slc
logo
Home   |    News
අප්‍රේල් 6, 2023
නැෂනල් සුපර් ලීග් එක්දින කිරුළත් දඹුල්ලට

sinhala editor

BY CHAMILA KARAWITA

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දෙවැනි වරටත් සංවිධානය කොට පවත්වා අවසන් කරන ලද නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට කිරුළු පැළඳීමට මිනොද් භානුකගේ නායකත්වයෙන් යුතු දඹුලු කණ්ඩායම අද (06 දා) රාත්‍රියේ සමත්විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී ජැෆ්නා පිලට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කළ දඹුලු කණ්ඩායම ශූරතා කුසලානට අමතරව මුදලින් රුපියල් ලක්ෂ 20 ක ජය මල්ලටද හිමිකම් කීවේය.අනුශුරතාවට පත් ජැෆ්නා කණ්ඩායමට මුදලින් රුපියල් ලක්ෂ 10 ක් හිමිවිය.

ජයග්‍රහණය සදහා ලකුණු161 ක ඉලක්කයක් හඹා ගිය දඹුලු කණ්ඩායමේ සොනාල් දිනූෂ එල්ල කරන ලද හතරේ පහරත් සමග මෙවර එක්දින ශූරයින් බවට කිරුළු පැළඳීය. මෙම තරගාවලිය ආරම්භයට දින කීපයකට ඉහතදී පවත්වා අවසන් කෙරුණු නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වූයේද මිනෝද් භානුකගේ නායකත්වයෙන් යුතු දඹුලු කණ්ඩායම වන අතර ඒ අනුව ඔවුන් මෙතෙක් පවත්වා ඇති නැෂනල් සුපර් ලීග් ඉතිහාසයේ එක්දින සහ සිව්දින යන ශූරතා ද්විත්වයකටම හිමිකම් කී එකම කණ්ඩායම බවටද අද ඉතිහාසගත විය.

ජයග්‍රාහී දඹුලු කණ්ඩායම වෙනුවෙන් පෙරමුණ ගත් පවන් රත්නායක පන්දු 80 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමඟින් ලකුණු 62 ක් දඹුලු පිලේ හඹා යෑමේ කොඳු නාරටිය වූවේය. ඔහුට අනගි සහායක් ලබා දුන් අශාන් ප්‍රියන්ජන් පන්දු 64 කදී ලකුණු 33 ක් ලබා ගත්තේය.

ලකුණු 161 ක ඉලක්කයක් වුවද ආරම්භයේදී ඉතා හොඳින් පන්දු යැවූ ජැෆ්නා කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දු ආරම්භක පිතිකරුවා වූ නායක මිනෝද් භානුක (01) සහ අංක 3 පිතිකරුවා ලෙසින් පැමිණි කමිඳු මෙන්ඩිස් (01)ගේ කඩුලු දවා ගත්තේ මුලු ලකුණු සංඛයාව 06 ක්ව සටහන්ව තිබියදීය. රාත්‍රී කාලයේදී පන්දුව අනපේක්ෂිත ඉපිලීමකින් සහ දඟ කැවීමකින් යුක්ත වුවත් සිය කඩුලු ආරක්ෂා කරගත් දකුණත් පිතිකරුවන් යුගලය තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 113 කදී ලකුණු 73 ක සම්බන්ධතාවක් පවත්වමින් දඹුලු ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමූහ.

එහෙත් අශාන් ප්‍රියන්ජනත් පවන් රත්නායකත් මුලු ලකුණු සංඛ්‍යාව 119 ක්ව තිබියදී දැවී ගියත් මැද පෙළින් පැමිණි සොනාල් දිනූෂ දඹුලු පිල ජයග්‍රහණය කරා රැගෙන ගියේය. පන්දු 52 කට මුහුණ දුන් දිනූෂ හතරේ පහර 4 ක් සමඟ ලකුණු 45 ක් රැස් කරගත්තේ අවසන් මහ තරගයේ වීරයා සම්මානයටද හිමිකම් කියමිනි. පන්දුවට පහර දීමට අමතරව පන්දු යැවීමේදීද පන්දුවාර 10 ලකුණු 33 කට සීමා කරමින් කඩුලු 3 ක් දවා ගනිමින් ඔහු තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වීය.

ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන රැස් කරන ලද ලකුණු 51 ක අර්ධ ශතකය හැරුණු කොට ඉදිරි පෙළින් පැමිණි අනෙක් පිතිකරුවන් 6 දෙනාටම ලකුණු 17 සීමාව ඉක්මවා ලීමට දඹුලු පන්දු යවන්නෝ අවස්ථාව ලබා නොදුන්හ. අසිත ප්‍රනාන්දු විසින් නිශාන් මදුෂ්කගේ කඩුල්ල බිඳ දමන විට ඔහු රැස් කරගෙන සිටියේ ලකුණු 12 කි. ඉනිමේ 7 වැනි පිතිකරුවා ලෙස නවෝද් පරණවිතාන දැවී යන විට ජැෆ්නා ලකුණු පුවරුව ලකුණු 107 ක් ලෙසින් සටහන් විය.

කෙසේ වෙතත් 8 වැනි කඩුල්ලට එක් වුණු ජෙෆ්රි වැන්ඩර්සි සහ දිලුම් සුධීර කඩා වැටුණු ඉනිම ගොඩ ගැනීමට උත්සාහ ගනිද්දී තරගයට වර්ෂාවෙන් බාධා පැමිණියේ මුළු ලකුණු සංඛ්‍යාව 116 ක්ව තිබියදීය. ප.ව. 4.57 වන විට පැමිණි වර්ෂාව නිසා තරගය මිනිත්තු 81 ක කාලයක් නවතා දැමීමට විනිසුරුවන්ට සිදුවුවත් එකම පන්දු වාරයක් හෝ අඩු නොකොට නැවතත් තරගය ප.ව. 6.18 ට ආරම්භ කරන ලදී. එම අවස්ථාවේදී කලබලයකින් තොරව පන්දුවට පහර දුන් මෙම යුගල 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 35 ක් එක් කළහ. 29 වැනි පන්දුවාරයේදී මුණ ගැසුණු මොවුන් දෙදෙනාට මුහුණ දීමට ප්‍රමාණවත් පන්දුවාර සංඛ්‍යාවක් ඉතිරිව තිබූ හෙයින් කලබලයකින් තොරව පන්දුවට පහර දුන්නේ එම සම්බන්ධතාව වෙනුවෙන් පන්දු 79 ක් වැය කරමිනි.

සොනාල් දිනූෂ විසින් ලකුණු 23 ක් ලබා සිටි දිලුම් සුධීරව දවා ගැනීමත් සමඟ පන්දුව අතට ගත් දුශාන් හේමන්ත පිට පිට පන්දු 2 කදී ශිරාන් ප්‍රනාන්දු සහ බිනුර ප්‍රනාන්දු දවා ගනිමින් ජැෆ්නා ඉනිම ලකුණු 160 කට සීමා කළේය. දඟ පන්දු යවන්නන්ට පාරාදීසයක් බඳුව හැසිරුණු ප්‍රේමදාස තණතීරුවේදී ඉතා හොඳින් පන්දුව දඟ කැවූ දුශාන් හේමන්ත, ලක්ෂාන් සඳකැන් සහ සොනාල් දිනූෂ ජැෆ්නා ඉනිමේ කඩුලු 9 ම බිඳ හෙළුවේ කඩුලු 3 බැගින් සමව බෙදා ගනිමිනි.

ජය සංකේත ප්‍රධානයේදී දක්ෂතම පිතිකරු සම්මානය ගෝල් කණ්ඩායමේ පසිඳු සූරියබණ්ඩාර විසින්ද දක්ෂතම පන්දු යවන්නා ලෙසින් දඹුල්ල කණ්ඩායමේ ළහිරු සමරකෝන්ද නම් කළ අතර ඔවුන්ට එම කුසලාන සමඟ මුදලින් රුපියල් එක්ලක්ෂ පනස්දහස (150,000/=) බැගින් පිරිනැමිණ. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය කලම්බු කණ්ඩායමේ අෂේන් බණ්ඩාර සම්මාන දිනා ගනිද්දී ඔහුට මුදලින් රුපියල් ලක්ෂ 3 ක මුදලක් පිරිනැමිණ. අවසන් මහ තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණු @ ට එම කුසලාන සමඟ මුදලින් රුපියල් හැත්තෑපන්දහසක (75,000/=) මුදලක් පිරිනමනු ලැබීය.

තරගාවලියේ ජය සංකේත ප්‍රධානය ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න සහ තරගාවලි සංවිධාන කමිටු ප්‍රධානී ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික සමන්ත දොඩන්වෙල සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

අවසන් මහ තරගයේ වීරයා – සොනාල් දිනූෂ (ලකුණු 33 ට කඩුලු 3 යි, පන්දු 52 කදී නොදැවී ලකුණු 45 යි)

දක්ෂතම පන්දු යවන්නා – ළහිරු සමරකෝන් (දඹුල්ල) (තරග 7 යි කඩුලු 15 යි. සාමාන්‍ය 17.26 යි)

දක්ෂතම පිතිකරුවා – පසිඳු සූරියබණ්ඩාර (ගෝල්)  (තරග 8 යි ලකුණ 323 යි, සාමාන්‍ය 46.14

තරගාවලියේ වීරයා – අෂේන් බණ්ඩාර (කලම්බු) තරග 8 කදී ලකුණු 419 යි. සාමාන්‍ය 59.86 යි)

ජැෆ්නා පන්දුවාර 47.3 කදී සියලු දෙනා දැවී ලකුනු 160 යි – (නවෝද් පරණවිතාන 51, නිශාන්මදුශ්ක 12, කසුන් අබේරත්න 17, ජනිත් ලියනගේ 16, කමේෂ් නිර්මාල් 00, ළහිරු මදුශංක 01, රවිඳු ප්‍රනාන්දු 01, දිලුම් සුදීර 23, ජෙෆ්රි වැන්ඩර්සි 26*, ශිරාන් ප්‍රනාන්දු 05, බිනුර ප්‍රනාන්දු 00, සොනාල් දිනූෂ 33/3, ලක්ෂාන් සඳකැන් 22/3, දුශාන් හේමන්ත 22/3, අසිත ප්‍රනාන්දු 19/1)

දඹුල්ල පන්දුවාර  39 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 163 යි – (පවන් රත්නායක 62, අශාන් ප්‍රියන්ජන් 33, මිනෝද් භානුක 01, කමිඳු මෙන්ඩිස් 01, සොනාල් දිනූෂ 45*, දුශාන් හේමන්ත 15, රනිත ලියනාරච්චි 02, බිනුර ප්‍රනාන්දු 17/2, දිලුම් සුධීර 40/1, ජෙෆ්රි වැන්ඩර්සි 48/2)

තරගාවලියේ දක්ෂතම පිතිකරුවා වූ ගෝල් කණ්ඩායමේ පසිඳු සූරියබණ්ඩාර තරගාවලි සංවිධායක කමිටු සාමාජික විධායක කමිටු සාමාජික සමන්ත දොඩන්වෙල මහතා අතින් ලබා ගනිමින්.

දක්ෂතම පන්දු යවන්නා වූ දඹුල්ල පිලේ ළහිරු සමරකෝන් තරගාවලි සංවිධායක කමිටු සභාපති විධායක කමිටු සාමාජික සමන්ත දොඩන්වෙල මහතා අතින් සම්මාන ලබා ගනිමින්…

තරගාවලියේ වීරයා වූ කලම්බු කණ්ඩායමේ අෂේන් බණ්ඩාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා අතින් සම්මාන ලබමින්.

අවසන් මහ තරගයේ වීරයා වූ සොනාල් දිනූෂ තරගාවලි සංවිධායක කමිටුවේ සභාපති විධායක කමිටු සාමාජික සමන්ත දොඩන්වෙල මහතා අතින් ලබාගනිමින්…

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest