුන් තිදෙනාගේ දක්ෂ පන්දු යැවීම නිසා අයර්ලන්ත දෙවැනි ඉනිම ලකුණු 202 දී නිමාවට පත්විය. ලකුණු 161 දී 8 වැනි කඩුල්ල බිඳ වැටුණද මැතිව් හම්ප්‍රිස් සමග එක් වුණු හැරී ටෙක්ටර් අයර්ලන්ත පිල ඉනිමක පරායෙන් බේරා ගැනීමේ සටනක නිරත වූහ.

වෙනුවෙන් ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කරමින් සිටියදී අසිත ප්‍රනාන්දු පිට පිටම යවන ලද යෝකර් පන්දු දෙකකින් එතෙක් වෙලා පන්දුවට පහර දෙමින් සිටි හැරී ටෙක්ටර් (85)සහ බෙන් වයිට්ගේ කඩුලු දවා ගත්තේය.

වෙනදා මෙන් නොව ගාලු තණතීරුව පස්වැනි දිනයටත් පිතිකරුවන්ට යෝග්‍ය විය. වෙනදා මෙන් එහි තියුණු ලෙස පන්දුව දඟ කැවීම දැක ගත නොහැකි නිසා නායක දිමුත්ගේ තීරණය වූයේ එක් අන්තයකින් වේග පන්දු ය වන්නකු කැඳවීමය. එහි වගකීම භාර දුන් අසිත ප්‍රනාන්දු නායකයාගේ වගකීම අකුරටම ඉටු කරමින් අයර්ලන්ත පිතිකරුවන්ව තැති ගැන්මකට ලක් කරමින් පන්දු යැවීම කැපී පෙනිණ.

වේගය මුසු බවුන්සර් පන්දු මෙන්ම යෝකර් පන්දු වලින් ගහණ වූ අසිතගේ එක් පන්දුවක් නායක බැල්බර්නිගේ හිස් ආවරණයේ වැදීම නිසා ඔහුට පිටියෙන් ඉවත්විය. ශ්‍රී ලංකා පිලට තරගයේ වාසිය දෝලනය වූයේ ඉන් අනතුරුවය.

බැල්බර්නිගේ තාවකාලික නික්ම යෑමත් සමග පිටියට පිවිසි පළමු ඉනිමේදී ශ්‍රී ලංකාවට හිසරදයක් වූ පෝල් ස්ටර්ලිංග්ට පිටියේ රැදී සිටීමට අවස්ථාව අදාවූයේ පන්දු 5 ට පමණි. ජයසූරියගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස් රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුව හේතුවෙන් ස්ටර්ලිංග්ට පිටියෙන් ඉවතට යෑමට සිදුවිය.

මෙම කඩුල්ල දවා ගැනීමට මත්වීමත් සමඟ ලොව වේගයෙන්ම කඩුලු 50 පසුකර ගිය දඟ පන්දු යවන්නාගේ ලෝක වාර්තාව සියතට ගැනීමට ප්‍රභාත් ජයසූරියට හැකියාව ලැබිණ. සිය 7 වැනි ටෙස්ට් තරගයේදී ප්‍රභාත් එම දක්ෂතාව දක්වද්දී ඊට වසර 71 කට පෙර බටහිර ඉන්දීය කොදෙව් පිල නියෝජනය කළ ඇල්ෆ් වැලන්ටයින් එම වාර්තාවේ පැරැණි හිමිකරු වූවේය.

වමතින්ම දඟ පන්දු යැවූ වැලන්ටයින් එම කඩුලු 50 බිද දැමීම සදහා තරග 8 කට ක්‍රීඩා කර තිබිණ. මෙහි සමස්ථ වාර්තාව ජයසුරියට සංසන්දනය කරන කල්හි ඔහු එහි දෙවැනි තැන සිට ගනියි. ජයසූරියට ඉදිරියෙන් පසුවන ඔස්ට්‍රේලියානු පිල නියෝජනය කරන ලද වේග  පන්දු යවන්නකු වන චාලි ටර්නර් කඩුලු 50 දවා ගෙන ඇත්තේ ටෙස්ට් තරග 6 කට සහභාගිවෙමිනි.

අනතුරුව ලෝකන් ටකර් (13) සහ කර්ටිස් කැම්පර් (12) ඉනිම ගොඩ නැගීමේ කාර්යයක නිරත දිවා භෝජනයට පෙරම ඔවුන් දැවී යෑම නිසා පිටියෙන් ඉවතට ගිය නායක ඇන්ඩි බැල්බර්නි නැවතත් පිටියට පැමිණීමට සිදුවිය. තරගය නිමා වූයේ බැල්බර්නිගේ නමට ලකුණු 29 කුත් හැරී ටෙක්ටර්ගේ නම ලකුණු 35 කුත් ලකුණු පුවරුවේ සටහන්ව තිබියදීය.

තරගයේ වීරයා ලෙස සමස්ත තරගයේදී කඩුලු 7 ක් දවා ගත් ප්‍රභාත් ජයසූරියද තරගාවලියේ වීරයා ලෙසින් තරග 2 කදි ලකුණු 385 ක් රැස් කළ කුසල් මෙන්ඩිස්ද සම්මාන දිනා ගත්හ.

තරග‌යේ වීරයා වූ ප්‍රභාත් ජයසූරිය එම සම්මානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන‌යේ පරිපාලන අංශ ප්‍රධානී අරුණ ද සිල්වා මහතා අතින් ලබාගත් අවස්ථාව.

කුසල් මෙන්ඩිස් තරගාවියේ වීරයා සම්මානය දිනා ගනිමින්.

 

 

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest