slc
logo
Home   |    News
අප්‍රේල් 23, 2023
දුශාන්‌ හේමන්තගේ ‘ටෙස්ට් වරම’ කල් යයි

sinhala editor

CHAMILA KARAWITA REPORTING FROM GALLE

අයර්ලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් තරග ආරම්භයට තවත් ඉතිරිව ඇත්තේ පැය 24 කටත් වඩා අඩු කාලයක් නමුත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ අවධානය තවමත් යොමු වී ඇත්තේ පළමු තරගයේ පරිදිම වේග පන්දු යවන්නන් දෙදෙදෙනකු සමඟින් අවතීර්ණ වන්නේද නැතහොත් දඟ පන්දු යවන්නන් තිදෙනෙකු සමගින් තරගයට අවතීර්ණ වන්නේද යන්න පිළිබඳවය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත මෙම ටෙස්ට් තරගයේදී ඉහතින් සඳහන් කළ කරුණු දෙකෙන් අවසන් තීරණය සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයට අවතීර්ණ වුවහොත් තෙවැනි දඟ පන්දු යවන්නා ලෙසින් ලසිත් ඇඹුල්දෙණිය හෝ නවක ක්‍රීඩක දුශාන් හේමන්තගෙන් කෙනෙකු ක්‍රීඩා කරනු ඇත.

පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් විසින් අයර්ලන්ත කණ්ඩායමේ දවා ගත් කඩුලු 20 අතුරින් 15 ක්ම දවා ගැනිමට සමත්ව ඇත්තේ දඟ පන්දු යවන්නන් වේ. එම දක්ෂතාව මත ශ්‍රී ලංකාවට තදින 3 ක් අවසන්වීමට මත්තෙන් තරගය ඉනිමක සහ ලකුණු 280 ක දැවැන්ත පරතරයකින් ජය ගැනීමට හැකියාව ලැබිණ.

සාම්ප්‍රදායිකව දඟ පන්දු යවන්නන්ට හිතකර ලෙසින් හැසිරෙන ගාල්ල තණතීරුවේදී ශ්‍රී ලංකා පිල වේග පන්දු යවන්නන් වන ප්‍රනාන්දු යුගල (අසිත සහ විශ්ව) සමඟින් අවතීර්ණ විය. ඉනිම දෙකේදීම කඩුලු 2 බැගින් බිඳ හෙළීමට විශ්ව සමත් වුවත්, අසිතට සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට අසමත් වීය. පළමු තරගයේදී අසිත විසින් ක්‍රියාත්මක කරන ලද්දේ පන්දුවාර 8 ක් පමණක් වන අතර එහිදී ලකුණු 24 ක් ලබා ගැනිමට ප්‍රතිවාදීන් සමත්විය.

මේ කරුණු කාරණා පිළිබඳව අවධානය යොමු කිරීමේදී ශ්‍රී ලංකාව හෙට තරගයේදී බොහෝ විට තෙවැනි දඟ පන්දු යවන්නකු සමඟින් අවතීර්ණවීමේ වැඩි ප්‍රවණතාවක් පවතිනු ඇතැයි සිතිය හැක.  එහෙත් හෙට තරගය පිළිබඳව දැනුවත් කිරීම සදහා අද (23 දා) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණකරු ක්‍රිස් සිල්වර්වුඩ්ගේ අදහස වී ඇත්තේ ජයග්‍රාහී සංයුතියේ වෙනසක් සිදු‌‌ නොකරම හෙට තරගයට අවතීර්ණ වීමටය. සිල්වර්වුඩ්ගේ මතය වී ඇත්තේ පළමු ටෙස්ට් තරගයේදී කණ්ඩායම හොඳින් ක්‍රීඩා කිරීම නිසා කණ්ඩායමේ වෙනසක් සිදුකිරීම අසීරු කටයුත්තක් බවයි.

“පසුගිය තරගයේදී අපේ ක්‍රීඩකයින් ඉතා හොඳින් ක්‍රීඩා කළා. ඒක නිසා ජයග්‍රාහී කණ්ඩායමක සංයුතිය වෙනස් කරන එක අසීරු කරුණක්” යනුවෙන් සිල්වර්වුඩ් සඳහන් කර සිටියි.

පිතිකරුවන් ලකුණු අතරට පැමිණීම සතුටක්. ඒ වගේම පන්දු යවන්නන් පන්දුවෙන් මෙන්ම දඟ පන්දු යවන්නන් ඔවුන්ගේ කාර්යය ඉටු කළ බව ඉතා පැහැදිළිව දැක ගන්න ලැබුණා. මම කියන්නේ ඒ වගේ තත්ත්වයක් ඇතුළත කණ්ඩායම වෙනස් කිරීම අපහසු කාර්යයක්” යැයි ප්‍රධාන පුහුණුකරු සදහන් කර සිටියේය.

“කොහොම වුණත් අපිට හිතන්න තව බොහෝ දේ තියෙනවා” යැයිද සිල්වර්වුඩ් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

දෙරට අතර තරගාවලිය ආරම්භයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායකයා සදහන් කර සිටියේ දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීම සඳහා දුශාන් හේමන්තට හොද අවස්ථාවක් පවතින බවයි. එහෙත් ප්‍රධාන පුහුණුකරුගේ අදහස අනුව ටෙස්ට් හිස් වැස්ම පැළඳීමට දුශාන් හේමන්තට තවත් කල් බලා සිටීමට සිදුවනු ඇත.

කණ්ඩායමට එක්වී සිටින නවකයා වන දුශාන් හේමන්ත ගෙවී ගිය මාස කීපයේදීම පා දඟ පන්දු යවන්නකු ලෙස කැපී පෙනෙන දස්කම් දක්වමින් තේරීම් කමිටුවේ අවධානය දිනා ගෙන සිටියි. ඔහු එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලියේ තරග 3 කදී කඩුලු 11 ක් බිඳ හෙළමින් තරගාවලියේ වීරයා සම්මානයද දිනාගත්තේය. එම තරගාවලියේදී ඔහුගේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 11.45 ක් ලෙසින් සටහන් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදීද කණ්ඩායමේ සියලුම සාමාජිකයින් සමඟින් පුහුණුවීම් වලට පැමිණ සිටියේය. ඒ අතරින් දුශාන් හේමන්ත ප්‍රධාන තණතීරුවේ වූ අයිනේ තණතීරුවේදී සිය පන්දු යැවීමේ පුහුණුවීම් වල නිරත වූයේ පන්දුව දඟ කැවීමේදී තමන් සතු උපරිමයම යොදවමිනි.

වේග පන්දු යවන්නන් දෙදෙනාගෙන් එක් අයෙකු සමඟ තරගයට අවතීර්ණ වීමතියෙ ඇතැම් විට අවධානමක් ගෙන දෙන්නක් වනු ඇති බවට කලමනාකාරීත්වය සිතන්නට පුලුවන. ඒ මන්ද යත් මේ දින වල පවතින අධික රස්නය හේතුවෙන් එක් වේග පන්දු යවන්නකු ආබාධයට ලක් වුවත් අනෙක් කෙනාගෙන් ඒ අඩුව පුරවා ගැනීමට ඇති හැකියාව හේතුවෙනි.

අද දින පුහුණුවීම් අතරතුර තේරීම් කමිටුවේ සාභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාද ක්‍රීඩාංගණයට පැමිණ සිටියේය. අවස්ථා ගණනාවකදී ක්‍රීඩාංගණය වෙත පැමිණි ඒ මහතා සිය කමිටු සාමාජික හේමන්ත වික්‍රමරත්න මහතා සමඟ එක්ව නායක දිමුත් කරුණාරත්න සහ ප්‍රධාන පුහුණුකරු සිල්වර්වුඩ් සමඟින් අදහස් හුවමාරු කර ගැනීම දිනයේ කැපී පෙනෙන සිදුවීමක් බවට පත්විය.

අද දිනයේදීත් ගාල්ල ක්‍රීඩාංගණය හා එ් අවට දැඩි රස්නයක් පැවැතිණ. පෙ.ව. 9.00 ට පමණ වර්ෂාව ඇද හැලුණද පෙ.ව. 10.00 වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සදහා ක්‍රීඩාංගණය පිළිසකර කර දීමට ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලය පියවර ගෙන තිබුණේය.

ශ්‍රී ලංකා කණ්ඩායම පූර්ණ ටෙස්ට් තරගාවලියක ජයග්‍රහණයක් අභිමුවට පැමිණ සිටියි. අයර්ලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 280 ක දැවැන්ත ජයත් වාර්තා කිරීමෙන් පසු තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම හෙටින් ආරම්භ වන දෙවැනි තරගයද ජය ගතහොත් තරගාවලිය 2-0 ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් ලෙසින් අවසන් කිරීමට අවස්ථාව උදාවනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වතාවට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කර ඇත්තේ මීට වසර 2 කට ඉහතදීය. 2021 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවේ කරන ලද තරග සංචාරයේදීය. ටෙස්ට් තරග 2 ක් ඇතුළත් වුණු එම තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව 2-0 ක ජයක් ශ්‍රී ලංකාව වාර්තා කළේය.

පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන විට කණ්ඩායමේ රැදී  නොසිටි ප්‍රතීවාදී පිලේ උප නායකයා වන පෝල් ස්ටර්ලිං හෙට තරගය සඳහා වන කණ්ඩායමට එක්ව සිටියි. එය ඔවුන්ගේ පිතිකරණ ශක්තිය මෙන්ම කණ්ඩායමේ මානසික මට්ටමද ශක්තිමත් කරවන්නකට වක්‍රාකාර දායකත්වයක් ලබා දී තිබේ. රතු පන්දුවෙන් කෙරෙන ටෙස්ට් තරග අත්දැකීම් අවම මට්ටමක පැවැතීම නිසා පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිල කඩුලු 6 ට ලකුණු 591 ක දැවැන්ත ඉනිමක් ගොඩ නැංවිය. ශතක 4 ක්ද ඇතුළත් වුණු එම ඉනිමට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී අයර්ලන්ත පළමු ඉනිම ලකුණු 143 කටත් දෙවැනි ඉනිම 168 කත් සීමා විය.

ශ්‍රී ලංකා කණ්ඩායම – 1. නිශාන් මදුශ්ක, 2. දිමුත් කරුණාරත්න (නායක), 3. කුසල් මෙන්ඩිස්, 4. ඇනජලෝ මැතිව්ස්, 5. දිනේෂ් චන්දිමාල්, 6. ධනංජය ද සිල්වා, 7. සදීර සමරවික්‍රම, 8. රමේෂ් මෙන්ඩිස්, 9. ප්‍රභාත් ජයසූරිය, 10. විශ්ව ප්‍රනාන්දු, 11. අසිත ප්‍රනාන්දු.

අයර්ලන්ත කණ්ඩායම – ඇන්ඩෘ බැල්බ්‍රින් (නායනක), පෝල් ස්ටර්ලින්, මාකර් අඩයර්, කර්ටිස් කම්පර්, මරේ කමින්ස්, ජෝර්ජ් ඩොකරල්, ඨයොන් හෑන්ඩ්, ග්‍රැහැම් හියුම්, මැතිව් චහම්ප්‍රේස්, ටොම් මයස්, ඇන්ඩෘ මැක්බර්න්, ජේම්ස් මැකලම්, පී. ජේ. මුවර්, හැරී ටෙක්ටර්, ලෝකන් ටකර්.

 

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee